Posted by: lrrp | July 6, 2014

ඇතැම් පන්සල්වලටත් ප්‍රේත බැල්ම වැටෙන්නේ ඇයි?

කවර හෝ තැනක හිසට සෙවණක් අටවා ගන්නවා නම් එය අයිතිවන්නේ ඔබට පමණක් නොවේ. ඔබ නොදැනුවත්වම තවත් කෙනෙක් එහි පැමිණ පදිංචි වේ. එය හරියට කපුටාගේ කූඩුවේ කොවුලා බිජුලන්නා හා සමානය. කූඹියා, කුඹලා, හූනා, මීයා, කැරපොත්තා, ගේකුරුල්ලා වැනි සතුන් නිවසක ජීවත්වන සැටි ඔබට ප්‍රායෝගිකවම අත්දැකිය හැකිය. මෙසේ අපට අදෘශ්‍යමාන වුවද පිරිසිදු බව හා අපිරිසිදුකම අනුව අපගේ වාසස්ථානයට අරක්ගන්නා පිරිස් බොහෝ වෙති. අපිරිසිදු නම් ප්‍රේත භූත කුම්භාණ්ඩයෝ රිංගති.

එය භුම්මාඨක දේව කොට්ඨාස ඉන්නා බවට ද ඉඟියකි. ජන සම්මත හොල්මන් පිළිබඳ කතා පුවත් ද ඊට නිදසුන් දෙයි. විශේෂයෙන් කෙනෙක් හදිසි අනතුරකින් මිය ගියේ නම් එතැන හොල්මන් ඇති බව ගැමියෝ විශ්වාස කරති. මෙය වැදගත් කරුණකි. කවර හේතුවක් නිසා හෝ මිය ගිය කෙනෙකුට එම වේශයෙන්ම නැවත පෙනී සිටිය හැකිද? එසේත් නැතිනම් හොල්මන් කරමින් ජීවත්ව සිටින‍්නන් බියගැන්විය හැකිද? නැත. මියගිය කෙනෙකුට හොල්මන් කළ නොහැකිය. බුද්ධ දේශනාවට අනුව නම් මියගිය පුද්ගලයා තවත් තැනක උත්පත්තිය ලබයි. එසේ නම් මරණයට පෙර ඇඳුම් පැලඳුම්වලින්, ශරීර ස්වභාවයෙන් පෙනී සිටි ආකාරයට තවත් කෙනෙක් ඉදිරියේ දර්ශනය විය නොහැකිය.

සියුමැලි තරුණියක ගේ වේශයෙන්, තරුණයකුගේ පාපැදියෙහි නැඟී තමා ජීවත් වූ නිවෙසටම ගිය හොල්මනක් පිළිබඳ සත්‍ය සිදුවීමක් ‍කලෙක පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා විය. එය මත්වතුර විකුණන අයගේ, සූදු ක්‍රීඩාවෙහි යෙදෙන අය ගේ හෝ සොරුන් ගේ උපක්‍රමයක් අනුව සිදුවූවක් ද නොවේ. ඇතැම් සොහොන් බිම් අසලින් ගමන් කරන අතරවාරයේ වාහන පසුපසින් මල්වඩම් තැබීම, අවතාර සේ පෙනී සිටීම මොවුන්ගේ සමහර උපක්‍රමයන්ය. තමන් ගේ වැඩකටයුතු කිසිවෙකු ගේ ඇස ගැටීමකින් තොරව නිදහසේ කරගෙන යාම ඔවුන් ඉන් බලාපොරොත්තු විය. ‍

හලාවත සිට පුත්තලමට යන පාරේ එක් ස්ථානයක වූ රිය අනතුරකින් තරුණියක මිය ගියාය. දිනක් රාත්‍රියේ එතැනින් යතුරුපැදියකින් ගමන් කළ තරුණයකු හදිසියේ තම වාහනය නතර කළේ පාර අයිනේ සිටි සුන්දර තරුණියක කළ සංඥාවක් නිසාය. දින කිහිපයකට පෙර මෙහි මරණයක් හෝ අනතුරක් වූ බව ඔහු දැන සිටියේ ද නැත.

“අයියේ, මම අසවල් ගමේ ඉන්නේ. ගමනක් ගිහින් එනකොට රෑ වුණා. මහවැස්සකුත් එනවා. අනේ පුළුවන් නම් මා ගෙදරට ඇරලවන්න” ඇය කීවාය.

තම නැගණිය‍ක වන් මේ තරුණිය මුහුණ පා ඇති අසීරුතාව දුටු තරුණයාට අනුකම්පා සිතිනි. තමන් යන මාර්ගයේම ඇය වෙසෙන නිසා උදවු කිරීමේ ද අපහසුවක් නොවුණි. අත රැඳි අමතර හෙල්මටය ඇයට දුන් ඔහු කිසිදු කතාබහකින් තොරවම ඇය නිවසට ඇරලීය. ඔහු ආපසු හැරුණේ ඇය නිවසට පය තැබූ පසුය. තමන් තරුණියට දුන් හෙල්මටය ආපසු නොගත් බව මේ තරුණයාට සිහිවූයේ තම නිවසට ද පැමිණි පසුවය. පසුදින රාජකාරියට යන අතරේ එය ලබා ගත හැකි යැයි සිතා ඔහු නින්දට ගියේය.

තරුණිය ජීවත්වනවා යැයි කී නිවස පිහිටි තැන හොඳින් මතකයේ තිබූ මේ තරුණයා පසුදින ඒ නිවසට ගොඩවැදුණේ අමතකව ගිය හෙල්මටය බලාපොරොත්තුවෙනි. මහලු කාන්තාවක් ගෙයි ඉදිරිපස උන්නාය.

“මම ඊයේ රෑ මේ ගෙදර නංගි ‍කෙනෙක් ගෙනත් අරලුවා. ඒත් මට මගේ හෙල්මට් එක ගන්න අමතක වුණා” ඇයගේ හැඩරුව ගැන ද හඳුන්වා දෙමින් ඔහු කීවේය. මහලු කාන්තාවගේ දෙනෙත් අග කඳුළක් නළියනවා තරුණයා දුටුවේය.

“අනේ පුතේ, එහෙම කෙනෙක් හිටියා. ඒත් දැන් දවස් ගාණකට කලින් එයා මේ ලෝකෙන් යන්න ගියා”

අවසන ඇය අපහසුවෙන් පිළිතුරු දුන්නාය.

“නෑ නෑ මම එය විශ්වාස කරන්නේ නෑ. මම ආපසු ගියේ ඇය ගෙට ගොඩවුණාටත් පසුවයි” මහලු මව ගේ කතාව විශ්වාස නොකළ තරුණයා පුන පුනා කීවේය. අවසානයේ,

“එහෙනම් මට ඇයගේ සොහොන් කොත පෙන්වන්නැයි” ඔහු ඉල්ලා සිටියේය.

ඇය තරුණයා ද කැටිව සොහොන් කොත අසලට ආවාය. පෙර දින රාත්‍රියේ තම යතුරුපැදිය පිටුපසින් ආ තරුණිය ගේ සේයාරුවක් එහි විය. ඒ ඇයමය. පුදුමය නම් ඇයට දුන් හෙල්මටය සොහොන් කොත උඩ තැන්පත්ව තිබීමය. මේ සිදුවීම පසුපස සිටින්නේ කවුද?

මිය ගිය තරුණියද? නැත. මුලින් කී ලෙස මිය ගිය කෙනකුට මෙසේ හොල්මනක් ලෙස පෙනී සිටිය නොහැකිය. එසේනම් ඇයගේ වේශය ගත්තේ කවුද? ඒ අදාළ අනතුර වූ තැන වෘක්ෂයක වැඩ ඉන්නා දේවතාවෙකි. සාමාන්‍යයෙන් මාර්ග අනතුරක් වූ තැනෙක වැඩියෙන් සෙනඟ ගැවසීම, ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වීම සිදුවේ. මාර්ගය කඩා පිළිසකර කැරේ. (බම්පර් ආදිය යොදා) එවිට වාහන ගමනාගමනයෙහි වේගය අඩාල වේ. එය මෙහි වෘක්ෂ දේවතාවාට කරදරයකි. ඒ කරදරය නැවතීමට නම් මෙතැන සෙනඟ ගැවසීම නතර කළ යුතුය.

ඒ සඳහා හොඳම උපක්‍රමය නම් මිනිසුන් බිය ගැන්වීමය. විවිධ වෙස්ගත හැකි දේවතාවා මියගිය තරුණිය ගේ වේශයෙන් තරුණයා ඉදිරියේ පෙනී සිටියේ එහෙයිනි. කටින් කට යන ඒ පුවත අඳුරු වැටෙත්ම ඒ අසලින් කිසිවකු ගමන් නොකරන තරමට බිය උපදවන්නේය.

මේ වැනි සිදුවීම් පිළිබඳව මම බොහෝ අධ්‍යයනවල නිරත වී ඇත්තෙමි. වනස්පතීන් හි, පාළු ගල්ගුහාවන්හි, ආරණ්‍ය සේනාසනයන් හි තනිව සිටිමින් විවිධ ශබ්ද ශ්‍රවණයට, විවිධ දර්ශනයන් දැකීමට උත්සාහ කළෙමි. සමීක්ෂණ කළෙමි. මිය ගිය කෙනකුට එසේ අවතාර ලෙස පෙනී සිටිය නොහැකි බව එයින් ද ප්‍රත්‍යක්ෂ කරගතිමි.

ප්‍රේත භූත දෝෂ නිසා සිදුවන මේ හා සමාන සිදුවීම්වලට නිදසුන් බොහෝය. මා කුඩා කල කුරුඹුරේගම විහාරස්ථානයෙහි දන්ගෙය තිබුණේ කෙළවරකය. එහි ඉඳුල් වතුර ඉවත ලන අපිරිසිදු තැනක් ආසන්නයෙහි කලෙක වැඩිහිටි මිනිසෙක් නතරව උන්නේය. ඔහු රබර් කපන්නෙකි. ඔහු දිනක් මා සමඟ මෙසේ පැවසු‍ෙව්ය.

“ස්වාමීන් වහන්ස, මුළු මූණම කුණුවී ගිය අමුතු මිනිහෙක් පොකුණ පැත්තේ ඉඳන් මා දිහා බලා සිටියා.” ඒ ‍මොහොතේ ඔහු බොරුවක් නොකී බව පැහැදිලිය. මේ සිදුවීම වී දින කිහිපයක් ගෙවුණි. එදා මධ්‍යහ්නයේ මොහු රබර් කපා පැමිණ අතෙහි වූ ඔට්ටපාලු ශුද්ධ කරමින් සිටියේය. මම ද තවත් හිමිනමක් ද ඒ අසල සිටියෙමු. කුමක් හෝ හේතුවක් නිසා මොහු දෙස බලන මොහොතක හේ කිසියම් දර්ශනයක් දැක කිව නොහැකි තරම් බියපත් වූ බවක් පෙනුණි. ඒ හා සමඟම සෙම පිටකරමින් සිහි විසඥ වූ ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වූයේ අප අත් උඩමය.

මේ ඉරමුදුන් වී තිබූ වෙලාවකි. තැතිගැන්මත් සමඟ ලේ නහරයක් පිපිරීමෙන් මේ මරණය සිදුවූවා විය හැකිය. එහෙත් ඔහු මිය යන්නට මොහොතකට පෙර කිසියම් කෙනෙක් දුටු බව විශ්වාසය. ඔහු කිසිවක් දැක තැතිගැන්වූ ආකාරය අප ඒ මොහොතේ දුටු බැවිනි.

මෙවැනි සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ යම් තැනකට ‍ෙනාගැළපෙන කෙනෙක් සිටී නම් ඔහුට ඒ තැන ඉන්නට ඉඩ නොදෙන බවය. ඇතැම්විට මේ පුද්ගලයා වෙත ඔහු නමින් මිය ගිය ඥාතියකු ගේ බැල්මක් තිබුණා වීමට ද පුළුවන.

ප්‍රේත භූතාදීන්ට පන්සල් බිමකට ඇතුළු විය හැකිද යන ගැටලුව මෙහිදී ඇතිවේ. පන්සල් භූමියක වුවද අපවිත්‍ර තැනක් ති‍ෙබ් නම් ඔවුන්ගේ ආකර්ෂණය එහි තිබේ.

එමෙන්ම පිරිසිදු ශුද්ධ භූමියක අපිරිසිදු වැඩක් කරනවා නම් ඒ පුද්ගලයාට එහි තවදුරටත් රැ‍ඳෙන්නට දෙවියන් ඉඩ දෙන්නේ නැත. ඔහු මත්වතුර පානය කරන්නෙක් නම්, ස්ත්‍රී දූෂකයෙක් නම්, වංචනිකයෙක් නම් එම පාරිශුද්ධ භූමියෙන් ඔහුට ඉවත්වන්නට සිදුවේ. මේ ධර්මතාවය ගිහි පැවිදි දෙපිරිසටම අදාළය.

ශුද්ධ භූමියක් අපවිත්‍ර කරගෙන සිටී නම් ආයු කාලය කෙටිය. මොන යම් ක්‍රමයකින් හෝ ඒ තැනැත්තාට යන්නට සිදුවේ. එවැනි භික්ෂු චරිතයකට වුවද දෙවියන් එහි ඉන්නට ‍ඉඩ දෙන්නේ නැත. දේව බැල්මේ හාස්කම එයයි.

විභාග ආදියෙන් දරුවන් සමත් වනවා දැකීම මවුපියන්ට විශාල අවශ්‍යතාවයකි. “දරුවන්ගේ විභාග සමත් කර දීමට දෙවියන්ට පුළුවන් ද? දෙවියෝ විභාග ශාලාධිපති ද? එහෙමත් නැතිනම් උත්තර පත්‍ර පරීක්ෂක ද?” ආදී ලෙස මේ පිළිබඳව සමාජයේ විවිධ කණ්ඩායම් වෙතින් විවිධ මතවාද එල්ලවනු පෙනේ. මේ කියමන් එතරම් වැරැදි නැති බව සිතේ. නිවැරැදි පිළිතුරු ලියන්නට උදවු කිරීමේ වැඩපිළිවෙළක් නිවැරැදි පිළිතුර කනට කොඳුරා කීමේ උපක්‍රමයක් දෙවියන් කෙරෙහි තිබේ නම් ඒ කියමන් නිවැරදිය. එහෙත් ඔබ හොඳින් සිහියේ තබාගත යුතු දෙයක් වේ. ඒ විභාග ආසන්නයේ දරුවන් වෙනුවෙන් අපි දෙවියන්ගෙන් බලාපොරොත්තු විය යුතු වන්නේ කුමක්ද යන්න පිළිබඳවය.

ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: