Posted by: lrrp | November 11, 2014

දහමින් මිදුණු සිත වරදට පෙළඹේද?

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම

සාරාර්ථ ගමනකට මුලපුරන්නේ දහමයි. ඕනෑම දහමකින් හෙළිකරන්නේ දිවිය යහමඟට යොමු කිරීමය. බෞද්ධයන් හැටියට විෂය කරගන්නේ බුදුදහමයි. බුදුදහමේ පවත්නා සාරාර්ථය උකහා ගැනීමෙන් හොඳ දිවියක්‌ නිර්මාණය කරගත හැකිය. යහපත් දිවියක්‌ තමයි බුදුසමයෙන් අපේක්‌ෂා කරන්නේ.

දහම යථාවාදී තතාකාරී ලෙස අවබෝධකොටගත යුතුය. මතුපිටින් නොව පූර්ණ දහම උකහාගත යුතුය. එසේ උකහා නොගතහොත් දෙබිඩි චරිතයක්‌ බවට පත්වෙයි. අභ්‍යන්තරයේ මෙන්ම බාහිර වශයෙන් චරිතය ඒකාකාරී විය යුතුය. දෙබිඩි චරිතයක්‌ ඉස්‌මතු නොවිය යුතුය.

ආත්මයට ධර්මය විෂය කරගත යුතුය. ජීවිතයේ නිහතමානීකම, සංවේදිතාව මතුවන්නේ ධර්මතා මතය. පුද්ගලයා ක්‌ෂණික තීරණ ගන්නේ ධර්මයට නැඹුරු නොවීම අනුවය. දඩබ්බර, අමානුෂික දේවල් කරන්නට පුද්ගලයා යොමුවන්නේ ධර්මයෙන් තොරවීම නිසාය. හොඳ – නරක පිළිබඳව විනිශ්චයක්‌ ගන්නට අපහසුවීමට මූලික හේතුව ධර්මයෙන් දුරස්‌ථවීමයි.

තමන්ට කවරකු හෝ වරදක්‌ කළ විට ඒ අයගෙන් පළිගන්නට යන්නේ ධර්මයට නැඹුරු නොවීම නිසාය. මෙසේ පළිගන්නට යොමුවන්නේ සිත තැන්පත් නොවීම හේතුකොටගෙනය. තමන්ගේ දියණියට අතවර කළ තැනැත්තා අධිකරණ භූමියෙන් පිටතට එද්දී දියණියගේ පියා පෙම්වතාටත් (අතවර කළ) ඔහුගේ නැගණියටත්, පියාටත් නියනකින් ඇන පළිගන්නට යාමෙන් පියා මියගිය අතර අනෙක්‌ දෙදෙනා බරපතළ තුවාල ලැබ රෝහල්ගත කිරීමේ පුවතක්‌ අපට දැනගන්නට ලැබිණි. මේ තත්ත්වය හේතුකොට නියනෙන් ඇන්න දියණියගේ පියා අත්අඩංගුවට ගන්නා ලදී. මෙයට මූලික වූයේ පළිගැනීමයි. පළිගන්නට යාමෙන් දෙපාර්ශ්වයම මහත් අසීරු තත්ත්වයන්ට පත් වූහ. මෙබඳු තත්ත්වයක්‌ ඇතිවූයේ දෙපාර්ශ්වයටම ධර්මය පිළිබඳව අවබෝධයක්‌ නොමැතිකම නිසාය.

පැවැත්ම තීරණය කිරීම

දහම තමයි දිවියේ ආත්මය වන්නේ. ජීවිතයේ පැවැත්ම තීරණය කරන්නේ ධර්මකාමීත්වයයි. ඉවසීම ඇතිකරන්නේ ධර්ම මාර්ගයයි. සමාජයේ සෙස්‌සන් ගැනද මානව භක්‌තියෙන් යුතුව නෙත් – සිත් යොමු කළ යුතුය. ආත්මාර්ථය පසෙකට දමා පරාර්ථකාමීත්වයට පෙරට ආ යුතුය.

සොබාදහමෙන් මල් පිපෙන්නේ සමාජය සුවඳවත් කිරීමටය. මලේ රොන්වලින් මිනිසා පමණක්‌ නොව සමනලයන්, පක්‌ෂීන්, බඹරුන් ආදි සියල්ල සතුටු කරන්නේ මල්ය. ජීවිතයත් සුවඳවත් විය යුතුය. සුවඳ හමන දිවිය සමාජයටම ආශිර්වාදයකි. පමරාදර්ශිභාවයක්‌ ජනිත කරන දිවිය වර්ණනා කරන්නට ශබ්ද කෝෂයේ වදන් නොමැති තරම්ය.

මහා පාඩම් පොතක්‌

යහපත් දිවිය මහා පාඩම් පොතකි. සමාජයට එම මහා පාඩම් පොතෙන් අප්‍රමාණ දේවල් උකහාගත හැකිය. පොළොන්නරු අවදියේ ‘අමාවතුර’ නමැති සම්භාව්‍ය ගණයට ගැනෙන ග්‍රන්ථය ලියෑවුණේ බුදුරදුන්ගේ ‘නව අරහාදි’ ගුණවලින් ‘පුරිසධම්ම සාරථි’ ගුණය මුල්කොටගෙනය. ජනතාව අතර මහත් ආන්දොaලනයක්‌ ඇතිකරන්නට මේ කෘතිය අනුබලයක්‌ විය. සෙසු නව ගුණ මොනවාද යන්න ගැන සොයන්නට සමාජය කෙරෙහි මහත් කුතුහලයක්‌ ඇතිවිය. එහි ප්‍රතිඵලයක්‌ තමයි ගුරුළුගෝමිගේ අමාවතුරෙන් පසුව විද්‍යා චක්‍රවර්තියේ ‘බුත්සරණ’ ග්‍රන්ථය බිහිවූයේ.

අමාවතුර – බුත්සරණ බඳු ග්‍රන්ථ අද්‍යතන සමාජයේ අය පරිශීලනය කරන්නේද? මේ ග්‍රන්ථ පුන පුනා පරිශීලනය කරනවා නම් තමන්ගේ සිත දමනය කරගන්නට පුළුවන. එය ඒ සඳහා ප්‍රබල සාධකයකි. සිsත විවිධ පැතිකඩවලට යොමුවන්නට යැමෙන් සංකීර්ණ තලයකට පත්වෙයි. මේ සංකීර්ණතාව මත පුද්ගල මනස වරදට යොමුවන්නේ නිතැතිනි. නිරන්තරයෙන්ම වරදට යොමුවන සිතෙන් පුද්ගලයාටත්, සමාජයටත් සෙතක්‌ වන්නේ නැත.

පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය, හැසිරීම් රටාව මත ඔහු කෙබඳු ගණයට පත්වන්නෙක්‌ද යන්න අපට නිර්ණය කළ හැකිය. ධර්මයට යොමුවූ තැනැත්තා වැරැදි කරන්නට දක්‌වන්නේ මහත් බියකි. වරදෙහි විපාක, ප්‍රතිවිපාක පිළිබඳව හොඳ අවබෝධයක්‌ ඇත. ධර්මයේ අගය, වටිනාකම මෙයින්ම මතුවෙයි.

තමන්ගේ සිඟිති බිලිsඳිය පොළොවේ ගසා මරන්නට තරම් පියා දරුණු වූයේ ඇයි? ධර්මය පිළිබඳ යථාවබෝධ ඥනයක්‌ එම පුද්ගලයාට නොතිබීම නිසයි, මෙබඳු අතිශෝචනීය තත්ත්වයයක්‌ ඇතිවූයේ. තමන්ගේ ඥන ශක්‌තියෙන්, ජානවලින් බිහිකළ බිළි¹ හිතක්‌ පපුවක්‌ නැතිව පොළොවේ ගසා මරා දමන්නට තරම් දරුණු වූයේ ධර්මකාමීත්වයෙන් දුරස්‌ත වීම හේතුකොට ගෙනය.

මෙවන් පුද්ගලයන්ට ආත්මයෙන් ගැලවෙන්නට හැකියාවක්‌ තිබේද? අනවරාග්‍ර හෙවත් කෙළවරක්‌ නැති භවයෙන් මිදෙන්නැයි අප නිතරම කල්පනා කළ යුත්තේ. ධර්මකාමී පුද්ගලයාගේ දිවිය තමන් පසු පස යන සෙවණැල්ල සේය. අධර්මකාමී පුද්ගලයා ගවයින් පසුපස යන ගැලමෙනි. මහාබරක්‌ දරාගෙන දිගු ගමනක්‌ යයි. ගමන කෙටිකරගත යුතුව තිබියදී තවදුරටත් ඒ ගමන දිගු කරන්නේ ඇයි?

හැසිරීම් රටාව

පුද්ගලයා නිවසේ ගතකරන ආකාරය, හැසිරීම් රටාව නිර්ණය කරන්නට අතිශයින්ම අනවරතයෙන්ම බලපාන්නේ ධර්මකාමී දිවි පෙවෙතයි. තමන් යන යන තැනට ධර්මකාමී දිවිය රැගෙන යා යුතුය.

බුදුරදුන් පිරිනිවන් පෑමෙන් පසු වන්දනය කරන්නේ කාටදැයි දිනක්‌ ඇසූ අවස්‌ථාවේදී බුදුරදුන් කියා සිටියේ ඇයි මගේ ධර්මයට වන්දනය කරන ලෙසයි. සත්‍ය දහම, පිරිපුන් දහම පසුපස යන කවරකුටත් වරදින්නේ නැත. වරදින්නේ දහම අතට නොගත් පුද්ගලයන්ටය. දහමෙන් කරන්නේ තැන්පත් නුවණක්‌ ජනිත කිරීමයි. චරිතය වර්ණවත් කරන්නේත් ධර්මයයි.

ප්‍රිය වදන් තෙපලීම

යහපත් චරිත ඇසුරු කරන්නට අප නිතරම වෙහෙසගත යුතුය. යහපත් චරිතයෙන් අපට බොහෝ දේවල් ඉගෙනගත හැකිය. ඒ අනුව වරදට පෙළඹෙන්නේ නැත. වරදට, අපරාධයට මුල්වන්නේ දහම් සිතුවිලිවලින් තොරවීම හේතුකොට ගෙනය.

ආවේගශීලී හැඟීම් හේතුකොටගෙන පුද්ගලයා ක්‌ෂණික තීරණ ගන්නට යොමුවෙයි. මේ හේතුව නිසා භයානක ප්‍රතිඵල ඇතිවන්නට පුළුවන. වචන භාවිතය ගැනත් පුද්ගලයා පරිස්‌සම් විය යුතුය. ධර්මකාමී පුද්ගලයාගේ වදන් ප්‍රසන්නය. එම වදන්වලට යළි යළිත් සවන් දෙන්නටයි යොමුවන්නේ. ප්‍රියවදන් තෙපලීම මුඛ්‍යාර්ථයයි.

ඇතැම් පුද්ගලයන් කතා කරන්නේ අප්‍රසන්න ආකාරයෙනි. එම වදන්වලට යළි යළිත් සවන් දෙන්නට සෙස්‌සන් යොමු වන්නේ නැත. රළු-අහිමිරි වදන් තෙපලන්නට යොමුවීමෙන්ද වළකින්න. මිනිසාට එම වදන් විෂය නොවේ. ධර්මාවබෝධය නැති පුද්ගලයායි අප්‍රසන්න වදන් තෙපලන්නේ. ඔහු කතාකරන්නේ ගහගන්න ආකාරයෙනි. මෙයද පුද්ගලයාගේ අභාග්‍යයයි.

දිවියේ යථා තත්ත්වය නොදැන යන ආත්මය අවසන් වන්නේ කොතැනින්ද යන්න ඔහුටම ගැටලුවකි. ජීවිතයේ යථාර්ථය මැනවින් අධ්‍යයනය කොටගත් පුද්ගලයාට ගැටලු මතුවන්නේ නැත. මන්ද යත් යමකු ඉපදුනොත් මියයනවා, යමක්‌ ඇතිවුණොත් නැතිවෙනවාය යන අනිත්‍ය ස්‌වභාවය මැනවින් දන්නා බැවිනි.

අනිත්‍ය ස්‌වභාවය

මෙලොව කිසිවක්‌ ස්‌ථිර නැත. අනිත්‍යයෑයි බුදුරදුන් පැවැසුවේ ඒ හේතුව නිසාය. ඊට පසු දුකය. දුක දිගටම පවත්වනු ලැබේ. සැපයත් ඇත්නම් ඒ සැප තාවකාලිකය. සදාකාලික වශයෙන් සැපයක්‌ නැත. ඉන් අනතුරුව අනාත්මභාවය මතුවෙයි. අනාත්මභාවය හේතුකොටගෙන අනවරාග්‍ර භවයේ අනන්ත අපමාණ ලෙස පුද්ගලයා සැරිසරයි. මේ දුක නැතිකරගන්නට, තුනීකර ගන්නට පුද්ගලයා සිතට ගත යුතුය.

අනිත්‍යයෑයි – දුක්‌ඛයි – අනාත්මයි යන තිලකුණු පුද්ගලයා නිතරම මෙනෙහි කළ යුතුය. ධර්මයට යොමුවෙනවාය, නැඹුරු වෙනවාය යනුවෙන් පවසන්නේ ඒ හේතුව නිසාය. අනුන්ට හිංසනයක්‌ නොවන අන්දමට තමන් දිවි ගෙවිය යුතුය. අහිංසාවාදීව දිවිය පවත්වාගෙන යන්නට බුද්ධිමත් පුද්ගලයා සිතටගත යුතුය.

බලය මත රැඳුණු පුද්ගලයාට ධර්මය අමතකවෙයි. බලයෙන් හිස උදුම්මාගන්නේ මෝහය හෙවත් මෝඩකම හේතු කොටගෙනය. තමන් දිවි ගෙවන පරිසරය ඉතා පිරිසිදුව තබාගත යුතුය. බුදුරදුන් මෙය අපට ප්‍රථමයෙන්ම පෙන්වා දුන්නේය. සෙස්‌සන්ගේ සිත්ගන්නා ආකාරයට නිවසේ පරිශ්‍රය තබාගත යුතුය. පුද්ගල චරිතය කෙබඳුද යන්න තීන්දු කරන්නේ පුද්ගලයා දිවිගෙවන පරිසරයය. පරිසරය කලාත්මක ස්‌වරූපයෙන් යුක්‌ත නම් එතැන පුද්ගලයාගේ චරිතය හෙළි කරයි.

පහන් සිතුවිලි මතුවීම

පහන් සිතුවිලි ධර්මකාමී දිවියකින් හෙළිවෙයි. එම සිතුවිලි ගොන්න අන් අයට දායාද කිරීමයි අරමුණ වියයුත්තේ. ඊර්ෂ්‍යාව, කුහකකම, වෛරය, අමනාපය දිවියෙන් තොර කර ගත යුතුය. මේවා තියාගෙන යහ මාර්ගයට යොමු විය නොහැකිය.

අන් අයගේ යහපතට අකුල් හෙලන්න එපා. ඒ යහපත තවදුරටත් වර්ධනය කරන්න උදව් කරන්න. ධර්මකාමී දිවි පෙවෙතක මූලික අභිප්‍රාය වන්නේත් එයයි. අන් අයගේ ප්‍රගතියට සතුටුවෙන්න. ඒ දෙස ඉවත බලන්න එපා. යමෙක්‌ දියුණුවට අරඅඳින ගමන කඩා ඉහරවන්නත් එපා. සහනශීලී – ධර්මකාමී දිවි පෙවෙතක මූලික අභිප්‍රාය වන්නේ සමාජය සෙස්‌සන් දෙස තමන්ගේ දිවිය දෙසට බලන ආකාරයටය.

ධර්මයෙන් පරිපෝෂිත පුද්ගලයාගේ ඊළඟ භවය ගැන ගැටලුවක්‌ – ප්‍රශ්නයක්‌ අර්බුදයක්‌ ඇති නොවෙයි. ඉතාම සතුටින් මරණය කරා යා හැකිය. කවදා හෝ මරණයට සමීපවන පුද්ගලයාට නිර්භවයම එයට සූදානම්ව එඩිතරව මුහුණ දිය හැකිය. සමාජයේ බොහෝ අය සිතා සිටින්නේ නොමැරෙන අය ලෙසය. ඒ අධර්මයට නැඹුරු වූ පුද්ගලයාය. ධර්මකාමී පුද්ගලයා මැරෙන බව දැනගෙන ජීවත්වෙයි. සංසාරය කෙටිකර ගැනීමට ඉවහල් වන්නේ එයයි.


Leave a comment

Categories