Posted by: lrrp | July 4, 2014

සී සෑ කුඹුරේ රන් කැට මතු කළ පිනක මහිම

“යමෙකු ක්‍රෝධ කරන්නේ නම් එය මැඩලිය හැක්කේ පෙරලා ක්‍රෝධ කිරීමෙන් නොවේ. මෛත්‍රී කිරීමෙනි. ආක්‍රෝශ පරිභව කරන්නේ යමෙක් ද හෙතෙම පි‍්‍රය වචනයෙන් දිනිය හැකි ය. නින්දා කරන්නවුන් නින්දා නොකිරීමෙන් ද, මසුරු තැනැත්තවුන් පරිත්‍යාගයෙන් ද, බොරු කියන්නවුන් සත්‍යවාදී බවින් ද දිනාගත හැකි ය. ජීවිතයක වැදගත් ම ජයග්‍රහණය වන්නේ එය යි” යනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත.

බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වසන සමයේ එනුවර “පුණ්ණ” නම් දුගී ගොවියෙක් වාසය කෙළේ ය. දුගී දුප්පත් වුව ද ගුණ දහමින් පිරිපුන් මොහුගේ බිරිඳ හා එක ම දියණිය ද එවැනි ම විනීත ගති පැවතුම් ඇති ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂයින් වූහ. රජගහ නුවර “නේරංජන” සිටුහුගේ වතුපිටි කුඹුරු වගා කරමින් ලබන ලද කුලියෙන් ඔහු තම බිරින්දෑත් දියණියත් පෝෂණය කෙළේ ය.

දුගී දුප්පත් කමින් පෙළුන ද පුණ්ණගේ පැල්පතට ද අවුරුදු උත්සව උදාව පැමිණියේ ඔවුන් අගහිඟකමින් පෙළෙමින් දිවි ගෙවන අතර ය. කරකියා ගත හැකි කිසිවක් නැති පුණ්ණ අවුරුදු උත්සවය ගැන කිසිදු හැඟීමකින් තොරව තම පවුලේ හෙට දිනට කුස ගින්දර නිවා ගැනීමට කිසිවක් උපයා ගත යුතු ය’ යි සිතුවේ ය.

පුණ්ණ පුරුදු පරිදි රජගහ නුවර සිටුවරයා වෙත ගොස් කුඹුරු සී සෑම සඳහා නගුලක්, විය ගහක් සහ ගොන් බානක් ඉල්ලා සිටියේ ය. පුණ්ණ ගේ ඉල්ලීම ගැන ඇසූ සිටුතුමා ඔහු අමතමින්,

“පුණ්ණ, අද සිට සතියක් ඉදිරියට නගරය පුරා සියලු දෙනා ම අවුරුදු උත්සවය පවත්වයි. බාල තරුණ මහලු කවුරුන් විසිනුත් ඉතා සතුටින් කෙළි දෙළෙන් බක් මහ අසිරිය උදෙසා සූදානමින් පසු වෙති. කිසිවෙක් අද වැනි දිනෙක වැඩ පොලක නො යෙදෙති. ඔබ පමණක් අද දවසේ වැඩක යෙදීමට කල්පනා කරන්නේ ඇයි” දැයි ඇසී ය. එබස් ඇසූ පුණ්ණ ගොවියා,

“සිටුතුමනි, මම කිසියම් ආදායමක් නැති දුප්පත් ගොවියෙක්මි. ඊයේ කරන ලද කුලියෙන් අද දවසේ ජීවත් වීමට ආහාරයට අවශ්‍ය කළමනා සපයා ගනිමි. හෙට ජීවත් වීම සඳහා අද දවසේ කිසියම් වැඩෙක යෙදිය යුතු ය. ඒ හැර අවුරුදු උත්සවයකට සූදානම් වීමට හෝ එයින් සතුටක් විඳීමට තරම් අවකාශයක් මට නැත.”

“ඔබ තුමාගේ කුඹුරු සී සා ඉන් ලැබෙන වැටුපෙන් අවුරුදු උත්සවයට සුළුවෙන් සහභාගි වන්නෙමි. එම නිසා ගොන් බානක් සමග සී සෑමට අවශ්‍ය කළමනා ලබා ගැනීමට සේවකයකු යොදවන්නේ නම් මැනව“ යි දුප්පත් ගොවියා බැගෑපත් විය. ගොන් බාන සමඟ කළමනා ලැබුණ පුණ්ණ ඉන්පසු උදෑසන ම කුඹුරට ගොස් සී සෑමට පටන් ගත්තේ ය.

මෙදින උදෑසන සැරියුත් මහ තෙරුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදී එළැඹෙන සත් වැනි දිනය විය. පුණ්ණ ගොවියා සී සාමින් සිටි කුඹුර අසල ම ගසක සෙවණ යට උන්වහන්සේ වැඩ හිඳිනු පුණ්ණගේ දෙනෙතට ලක් විය.

ඔහු වහා සී සෑම නවතා උන්වහන්සේ වෙතැ එළැඹ වැඳ නමස්කාර කොට තවමත් උදෑසන බැවින් පැන් ද, දැහැටි ද මහත් ශ්‍රද්ධායෙන් පූජා කෙළේ ය. පැන් සහ දැහැටි පූජා කළ ඔහු නැවත සී සෑමට පටන් ගත්තේ ය. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැහැටි වළඳා මුව දොවා අවසන්ව, දහවල වෙන්ට හැර පිඬු සිඟා වැඩියේ, පුණ්ණගේ බිරිඳ තම සැමියා සී සාමින් සිටි තැනට දහවල බත ගෙන යමින් සිටියා ය. ඉදිරියෙන් වඩින සැරියුත් මහ තෙරුන් වහන්සේ දැක නැවතී,

“අද මට ඉතා වාසනාවන්ත දවසකි. පිනක් සිද්ධ කර ගැනීමට හොඳම අවස්ථාව ය. ඉදිරියෙන් වඩින්නේ සිල්වත් ගුණවත් ශ්‍රමණයන් වහන්සේ නමකි. සැමියා විසින් දුක සේ හම්බකර ගත් දෙයින් පිළියෙළ කරන ලද ඔහුට ගෙන යන මෙම බත් පත පිඬු සිඟා වඩින මෙම ශ්‍රමණයන් වහන්සේට පූජා කරමි. මෙම පූජාව අපට දෙලොව යහපතට හේතු වන්නේ ය” සිතා, සැරියුත් තෙරුන් වහන්සේ සමීපවත්ම ඇගේ හිස මත වූ බත් සහ මාළු පැස බිම තබා උන්වහන්සේට වැඳ නමස්කාර කොට,

“ස්වාමීන් වහන්ස, පිණ්ඩපාතය සඳහා වඩින ඔබ වහන්සේට දහවල දානය පිළි ගන්වනු කැමැත්තෙමි. පිළිගනු මැනව” යි මහත් වූ සැදැහැ සිතින් ආයාචනා කළා ය. දහවල් මධ්‍යාහ්නය පැමිණි පසු සී සෑම නතර කළ පුණ්ණ ගොනුන් තණ කෑමට මුදා හැර ගස් සෙවණකට වී විඩා සන්සිඳුවමින් උන්නේය. තම බිරිඳ විසින් දිවා ආහාරය කඩිසර ගමනින් ගෙන එනු ඔහු දුරදී ම දුටුවේ ය. හිස මත වූ පැස බිම තැබූ ඇය වේලාසනින් ගෙන ආ කෑම ශ්‍රමණයන් වහන්සේ කෙනෙකුට පූජා කළ බවත්, ආපසු නිවසට ගොස් උයා පිහා ගෙන ඒමට සිදුවූ හෙයින් සුනංගු වූ බවත් පැවසුවා ය.

එපවත් අසා පැහැදුන සැදැහැ සිත් ඇති පුණ්ණ ගොවි තෙමේ තෙවරක් සාදු කාර පවත්වා, උදෑසන තමා විසින් ද කරන ලද පූජාව ගැන සඳහන් කෙළේ ය.

දිවා ආහාරය අනුභව කොට ගසක් යට විවේකීව සිටි ඔහුට නින්ද ගියේ ය.

සුළු වේලාවකින් නින්දෙන් අවදි වූ ඔහුට දකින්නට ලැබුණේ පුදුමෙනුත් පුදුම සිදුවීමකි. අදහාගත නොහැකියෙකි. පුණ්ණ ගොවියා විසින් සී සාන ලද කුඹුරේ පස් කැට සියල්ලම රන් පැහැයෙන් බබලමින් තිබුණේ ය. මේ ගැන සිටුතුමා මගින් බිම්බිසාර මහරජතුමාට දැන්වූයේ ය.

බිම්බිසාර රජතුමා එම පුවත සැලවීමත් සමග සේනාව ද, ගැල් ද රැගෙන විත් කුඹුරෙන් මතු වූ සියලුම රන්කැට පුණ්ණ ගොවියාගේත්, එම බිරිඳගේත් පිනට පහළ වූවක් ය යි සැක හැර දැන එම රන් සියල්ල රාජ භාණ්ඩාගාරය වෙත ගෙන ගොස් තැන්පත් කෙළේ ය.මෙයින් මහත් සතුටට පැමිණි බිම්බිසාර මහ රජතුමා ඔහුව සියලු සත්කාර සම්මානයෙන් පුදා එනුවර මහාධන සිටාණන්ගේ තනතුරට පත්කර ලදී. එතැන් පටන් ඔහු පුණ්ණ මහ සිටාණන් යයි ප්‍රසිද්ධියට පත්විය.

මෙලෙස වැඩි කාලයක් නොගොසින් ම සත් මහල් සිටු මන්දිරයක් ඉදි කොට එය වාස භවනය කරගත් පුණ්ණ මහ සිටාණෝ තම සිටු දේවියත්, උත්තරා සිටු දියණියත් සමග බිම්බිසාර මහ රජතුමා ඇතුළු මැති ඇමැතිවරු, සිටු ප්‍රභූවරු සහ ඥාති මිත්‍රාදීන් සහභාගි කරවා ගනිමින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහ රහතන් වහන්සේලා ඇතුළු මහ සඟනට පුරා සත් දිනක් මහ දන් පිළිගන්වන ලදහ.

බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පුණ්‍යානුමෝදනාව අවසානයේ පුණ්ණ සිටුතුමා, සිටු දේවිය, උත්තරා සිටු දියණිය ඇතුළු සැදැහැවතුන් බොහෝ දෙනෙක් සෝවාන් පලයට පත්වූහ.

මෙයින් සුළු කලකට පසුව උත්තරා සිටු කුමරිය රජගහ නුවර බ්‍රාහ්මණ වංශික සිටු කුමාරයකුට සරණ පාවා දුන්හ. බුදුපාමොක් මහ සඟන කෙරෙහි අධිකතර ශ්‍රද්ධා ඇති ඕතොමෝ උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කොට පින් රැස් කර ගැනීම සඳහා තම සැමියාගෙන් තාවකාලිකව වෙන් වී ඔහු ගේ කටයුතු “ශ්‍රීමා” නමැති කාන්තාවකට පැවරුවා ය. සිටු මන්දිරයේ අසීමිත සම්පත් දැක එයින් අධික තණ්හාවට පත් ශ්‍රීමා උත්තරාවන් කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති කර ගත්තා ය.

උත්තරාවන් සතු සියලු යස ඉසුරු තමා සතු කර ගැනීමේ කූට අදහසින් උත්තරා කුමරිය විනාශ කරමියි සිතා ඇගේ සිරුර මත කකාරන ලද උණු තෙල් වත්කළාය. උත්තරා සිටු කුමරිය තුළ පැවැති කරුණා මෛත්‍රිය ගුණය හේතු කොටගෙන ඇයට කිසිදු උපද්‍රවයක් සිදු නො වී ය.

මෙම සිද්ධිය මුල් කරගෙන බුදු පියාණන් වහන්සේ දහම් දෙසූ සේක්, “ක්‍රෝධ කරන්නාට මෛත්‍රි කිරීමෙන් ජයග්‍රහණයටත්, සැපයටත් පත්වන්නේ ය” යි අනුදැන වදාළහ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: