Posted by: lrrp | July 12, 2014

ඔය තරම් ආදරේ නම් මේ දුවගේ ඇඟට රිංගුවේ ඇයි?

“මගේ දූලා තුන් දෙනා ම පිටරට ලොකු ලොකු රස්සාවල. මම මහලු මඩමට ආපු දවසෙ ඉඳල මේ ශ්‍රියා දුව තමයි මට සැලකුවේ. මගේ ම දුවක් වගේ. මම මේ දුවට මගේ ම දුවකට වගේ ආදරෙයි. මට මෙයා දාල යන්න බෑ. මට ආදරෙන් සැලකුවා. තමන්ගෙ අම්මාට වගේ. ගෙදර ඉඳලා එනකොට මට කැවිලි පලතුරු අරගෙන ආවා. ආදරෙන් කතා කළා ඉතින් මට මේ දුව ළඟින් ඉවත් වෙලා යන්න බෑ” යි මහලු මඩමක සිට මිය ගිය කාන්තාවක් එහි සේවය කරන මේට්‍රන්වරියට ආවිෂ්ටව කීවාය.

රජයේ හෙද සොහොයුරියක් වශයෙන් සේවය කළ ශ්‍රීමා රැකියාවෙන් විශ්‍රාම ගිය පසු පාණදුර ප්‍රදේශයේ කාන්තා වැඩිහිටි නිවාසයක මේට්‍රන් වරියක් ලෙස සේවයට බැඳුණාය. ඇය නේවාසික වැඩිහිටි කාන්තාවනට කරුණාවෙන් කටයුතු කළ නිසා ඔවුන්ගේ ආදරයට ලක්වූවාය. මේ අතර ශ්‍රීමා හිටි හැටියේ දැඩි ඇඟපත වේදනාවකින් පෙළෙන්නට වූවාය. හීනෙන් බිය වී තැති ගැන්මෙන් කෑ ගසා ගෙන නින්දෙන් අවදිවන්නට වූවාය. සිහි මඳ ගතියක් ද ඇය තුළින් ප්‍රදර්ශනය විය.

ගවේෂකවරයා ඇය පරීක්ෂා කිරීමේ දී සිහිසුන්ව වැටුණාය. දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් ලැබුණි.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ශ්‍රීමා යළිත් ආවිෂ්ට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?”

“මම ප්‍රේමා ඇන්ටි”

“කවුද ප්‍රේමා ඇන්ටි කියන්නේ. මේ ශ්‍රීමා නෝනාගේ නෑ කෙනෙක් ද?”

“නෑ… නෑ… නෑ කෙනෙක් නොවෙයි. ඒ වුණාට නෑ කෙනෙකුට වඩා මම මේ දුවට ආදරෙයි.”

“ඇයි මේ තරම් ආදරයක්?”

“මේ දුව තමයි මම හිටපු මහලු මඩමෙ මේට්‍රන්. මම මේ ලෝකෙ තනිවෙච්ච ගැහැනියක්. මේ දුව තමයි මම ළඟින් ආශ්‍රය කළේ. මට ආදරෙන් සැලකුවේ.”

“ඇයි තමුන් අවිවාහක ද?”

“විවාහකයි. විවාහකයි. ඒත් මහත්තයා මැරුණාට පස්සෙ නෑදෑයො මගෙන් ඈත් වුණා.”

“ඒ මොකද?”

“මම අහංකාරයි. තණ්හාධිකයි කියලා.”

“ඒ නෑදෑයොනෙ. ඇයි තමුන්ට දරුවො හිටියෙ නැද්ද?”

“හිටියා… හිටියා… දූලා තුන් දෙනෙක් ම හිටියා. ඒ තුන් දෙනා ම පිටරට රස්සාවල් කරනවා. පවුල් පිටින් පිට රට පදිංචි. මගේ දූලා උගත් අය. එක්කෙනෙක් ඇමෙරිකාවේ දොස්තර කෙනෙක්. අනිත් දුව කැනඩාවේ ඉංජිනේරුවරියක්. බාල දුව එංගලන්තෙ විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය වරියක්. තුන් දෙනා ම බොහෝ ම වැදගත් විදිහට ජීවත් වෙනවා.”

“ඔහොම තමයි අම්මලා තමන් කොයි තරම් දුක් වින්දත් දරුවන්ගෙ නම්බුවට කතා කරනවා. හැබැයි තනිකමට පාළුවට දරුවෙක්, මල්ලෙක්, මුනුපුරෙක් නෑ. නේද?”

“ඒ වුණාට දූලා තුන්දෙනා මාසෙකට රුපියල් හතළිස් පන්දාහක් මේ වැඩිහිටි නිවාසෙට එවනවා.” ‍‍

“ඉතින් තමුන්ටත් පිටරට දූලා ළඟට යන්න තිබුණ නේද?”

“බෑ….. බෑ………. මම කැමති නෑ.”

“අම්මා කැමති නැද්ද? දූලා කැමති නැද්ද?”

“………………………” ප්‍රේමා ඇන්ටිගේ භූතාත්මය නිහඬ ය. නිරුත්තර ය.

“කියන්න… කියන්න…. ඇත්ත කියන්නැ” යි ගවේෂකවරයා කීය.

“මහත්තයා, මමත් කැමතියි. දූලත් කැමතියි. ඒත් බෑනලා කැමති නැහැ.”

“එහෙනම් නැන්දම්මා ඒ තරමට හොඳ ඇති. නැත්නම් නහින දෙහින කාලේ දරුවන්ගේ ළඟ සතුටින් ඉන්න තිබුණානෙ, ඒ අයගෙන් සැලකිලි ලබන්න තිබුණානෙ.”

“ඉතින් මට මේ ශ්‍රීමා දුව හොඳට සැලකුවානෙ. මේ දුව නිතර ම මගේ දුක සැප බැලුවා. ගෙදර ඉඳලා එන කොට මට අතුරුපස, පලතුරු ගෙනැත් දෙනවා. හැන්දෑවට මාත් එක්ක කතා කර කර ඉන්නවා. මට බොහෝ ම හිතවත්. මමත් මගේ දුවකට වගේ මේ දුවට ආදරෙයි.”

“තමුන් මොනවා වෙලාද මැරුණේ?”

“වයසට. මම අවුරුදු අනූපහක් ඉඳලයි මැරුණේ. අන්තිමට කන්න බැරුව ගියා.”

“තමුන් ඔය තරම් ආදරේ නම් ඇයි මේ ශ්‍රීමා දුවගෙ ඇඟට රිංගුවේ?”

“මම මේ කෙල්ලට ආදරෙයි. මට මෙයාව දාලා යන්න බෑ. ඒ නිසා ඇඟට රිංගුවා.”

“දැන් ඔය තමුන්ගේ ආදරේ ශ්‍රීමාට කරදරයක්, වදයක් වෙලා. කරුණාකර ඉවත් වෙලා යන්න.”

“අනේ බෑ….. බෑ…… මට මෙයාව දාලා යන්න බෑ……” යි භූතාත්මය අඬන්නට වූවාය.

තවත් දින හතක් බෝධි පූජා පවත්වා, එතැන දී ප්‍රේමා ඇන්ටිට පින් අනුමෝදන් කොට නැවත එන්නැ” යි ශ්‍රීමාටත් සැමියාටත් උපදෙස් ලැබුණි.

ඔවුහු සතියකින් නැවත පැමිණියහ. එදින ද ශ්‍රීමාට ප්‍රේමා ඇන්ටිගෙ භූතාත්මය ආවිෂ්ට වූවාය. ආවිෂ්ට වී අඬන්නට වූවාය. ගවේෂකවරයා භූතාත්මය ඇමතීය.

“මට මේ දුව දාලා යන්න බෑ.”

“එහෙම කියලා හරියන්නේ නෑ. තමුන් නිසා මේ ශ්‍රීමා අසනීප වෙලා. තමුන් අපි හොඳින් කියන දේ අහලා පිට වෙලා නොගියොත් අපට සිද්ධ වෙනවා මේ ශරීරයෙන් එළියට ඇද දාලා පන්නන්න. තමුන්ගේ දූලාත් ළඟ නැතුව, තමුන්ට ඇප උපකාර කරපු කෙනාට හිරිහැරයක් නම් ඉවත් කරන්න වෙනවා. මිනිස්සුන්ටත් ප්‍රේතයන්ටත් එකට ජීවත් වෙන්න බෑ. තමුන්ට බෝධි පූජාවලදි පින් අනුමෝදන් කළානෙ. ඒ පින් ලැබුණ ද?”

“ඔව් මහත්තයා මට ලොකු සතුටක් දැනුණා.”

“තමුන්ට තව මොනවද වුවමනා?”

“මගේ ළමයි තුන් දෙනා ගෙන්නලා සාංඝික දානයක් දී පින් දෙන්න කියන්න.”

ප්‍රේමා ඇන්ටිගේ දියණියන් තුන් දෙනාට දුරකථනයෙන් මේ විස්තරය කියා ඔවුන් දැනුවත් කරන ලෙස ශ්‍රීමාට උපදෙස් දුන්නේය. ඒ අයට අවශ්‍ය නම් ආධ්‍යාත්මීය උපදේශකවරයාගේ දුරකථන අංකය දෙන ලෙස ද කීවේය.

ශ්‍රීමා ප්‍රේමා ඇන්ටිගේ දියණියන් තිදෙනා දැනුවත් කළ අතර ඔවුන් මිය ගිය මෑණියන් වෙනුවෙන් සාංඝික දානයක් පිරිනැමීමට පැමිණෙන බවට පොරොන්දු වූවාය. මේ අතර එංගලන්තයේ සිටින වෛද්‍යවරිය දුරකථනයෙන් ආධ්‍යාත්මීය ගවේෂකවරයා ඇමතුවාය.

“ලෝකයේ මිනිසුන්ගේ මරණයෙන් පසු සැබෑ තත්ත්වය, කර්මය හා විපාකය එයින් පැහැදිලි වෙනවා. මම නංගිලා දෙන්නා සමඟ නොවරදවාම එනවා” යි පොරොන්දු වූවාය.

“ඔව් දස මාසයක් කුස දරා ගෙන සිට මේ ලෝකයට බිහි කළ, ලේ කිරි කොට පෙවූ, මෑණියන් වෙනුවෙන් අවශ්‍ය යුතුකම් නියමාකාරයෙන් ඉෂ්ට කෙරිලා නෑ. වැදූ මවගෙ මරණයට එන්න බැරි වුණා නම් ඔය හම්බ කරන සල්ලිවලින් වැඩක් නෑ. සල්ලි කියන්නේ ගනුදෙනු මාධ්‍යයක් විතරයි. සල්ලිවල ආදරය, කරුණාව, නැහැ. දැන්වත් ඒ දුගති ගාමී වී සිටින මෑණියන් ඒ දුකින් මුදවා ගන්නට කටයුතු කරන්න. තමන්ගෙන් ලැබිය යුතු ආදරය, සැලකිල්ල, ලබා දුන් මේට්‍රන්වරිය ඒ නිසා ම දැන් කරදරයකට පත් වෙලා. අපි ඇය ඒ දුකින් මුදවන්නත් ඕනෑ” යි ගවේෂකවරයා ලොකු දුවට පැවසුවේය.

“ඔව් මහත්තයා අපි නොවරදවා ම එනවා. අපි කලිනුත් අවුරුදු දෙකකට වරක් ඇවිත් අම්මාව බලලා ගියා” යි ඇය කීවාය.

“තමන් වැදූ හැදූ දූලා අවුරුදු දෙකකට සැරයක් ඇවිත් බලලා යන එක වයස්ගත අම්මා කෙනෙකුට ඇද්ද? දැන් දූලා විදේශගත වෙලා මේ වටිනා යුතුකමත් මග ඇරලා ඔය හරිහම්බ කරන්නේ තමන්ගේ දූ දරුවන්ට නේද? ඒ දූ දරුවොත් කවදා හරි එහෙම කළොත් මොකද තමුන්ට වෙන්නේ කියලා කල්පනා කරන්න. මේ “සිළුමිණ” පත්තරෙයෙන් අපි කරන්නෙත් භූත කතාවක් කියන එක නොවෙයි. ලෝකයේ සැබෑ තත්ත්වය පැහැදිලි කරලා මිනිසුන් පිනට දහමට යොමු කරන එක. මැරිලා දුක්ඛිත ප්‍රේත ආත්මවල උපන් අය එතැනින් ඉහළ තත්ත්වවලට පත් කරන්න උත්සාහ කරන එක. ඒකට දායකවන හැම කෙනෙක් ම කර ගන්නේ විශාල කුසලයක්.” යැයි ද ගවේෂකවරයා කරුණු පැහැදිලි කළේය.

ප්‍රේමා ඇන්ටිගේ දියණියන් තිදෙනා ලංකාවට පැමිණ ශ්‍රීමා මහත්මිය ද සම්බන්ධ කැර ගෙන මෙතෙක් පාළුවට වසා දමා ඇති නුගේගොඩ නිවස ශුද්ධ පවිත්‍ර කරවා සංඝයා වහන්සේ විසි පස් නමක් වඩමවා සාංඝික දානයක් පිරි නැමූහ. පැන් වඩා පින් අනුමෝදන් කළහ. අම්මා ජීවත් වූ මහලු නිවාසයේ නේවාසිකාවන්ට ද දානයක් පිරි නැමූහ.

ඉන් පසු ශ්‍රීමා සමඟ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ද පැමිණියහ. එදින ද ශ්‍රීමා ප්‍රලය වී කතා කරන්නට වූවාය.

“මගේ දූලා ආපු එක කොයි තරම් හොඳද? ඔයගොල්ලෝ මගේ මරණයට ආවෙ නෑ. මළාට පස්සෙ බලන්න ආවා. කමක් නෑ. කමක් නෑ. දුවේ! ජයන්ත මාත් එක්ක තාම තරහද?” භූතාත්මය ඇසුවා.

“නෑ අම්මේ! එයාගෙ තරහක් නෑ.” යි දුව කීවාය.

“බොරු කියන්න එපා. මම දවසක් ඔය ගොල්ලන් හොයාගෙන ආවා. එදත් මට ඇහුණා ජයන්ත මා ගැන “ඔය නාකි ගෑනි ඔය නාකි ගෑනි ගැන මතක් කරන්න එපා” යි කියනවා. එහෙම ඇහුණා ම මට දරා ගන්න බැරුව ගියා.”

“දැන් ඉතින් ඔය පරණ කුණු ගොඩවල්වලින් වැඩක් නෑ. දැන් ප්‍රේමා ඇන්ටිගෙ අදහස මොකද? සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමකට සම්බන්ධ වෙනවද? මේ ශ්‍රීමාගෙ ඇ‍ඟේ ම ඉන්නවද?”

“අනේ මහත්තයෝ මම ශ්‍රීමා දුවට කරදර කරන්නේ නෑ. මට දැන් හිතෙනවා මට ආදරෙන් සලකපු මේ දුවට මම කරන්නේ වරදක් කියලා. මම හොඳ තැනකට යන්න කැමතියි.” කීවාය.‍

සුදු නෙළුම්මල් වට්ටියක් ගෙන්වා භූතාත්මය එයට සම්බන්ධ කොට දියණිවරු හා ශ්‍රීමා සමඟ අනුරාධපුරයට යැවීය. ‍

(මේ ලිපි පෙළට සම්බන්ධ තොරතුරු 071 – 6398690 න් විමසන්න.)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: