Posted by: lrrp | July 12, 2014

දෙවියන් සමඟ සිටින දරුවන්

එකිනෙකට සමීප ප්‍රදේශ තුනක, එකම රෝග ලක්ෂණ පෙන්නුම් කළ දරුවන් සිවු දෙනකු පිළිබඳ පුවතක් පසුගියදා අසන්නට ලැබුණි. නිට්ටඹුව, යක්කල, මිරිස්වත්ත, වේයන්ගොඩ ආදී ප්‍රදේශවල ජීවත්වන මේ දරුවන් ගේ ඉණෙන් පහළ කොටස අප්‍රාණික ය. එහෙත් කිසිදු වෛද්‍යවරයකුට රෝගය කුමක් දැයි නිගමනය කළ නොහැකි විය. සැබැවින් ම ඊට බලපෑ කිසිදු ශාරීරික හේතුවක් සොයා ගත නොහැකි වුණි. එහෙත්, යම් පූර්ව පිනක් නිසා මේ දරුවන් සිවු දෙනාම එක්තරා තැනකට යොමු වුණි. ඒ එක්තරා උපාසිකාවක් වෙතට ය. නිට්ටඹුවේ සිට තම දරුවාත් රැගෙන මුලින් ම ඇය සොයා පැමිණි වැඩිහිටියන්ට ඇය කීවේ, “මේ දරුවා විතරක් නොවෙයි, තවත් තුන් දෙනෙක් මේ අකුසල කර්මයට සම්බන්ධ වී සිටිනවා. ඒ අයත් දැන් ඉපදිලයි ඉන්නේ. සමහරවිට ඔවුන් ද අපට මුණ ගැසෙයි” යනුවෙනි. එහෙත් ඇය මේ වැඩිහිටියන්ට බලාපොරොත්තුවක් දුන්නී ය. ඒ දරුවා සුවපත් කළ හැකි බව ය. ඒ සඳහා දරුවා මෙන් ම වැඩිහිටියන් ද ප්‍රතිපදාවකට පැමිණිය යුතු ය. නිර්මාංශ ප්‍රතිපදාවට පැමිණ, පිරිත් සජ්ජායනයන්ට සම්බන්ධ වී දානමාන පිංකම් කරන ලෙස ඇය ඔවුන්ට උපදෙස් දුන්නී ය. මේ අකුසල කර්මය සත්ත්ව ඝාතන හා සම්බන්ධ වූවකි.

නොබෝ දිනකින් ඉතිරි දරුවන් තිදෙනා ද මේ ලෙස ම උපාසිකාව බැහැ දකින්නට ආහ. ඔවුන්ට ද පෙර පරිදි ම උපදෙස් ලැබුණි. වයස අවුරුදු හත අට පමණ වූ මේ දරුවන් හරියටම අදාළ තුන් මාසය ඉක්ම යත් ම පය බිම තබා ඇවිදින්නට වාසනාවන්ත විය. ඒ අකුරටම ප්‍රතිපදාවන් ආරක්ෂා කිරීම නිසා ය.

එහෙත් මේ අතරින් එක් මවක් තම දරුවා දෙපයින් නැඟී සිටිනු දැක ප්‍රීතිමත්ව

“අනේ දැන් මගෙ දරුවාට සනීපයි. පෝෂණය වැඩි කෑම දෙන්න ඕනෑ’ යි සිතා එදිනම බිත්තරයක් තම්බා දරුවාට දුන්නා ය. එය ආහාරයට ගත් සැණින් පෙර පරිදිම දරුවා ගේ ඉණෙන් පහළ අප්‍රාණික විය. නිර්මාංශ ප්‍රතිපදාවෙන් බැහැර වීම නිසා ඇයට නැවත කටුක අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවිය. දරුවා ඔසවා ගෙන නැවත උපාසිකාව වෙත දිව ගිය ඒ මවට දරුවා සුවපත් කර ගැනීම සඳහා තවත් මාස තුනක් නොකඩවා ප්‍රතිපදා රකින්නට සිදුවිය.

මේ ලොව උපන් සියලු අංගවිකල මිනිසුන්, ශරීරාංග අප්‍රාණික වුවත් ඒ තත්ත්වයට පත්ව සිටින්නේ සත්ත්ව ඝාතන කිරීම නිසා යැයි මෙහිදී නොකිය වේ. එය අප හොඳින් අවබෝධ කරගත යුතු ය.

ඔබ යම් රෝගාබාධයක් සඳහා ඖෂධ ලබා ගන්නේ යැයි සිතන්න. පැය හයෙන් හයට ගත යුතු බෙහෙත් වේලෙන් එක් වේලක් අතපසු වුවහොත් නැවත මුල සිට ම බෙහෙත් වට්ටෝරුව ගත යුතු ය. නිර්මාංශකරණය ද එවැනි ය. නිර්මාංශ බවින් සුවතාවය ලබන ජීවිත තිබේ නම්, මස් මාංශ තබා කුඩා කේක් කැබැල්ලක් පවා කෑමට ගත්තේ නම් සිදුවන්නේ නැවත මුල සිටම ඒ ඒ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ය.

බිත්තරයක් ආහාරයට ගැනීම නිසා පෙර කී දරුවා නැවත රෝගී භාවයට පැමිණීම තුළ බිත්තරයක ජීවයක් තිබේද, එසේ ජීවයක් තිබෙන්නේ ගම් බිත්තරවල පමණ ද, ‘ෆාම්’ බිත්තර ආහාරයට ගැනීමෙන් පව් නොපිරේද යනාදී ගැටලු පැන නැ‍ඟේ. ෆාම් බිත්තරයක් යනු සෛලයකි. ශාක දල්ලක් ද සෛලයකි. එසේ නම් ශාක දල්ලක් හෝ කෑමට හොඳ නැත. බිත්තරය කුමක් ද යන්න මෙහිදී ප්‍රශ්නයක් නොවේ. පොදුවේ බිත්තරයට ජීවයක් නැත. එහි ඇත්තේ බිත්තරයට අවශ්‍ය සංඝටක පමණි. බිත්තරය පැළ කරන්නේ උෂ්ණයෙනි. සත්ත්ව නිර්මාණයක් සිදුවන්නේ අදාළ උෂ්ණත්වය ලැබුවේ නම් පමණි.

බෞද්ධ දර්ශනය අනුව යම් දෙයක් අනුභව කිරීම තුළ සීලයක් නැත. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කෙනෙක් ආහාර ගෙන පාරිශුද්ධ නොවන බව ය. නො කෑමෙන් පිරිසිදු වන්නේත් නැති බව ය. ඒ බෞද්ධ දර්ශනයයි. එහෙත් අප මෙහිදී කතා කරන්නේ යම් යම් අකුසල කර්ම නිසා සිදු වූ දේ පිළිබඳව ය. පෙර සත්ත්ව ඝාතන කිරීම නිසා මේ අත්බවයෙහි කෙනෙක් එම පාපය විඳවනවා නම්, තවදුරටත් සත්ත්ව ඝාතනයෙහි අනුබල දීමට ගියේ නම් සිදුවන්නේ පාපය වර්ධනය වීමයි. එම නිසා එවැනි පුද්ගලයෙක් එයින් වැළකිය යුතු ය. සැබැවින් ම මනුෂ්‍ය ශරීරයට සත්ත්ව මාංශ අවැසි ම නැත.

දරුවෙක් නිරෝගී වන්නේ ම නිර්මාංශ වීමෙනි. ලෙඩ රෝගවලට බොහෝ විට හේතු වන්නේ අක්‍රමවත් ආහාර රටාව ය. දරුවාගේ සිතිවිලි ප්‍රසන්න වීමට, ශරීරය ප්‍රසන්න වීමට මාංශ අනුභවයෙන් තොරවීම සුදුසු ය. විශේෂයෙන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබීමට පුළුවන් වන්නේ නිර්මාංශ ප්‍රතිපදාවක පිහිටා විභාගයට යන දරුවකුට පමණි.

මේ ප්‍රතිපදාවට පංච ශීලය ද ඇතුළත් විය යුතු ය. සතුන් මැරීමෙන්, සොරකමින්, කාම මිථ්‍යාචාරයෙන් බොරුවෙන්, රහමෙරපානයෙන් දුරු වීම ඉතා වැදගත් ය.

සමහර දූ දරුවෝ, විශේෂයෙන් උසස් පෙළ වැනි විභාගවලට යහළුවන් සමඟ එක් රැස් වී පාඩම් කරති. ඒ එක්වීම්, මවුපියන් ගේ ඇස්වසා දුම්වැටි ඉරීම, මත්වතුර පානය, දක්වා ද අසැබි දසුන් බැලීම දක්වා ද දුර දිග යාම වර්තමානයේ සුලබ අත්දැකීම් ය. ඇතැම් ගැහැනු දරුවන් පවා මේ දුශ්චරිතවලට පුරුදු වේ. මේවා තරුණ දරුවන් කිසිසේත් ම අනුගමනය නොකළ යුතු දුශ්චරිත ය. එවැනි දරුවකුට, එක්රැස් වී පාඩම් කළේ යැයි, ප්‍රශ්නෝත්තර සාකච්ඡා කළේ යැයි විභාගයක් සමත් වීම අසීරු ය. එහෙත් මේ කණ්ඩායම් අතර වෙනස් දරුවෙක් සිටී යැයි සිතන්න. හේ අදක්ෂ ය. එහෙත් අනලස් ය. ප්‍රතිපත්ති ගරුක ය. ඒ නිසා ම මේ දරුවා ඉහළ ලකුණු අතරට පැමිණේ.

සමහර දරුවෝ නිර්මාංශ නොවෙති. එහෙත් විභාගයක් ආසන්නයේ මස් මාංශ අනුභවයෙන් සම්පූර්ණයෙන් වැළකෙති. දෙවියන්ට පූර්ව හෝ පසු දේ වැදගත් නොවේ. මේ මොහොතේ ළං විය හැකි ද යන්න පමණක් විමසා බැලේ. ආශිර්වාද හිමිවන්නේ ‍එහෙයිනි.

අධ්‍යාපනය ලබන දරුවකු ගේ ධාරණ ශක්තිය වර්ධනය කිරීමට නම් කළ යුතු දේ කුමක්ද? භික්ෂුන් වහන්සේට මෙතරම් ගාථා ප්‍රමාණයක් වන පොත් වන්නේ කෙසේ ද යන්නෙහි ඊට පිළිතුරු තිබේ.

ඊට හේතුව උන්වහන්සේ නිරන්තරයෙන් තුනුරුවන් සමඟ සිටීම ය‍. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා තැන හිඳීම ය. ධර්ම රත්නය සමඟ සිටීම ය. බෝධීන් වහන්සේ සමීපයෙහි, ධාතුන් වහන්සේ වැඩ සිටින චෛත්‍ය රාජයාණන් වහන්සේ සෙවනෙහි සිටීම ය.

මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා ඔබ දන්නා හඳුනන සුපතල චරිතයකි. භාවනාවෙන් දවස අරඹන, තුනුරුවන් සමඟ ජීවත්වන ඔහුට ඇත්තේ පුදුමාකාර මතක ශක්තියකි. වන පොත් වීමකි.

දරුවකු ගේ දියුණුවට මිනිසුන්ගේ ආශිර්වාදය ද ඇවැසි ය. අනුන් වෙනුවෙන් හිතන, පරාර්ථකාමී දරුවකුට අනුන්ගෙන් ලැබෙන ආශිර්වාදය ඉතා බලගතු ය. මේ සියල්ල දේවාශිර්වාදය ලැබීම සඳහා දරුවෙකු වෙත තිබිය යුතු සුවිශේෂී ගුණාංගයන් ය.

දෙවියන් ගේ ආදරය දිනා ගන්නට නම් දරුවකු ගේ ජීවන පැවැත්ම විනීත, විනය ගරුක හා ‍සරල විය යුතු ය. හැකි අවස්ථාවන් හි දී බෝධීන් වහන්සේට වන්දනා කොට බුදු ගුණ කියා ඒ ලැබෙන පින දෙවියන්ට අනුමෝදන් කළ යුතු ය. තෙරුවන් උදෙසා මල් පහන් පුදා ඒ පින් දෙවියන්ට දිය යුතු ය. අසරණයන්ට, වැඩිහිටියන්ට, ලෙඩුන්ට සැලකීමෙන්, මවුපියන්ට උදවු කිරීමෙන් ලැබෙන පින දෙවියන්ට අනුමෝදන් කළ යුතු ය. මෙවැනි පැවතුම් ඔස්සේ දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන යන්නට, ඉහළ ප්‍රතිඵල උදා කරගන්නට නිසැකව ම දේවාශිර්වාදය හිමිවේ.

යම් දරුවෙක් උදේ සවස බුදුන් වැඳ, එසේත් නැතිනම් තම ආගම අනුව ස්තෝත්‍ර ගායනා කර පස් පවින් වැළකී සිටී නම්, ඒ දරුවා සමඟ දෙවියන් සිටී. එසේ දේව ආදරය ලැබෙන පරිදි ජීවත්වන දරුවාට විභාග ආසන්නයේ කිසිදු ආකාරයක හිසෙහි බර ගතියක් නො දැනේ. කායික අපහසුතාවක් ඇති නොවේ. සැහැල්ලුවෙන් පාඩම් කරන්නට ඉඩ ලැබේ.

රත්නත්‍රයේ ගුණ ලියූ යන්ත්‍රයක් ගෙලෙහි පැලඳීම ද සුදුසු ය. එමෙන් ම දරුවා එය පැලඳි මොහොතේ පටන් පංච ශීලය ආරක්ෂා කරන්නෙක් විය යුතු ය. ධර්ම රත්නය යම් තැනක පවතී ද එතැනට දෙවියන් ගේ බලය තිබේ. දේව ආශිර්වාදය හිමි වේ. මෙහි දී සිදු වන්නේ ද කෙනෙක් යම් තඹ පතක රත්නත්‍රයේ ගුණ ලියා ගෙලෙහි හෝ අතෙහි හෝ පැලඳ තිබේ නම් දෙවියන් නිරන්තරයෙන් ඊට බැල්ම යොමාගෙන සිටීම ය. ඒ පුද්ගලයා පස්පවින් දුරු වී නම් දෙවියන් ‍ඒ ශරීරයට හානියක් වන්නට ඉඩ නොදේ.

බුදුගුණ, තෙරුවන් ගුණ ලියූ සුරයක්, යන්ත්‍රයක් පැලඳි පුද්ගලයෙක් යම් හෙයකින් ඌරු මස් වැනි මාංශයක් අනුභව කළේ නම් එහි ගුණ බි‍‍ඳෙනවා යන්න සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් මෙවැනි ප්‍රකාශ පිළිබඳව ද අප අවධාරණය කරගත යුතු දෙයක් තිබේ. තුනුරුවන් ගේ ගුණයට වඩා ඌරාගේ බලය වැඩිවන්නේ නැති බව ය. සුදුසුම දේ වන්නේ අනවශ්‍ය කුණු කසල පුරවගෙන ශරීරය අපවිත්‍ර කර නො ගැනීම ය.

දරුවන්ට වඩාත් හිතකර දෙවියන් කවුද? විෂ්ණු, කතරගම, සමන්, ගම්භාර වැනි දෙවිවරු වඩාත් සුදුසු ය. මේ දෙවිවරු බොහෝ ආදරණීය ය. සාංදෘෂ්ටිකය. එනම් මෙලොව වශයෙන් ම උපකාර කරති. ඔවුන් උදවු කරන බව, උදවු ලැබෙන බව අපට දැනේ. හැ‍ඟේ. දරුවෙක් කළ යුතු වන්නේ මේ එක් දෙවි කෙනෙක් පිළිබඳව විශ්වාසය තබා ගෙන ඒ දෙවියන්ට පුද පූජා පැවැත්වීම ය. සියලු දෙවියන්ට පුද පූජා පැවැත්වීමේ වරදක් නැතත් වඩාත් ප්‍රතිඵල දායක එක් දෙවිකෙනකු තමන් ගේ ඉෂ්ට දේවතා බවට පත්කර ගැනීම ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: