Posted by: lrrp | July 6, 2014

මැරුණු නංගී රෑට ඇවිත් දුව ළඟින් නිදා ගන්නවා

මේ විශ්වය පුරා අපේ පියවි ඇසට නොපෙනෙන සත්ත්වයෝ බොහෝ ය. ඒ අතර කල්ප කාලාන්තරයක් තිස්සේ අප සමඟ විවිධ සම්බන්ධකම් පැවැත්වූවෝ ද අනන්තය. ‍එසේ ම අප සමඟ මවක් පියෙක්, සහෝදරයෙක් සහෝදරියක් දුවත් පුතාත් ආදී ඥාතිත්වයක් නොගත් කෙනෙකු නැති තරමට ම මේ සංසාර ගමන දීර්ඝ යයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. මිනිසුන් අතර මෙන් ම අමනුෂ්‍යයන් අතර ද ආදරය හා තරහ ඊර්ෂ්‍යා ද ක්‍රියාත්මක ය. අපට ආදරය කරන්නෝ ආශිර්වාද කරති. තරහ ඊර්ෂ්‍යාවෙන් සිටින්නෝ සාප කරති. ඔවුන්ට ඇති ශක්ති ප්‍රමාණයන්ට අනුව මිතුරු සතුරුකම් ද කරති.

“අනේ අම්මා මට බඩගිනියි. ඉවසන්න බැරි තරමට කුසගින්න දැනෙනවා. ඒත් කෑම කන්න බෑ. ප්‍රිය නෑ. පිපාසෙයි. උගුර කට වේළිලා. ඒත් වතුර ටිකක් ගිලගන්න බෑ” යි දේවිකා හඬා වැලපෙන්නීය. ඇයට ක‍ෑම කන්නට බැරි ය. නාන්නේ නැත. හිස පීරන්නේ නැත. බලාගත් අත බලා සිටී. ශරීරය හොඳට ම කෙට්ටු වී ඇත. අප්‍රසන්න ය.

දේවිකා මාලඹේ පදිංචි විසි හතර හැවිරිදි තරුණියකි. දැන් ඇය ඉතාම අප්‍රසන්න අමනුෂ්‍ය දුවක ගේ තත්ත්වයට පත්ව සිටින්නී ය. ඇගේ දෙමවුපියන් ඇයට කායික මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්න ද කිසිම වෙනසක් සුවයක් ලබාදිය නොහැකිව අසරණව සිටිති. ඇගේ වැඩිමහල් සහෝදරිය චතුරී ‘සිළුමිණ’ පත්‍රයේ පළවන ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කෙරෙහි දෙමවුපියන් ගේ අවධානය යොමු කළා ය.

ඒ අනුව ඔවුහු දේවිකාව ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා කැඳවා ගෙන ගියහ. ආධ්‍යත්මීය උපදේශකවරයා ශක්ති කිරණ එල්ල කරන විට දේවිකා පැද්දෙන්නට වූවා ය. එදින ඉන් එහා දෙයක් අනාවරණය කැර ගත නොහැකි වූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි ප‍ූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේ ය.

සතියක් පමණ බෝධි පූජා පවත්වන විට දේවිකා රාත්‍රියට බිය පත්ව කෑ ගසන්නට වූවා ය. රෝගී තත්ත්වයත් උග්‍ර විය. බෝධි පූජා පවත්වන්නට ගිය විට බෝ මළුවේ දී සිහි නැතුව වැටුණා ය. මේ බව ගවේෂකවරයා වෙත දුරකථනයෙන් දැනුම් දුන් විට වහාම ඇය නැවත කැඳවාගෙන එන ලෙස දැන්වීය.

ඒ අනුව ඔවුහු නැවත පැමිණියහ. ඒ වනවිට දේවිකාගේ මව ශිරාණිගේත් ශක්ති ශරීරය (ඕරා) දුර්වල වී ඇති බව ගවේෂකවරයා දුටුවේ ය. ගවේෂණයේදී දේවිකා අඬන්නට වූවා ය. අම්මයි දුවයි දෙදෙනාම පැද්දෙන්නට ගැහෙන්නට වූහ. එදින ද ඉන් එහා යමක් අනාවරණය කැර ගත නොහැකි විය. තවත් සතියක් බෝධි ප‍ූජා පවත්වා එන්නැයි උපදෙස් ලැබුණි.

තමන්ට යමක් පෞද්ගලිකව විස්තර කළ යුතුව ඇතැයි ශිරාණි ගවේෂකවරයා සමඟ පැවසුවා ය. එය දුරකථනය මගින් කරන්නැයි ගවේෂකවරයා පැවසීය.

ඒ අනුව පසුදින ශිරාණි ගවේෂකවරයා අමතා එම පෞද්ගලික කතාව දුරකථනයෙන් කීවා ය.

“මහත්තයා! අපේ ගම මාතර. මගේ නංගි පදිංචි වෙලා හිටියේ මාළඹේ, නංගිගෙ මහත්තයා වාහන අනතුරකින් මැරුණා. ඊට අවුරුදු තුනකට පස්සේ නංගී පිළිකාවකින් මැරුණා. නංගිගෙ දුව හංසි, නංගි නැතිවෙන කොට හංසි දුවට වයස මාස හයයි. හංසි දුවගෙ වගකීම මට‍ පැවරුණා. නංගි මැරෙන්න කලින් ම මරණය ගැන දන්න නිසා “අනේ අක්කේ මගේ දුව අක්කාට බාරයි. මේ ගෙවල් දොරවල් දේපළ ඔක්කොම අක්ක බාර අරගෙන මගේ දුව හදා වඩා ගන්න” කියලා මට කියා තිබුණා.

‍Óමාතර ජීවිතේට වඩා මාළඹේ හොඳ නිසා මමයි මහත්තයයි මාතර ගෙදර කුලියට දීලා මගේ දූලා දෙන්නත් එක්ක මාලඹේ පදිංචියට ආවා. දැන් හංසි දුවත් මට කියන්නේ ‘අම්මා’ කියලා. මමත් හංසි දුවට මගේ දුවකට වගේ ම ආදරෙන් හදා වඩා ගත්තා.”

“මේ අතරෙ පුදුම දෙයක් සිද්ධ වුණා. රෑට මම හංසි දුවත් තුරුළු කැරගෙන ඉන්න කොට මගේ මැරුණු නංගී නාළිකා හැබැහින් ම වගේ හිනා වේගෙන ඇවිත් දුවගෙ ළඟින් අනිත් පැත්තෙන් නිදා ගත්තා. මම හිමිහිට ඇ‍ඳෙන් නැගිටලා දොරත් වහගෙන පිටවෙලා මගේ දූලා ඉන්න කාමරයට ගිහින් නිදා ගත්තා. මම මේ සිද්ධිය කාටවත් කිව්වේ නෑ‍. හංසි දුවත් හොඳට වැඩුණා. හංසි දුව ලොකු වෙනකොට නංගි රාත්‍රි ගමන අඩු කළා. මාස දෙකකට විතර සැරයක් තමයි පහුවෙනකොට දුවගෙ කාමරයට ආවේ.”

දැනට මාස හයක විතර ඉඳලා මගේ දේවිකා දුව අසනීප වෙන්න හිටියා. ඒ ගැන මම ශාස්ත්‍රයක් අහන්න ගියා. මගේ නංගි නාළිකාගෙ බලපෑමක් දේවිකාට තියනවා කියලා එතැනින් කියැවුණා. මේ කාරණය මගේ මහත්තයාට කීවා ම ඇදුරන් ලවා නංගිවන බැඳලා මුහුදට දාමු කියලා එයා කිව්වා. ඒකට මගේ හිත ඉඩ දුන්නෙ නෑ. නංගිගෙ ගෙදරම ඉඳගෙන නංගිගෙ දේපළ ම බුක්ති විඳිමින් එහෙම කරන්න බැරි නිසයි ඔබතුමා හොයාගෙන මධ්‍යස්ථානයට ආවේ” යි ශිරාණි මේ ගුප්ත කාරණය පැහැදිලි කළා ය. ඊළඟට පැමිණෙන විට හංසිවත් කැඳවාගෙන එන්නැයි උපදෙස් ලැබුණි.

හංසි ඉතාමත් ප්‍රසන්න සුරූපී දියණියකි. ඉගෙනුමට ද ඉතාම දක්ෂ ය. මේ වනවිට විදේශීය විශ්ව විද්‍යාලයක උපාධියක් සඳහා සූදානම් වෙමින් සිටී.

එදින ද දේවිකා ප්‍රලය වූවා ය. අඬන්නට පටන් ගෙන හංසිව බදාගෙන “මගේ රත්තරන් දුවේ” යි කියා වැලපුණා ය. ශිරාණිව බදාගෙන ‘මගේ අක්කේ’ යි ඇඬුවා ය. ගවේෂකවරයා ප්‍රශ්න කළේ ය.

“මේ කවුද අඬන්නේ?”

“මම නාළිකා. මේ හංසි දුවගෙ අම්මා”

“ඇයි මේ දේවිකාට කරදර කරන්නේ?”

“මම මේ කෙල්ල එක්ක තරහයි.”

“ඒ මොකද? මේ තමුන්ගෙ අක්කගෙ දුවනෙ?”

“මේ දේවිකා මගේ දුවට වෙනස්කම් කරනවා.” මගේ දුව ලස්සනයි කියලා ඊර්ෂ්‍යා කරනවා. ඉගෙන ගන්න දක්ෂයි කියලා ඊර්ෂ්‍යා කරනවා. අම්මා නැති කාලකන්නි කෙල්ල කියලා තියෙනවා. මගේ දුවට කෑම බෙදන කොට ඒකත් අඩු කරනවා. මේ කෙල්ලගෙ අක්කාත් මගේ දුවට වෙනස්කම් කරනවා. මගේ හංසි දුවගෙ ගෙදරම ඉඳගෙන දුවගෙ දේවල්ම කකා දුවට වෙනස්කම් කරන හැටි මට බලා ඉන්න බෑ. මගේ අක්කා නිසා, මගේ දුවව හදා වඩා ගත්තේ අක්කා නිසා මෙච්චර කාලයක් ඉවසුවා. බැරිම තැන තමයි මේකිට රිද්දන්න පටන් ගත්තේ. ඒ වෙනස්කම් කරනවාට මුන්ට අවවාද කරනවා වෙනුවට මස්සිනාත් මාව බැඳලා මූදෙ දාන්න කතා වුණා. මම මේ අය කරන කියන හැම දෙයක් ම අහගෙන බලාගෙන ඉන්නේ. යි නාළිකාගේ භූතාත්මය කීවාය.

“අම්මේ අම්මා බය වෙන්න එපා. මට මේ හැම දෙයක් ම වැටහෙනවා. මම ලොකු අම්මාට ආදරෙයි. ලොකු අම්මා මට ආදරෙයි‍. මේ අක්කලා ඉරිසියා කරන කොට මම තවත් ශක්තිමත් වෙනවා. මම ඔය දෙන්නට වඩා ලස්සනයි. ඔය දෙන්නට වඩා හොඳට මම විභාගත් පාස් වුණා. මට හොඳ දේපළකුත් මගේ අම්මයි තාත්තයි ඉතුරු කරලා ගිහින් තියෙනවා. මට හොඳ තත්ත්වයක් තියෙනවා කියලා හිත හදාගෙන ශක්තිමත්ව ඉන්නවා. මේ දෙන්නා ඉරිසියා කරන්න කරන්න මම තවත් ශක්තිමත් වෙනවා” යි හංසි කීවා ය.

“හොඳයි හොඳයි මගේ රත්තරන් දුව ගැන මට දැන් හරිම ආඩම්බරයි‍” කියා භූතාත්මය සිනාසුණා ය.

දේවිකාගේ ශරීරයෙන් පුංචි අම්මාගේ ආවිශ්ටය ඉවත් කොට ප්‍රකෘති සිහිය ලබා දුන් ගවේෂකවරයා භූතාත්මයෙන් අනාවරණය කළ සියල්ල දේවිකාට පැහැදිලි කළේ ය. දේවිකාගේ පියාත් අක්කාත් ලජ්ජාවෙන් බිම බලාගෙන සිටියහ. ශිරාණි හංසි දුවගේ හිස පිරිමදිමින් සිටියා ය. දේවිකා තමන් හංසිට කළ වැරදි පිළිගත්තා ය.” ඒ විතරක් නෙමෙයි මම තව බරපතළ වරදක් කළා. මගේ සිතේ ඒ වරද ගැන මටම පීඩා කරනවා” යි දේවිකා කීවා ය.

“ඒ මොකක්දැ’ යි ගවේෂකවරයා ඇසීය.

“දවසක් හංසි නංගි බොන කිරි වීදුරුවට මම මදුරු කොයිල් දිය කරලා දැම්මා, ඒත් හංසි නංගි කිරි කෝප්පය අතට ගන්න හදන කොට ම අතින් ගිලිහිලා කෝප්පය බිම වැටී බිදුණා.”

“හංසි කියන්නේ පිට කෙනෙක් නොවෙයි. තමුන්ගෙම පුංචි අම්මාගෙ ම දුව එයා ලස්සනයි කියලා, හොඳට ඉගෙන ගන්නවා කියලා ඊර්ෂ්‍යා කරනවා නම් කොයි තරම් වැරදි ද? හංසි ගෙ ම ගෙදර ඉඳගෙන එයාගෙ දේපළ ම බුක්ති විඳිමින් එයාට හතුරුකම් කරන්න, අපහාස කරන්න. වස විස දෙන්න තරම් මනුෂ්‍යත්වය දීන කරගෙන, හංසි කාලකන්නි කෙල්ලක් නොවෙයි. වාසනාවන්ත දුවක්. ධෛර්ය සම්පන්න තරුණියක්. පූර්ව කර්ම විපාකයකට දෙමවුපියන් අහිමි වුණත් ලොකු අම්මාගේ ආදරය කරුණාව මාතෘත්වය ලබාගෙන ඉදිරියට යන්න හංසිට ශක්තිය තියෙනවා. හංසිට ඉරිසියා කරනවා නම් දේවිකා තාත්තයි අක්කයි එක්ක මාතර ගමට යන්න. ඔය වගේ කැත වැඩ කරනවාට වඩා හොඳයි. නැත්නම් හංසිගෙන් සමාව ගන්නැයි ගවේෂකවරයා කීවේ ය. තාත්තාත් අක්කත් බිම බලාගෙන සිටිද්දී දේවිකා හංසි ළඟ වැඳ වැටී අනේ, නංගී මට සමාවෙන්නැ’ යි කීවා ය. ඒ සමඟම නාළිකාගේ භූතාත්මය දේවිකාට නැවත ආවිශ්ටව කතා කළා ය.

“මහත්මයා මම පළිගත්තා නොවෙයි‍. මගේ දුවගේ ආරක්ෂාවට කටයුතු කළා විතරයි.”

“ඔව් අපට වැටහෙනවා අම්මා කෙනෙකුගේ ආදරය. ඔබ දැන් මිනිස් අම්මා කෙනෙක් නොවන නිසා ඔය ආකාරයෙන් කටයුතු කළ බව. දැන් කල්පනා කරන්න. ඔබේ දුව හංසි දැන් සුරක්ෂිතයි. ඇය නුවණක්කාරයි. දේවිකා මීට පස්සෙ හංසිට ඊර්ෂ්‍යා නොකරන බවට අපි පොරොන්දු කරවන්නම්. ඔබටත් දානයක් දී පින් අනුමෝදන් කරවන්නම්.”

“හොඳයි මහත්මයා එහෙම නම් මම ඉවත් වෙලා යන්නම්.”

ශිරාණිගේ සංවිධානයෙන් සාංඝික දානයක් පිරිනමා නාළිකාට පැන් වඩා පින් අනුමෝදන් කළා ය. නාළිකාගේ ප්‍රාණ කාරිය අනුරාධපුරයට ගියාය. හංසිට කරදර කළොත් නැවත කරදර විය හැකි බවට ද ගවේෂකවරයා දේවිකාට අනතුරු හැඟවීය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: