Posted by: lrrp | February 22, 2015

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

පෙර කුසල් ඇත්තෝ ඒ කුසලයන්ගේ විපාක ආනිසංස ව‍ශයෙන් රූමත්ව, නිරෝගීව උපදිති. වස්තු දේපළ වලට අයිතිය ලබාගෙන එවැනි පවුල්වල උපදිති. එහෙත් මේ ලෝකය කාමාවචර ලෝකයකි. එසේ උපදින වාසනා වන්තයෝ මෝහය මූලිකවීම නිසා අකුසලයට බරවී දුගතියට පාර කපා ගනිති. මා මෙසේ ඉපිද ඇත්තේ පෙර කුසල විපාක නිසාය. ඒවා තවදුරටත් වර්ධනය කැර ගත යුතු යැයි නොසිතති. පිටි කෑවාම රොටි නො ලැබේ. තෙල් අවසන් වූ විට පහන නිවෙයි. අඳුරට පත්වෙයි. පහනට නැවත තෙල් නොදැමීම නිසා අඳුර වසා ගනී. පංචේන්ද්‍රියයන් පිනවීමේ ලෝභයත් මෝහයත් පුද්ගලයා ගේ ආධ්‍යාත්මය විනාශ කරයි. හෙට මැරුණත් හිතට සැපයි. අද ජොලි කරලායි සිතන්නෝ තමන් මෝහයෙන් අන්ධව සිටි බව සිතන්නේ පස්ස බිම ඇනුණු දාටය.

‍රාජිනී පනස් දෙහැවිරිදි වුව ද වයස අවුරුදු තිස්පහකට වඩා නොපෙනේ. මනාව වැඩුණු අඟ පසඟින් යුත් ඈ රූමත් ය. ඉංජිනේරුවරයෙකු හා විවාහ වී වයස 22, 17 හා 15 දියණියන් තිදෙනෙකු ලබා සිටියා ය. උපතින් ම විශාල ධනස්කන්ධයක් හිමි ව සිටි රාජිනී තම පවුලට අයත් හවුල් ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරියක ලෙස මාසයකට රුපියල් ලක්ෂ පහක පමණ වැටුපක් ලැබුවා ය. වර්ෂය අවසානයේ ලක්ෂ පණහක හැටක පමණ ලාභාංශයක් ද ලැබුවා ය. යාන වාහන ඇතිව ජීවත්වූ ඇයට දුකක් දැනුනේ ම නැත. ඇගේ ස්වාමි පුරුෂයා සිය ඉංජිනේරු රැකියාවෙන් තෘප්තිමත්ව ජීවත් වූයේ බිරියගේ වත්කම් දේපළවලට ඇඟිලි ගැසීමෙන් වැලකී සිටියේ ය. දියණියන් තිදෙනාගේ අධ්‍යාපනය ගැන සොයා බැලීය. රාජිනීට වෙනම වාහනයක් තිබුණි. වයස අවුරුදු තිහක කඩවසම් රියදුරෙකු සිටියේ ය. රාජිනී රියැදුරා සමඟ සිය වාහනයෙන් විනෝද ගමන් ගියා ය. දවස දෙක හෝටල්වල නැවතී කා බී සතුටුව ආවා ය.

මේ අතර හිටි හැටියේ රාජිනීත් රියැදුරාත් වාහනය සමඟ අතුරුදන් වූහ. තරමක් දුරින් කුළියට ‍ගත් නි‍ෙවසක රියැදුරු තරුණයා සමඟ අලුත් ජීවිතයක් ගෙවන්නට වූවාය. වාහනයෙන් රැකියාවට ද පැමිණ ගියා ය. සිදු වී දෙය වටහා ගත් ඉංජිනේරුවරයා දික්කසාද නඩුවක් දැම්මේ ය. දෙපාර්ශ්වයේ නීතිඥයන් සාකච්ඡා කොට දික්කසාද තීන්දුව ද ඉක්මනින් ලබා දුන්නේ ය. ඉංජිනේරුවරයා දියණියන් තිදෙනා සමඟ ඈත්වී ගියේ ය.

රාජිනීගේ නිදහස පුළුල් විය. රියැදුරාත් (සනත්) සමඟ ප්‍රීතියෙන් කල් යැවුවා ය. රාජනී තේ වත්තක්, ඇඟළුම් හල් කීපයක්, තවත් වතු කීපයක් අයිති පවුලක බැවින් ඇයට කිසි අඩුවක් පාඩුවක් නො දැනුණි‍. මේ අතර සනත් තමන්ගේ ආරක්ෂාව පතා කල්පනා කොට තේ වත්තක් ඔහුගේ නමට ලියන්නැයි රාජිනීට කීවේය. රාජිනී නිහඬව සිටියා ය. හවුල් ව්‍යාපාරයකට අයත් දේපළක් තනිව විකුණා ගන්නට හෝ අන්සතු කරන්නට නොහැකි බැවින් ඇය නිහඬ වෙනවා හැර මොනවා කරන්නට ද?

රාජිනීත් සමඟ රාත්‍රියට‍ මධුවිතෙන් සන්තර්පනය වන සනත් දැන් බීමත් කමටම ඇබ්බැහි වී සිටී. තේ වත්ත ලියා නොදෙන බැවින් බහින් බස් වීම් ද සිදුවෙමින් පැවතුණි.

“යකෝ, කේප්ප ගොනා වගේ පෝෂණය කරනවා මදිවාට මූට මගේ තේවතුත් ඕනෑ වෙලා’ යි වචනයෙන් නොකීවත් රාජිනීට ද සිතෙන්නට විය. ඒත් ස්වාමි පුරුෂයාටත් දියණිවරුන්ටත් එපා වූ රාජිනීට දැන් හැම දේට ම සිටින්නේ සනත් බැවින් ඇය ඉවසුවා ය.

මුල අමතක වී ගිය සනත් ද අයිතිය වෙනුවෙන් වචන මුදා හරින්නට විය. “ඔයාට වයසයි. ඔය පින්තාරු කැර ගෙන හිටියාට මගේ අම්මාටත් වඩා ඔයා වැඩුමල්. මට ඔයාගේ දූලගෙ වයසේ ගෑනු ළමයෙක් බැඳගන්න බැරි කමක් නෑ” යි තේ වත්ත පිළිබඳ බහින් බස්වීමක දී සනත් කීවේ ය. ඒ වචන ටික නම් රාජිනීට දිරවා ගන්නට අමාරු ව‍ූවා ය.

“අනේ ඕයි! දැන් තමුසෙට තෙල වැටිලා. ඩ්‍රයිවර් බව අමතක වෙච්ච හැටි” රාජනී දෙස් දෙවොල් තැබුවා ය.

බීමත්ව සිටි සනත් වේගවත් පහරකින් රාජිනීගේ කම්මුල අත ගෑවේ ය‍. රාජිනීගේ හොඳට වැඩුණු අතපය ද එහා මෙහා විදුලි කෙටුවේ ය. එදා රාත්‍රිය දෙදෙනා ගත කළේ කාමර දෙකක ය.

තවමත් යහනෙන් නොනැගිටි මැඩම්” අනේ අනේ කසාද මිනිහගෙන්වත් නිය පිටින් පාරක් නොකෑ උඹ ඩ්‍රැයිවර්ගෙන්…..” තමාට ම කියා ගත්‍තා ය.

වෙනදා දුහුල් රාත්‍රි ඇඳුම පිටින් ම කිරි වීදුරුවක් ගෙන එන ‘මැඩම්’ අද

නොඑන බව වටහාගත් සනත් ඇඳ යටට අත යවා ඊයේ අඩක් නිම කොට තිබූ අරක්කු බෝතලය හිස් බඩම කටට හළා ගත්තේ ය.

‘මැඩම්’ තවමත් ‍’වෙච්ච දේට එන්න සෙයියරදු’ යි නිදි ඉරියව්වෙන් ම අහස පොළොව ගැට ගහන්නට උත්සාහ කරමින් සිටියා ය. හිටි හැටියේ කාමරයට කඩා වැදුණු සනත් ඇඳට පැන රාජිනීට පහර දෙන්නට විය. ඇගේ රාත්‍රි ඇඳුම කීතු කීතු කර දැම්මේ ය. හොඳටම බීමතින් සිටි සනත් ඇගේ එක ම පා පහරින් ඇ‍ඳෙන් බිමට වැටුණේ ය. වෙරි මතින් අප්‍රාණික සනත්ට නැගිට ගන්නට හයියක් නොතිබුණි.

වහාම ඇ‍ඳෙන් නැගිට ගත් රාජිනී ඇඳුමක් ඇඟට දාගත්තා ය. අත්‍යවශ්‍ය දේ පමණක් බෑගයට ඔබා ගත්තා ය. වාහනයේ යතුර ද රැගෙන කාමරයෙන් පිට වී වාහනය පණ නංවාගත්තේ ය. සෑහෙන වේගයකින් ගමන් කරද්දී පිටුපස බලන කන්නාඩියෙන් ඇය දුටුවේ පිස්සියකගේ මුහුණකි. වාහනයේ වේගය අඩු කළ ඇය පිස්සියකගේ මෙන් අවුල් වී තිබුණු කෙස්ස පස්සට කරගත්තේ ඇඟිලි තුඩුවලිනි. ඇය ඇගේ මහගෙදර ආපසු ආවා ය.

මාසයක් පමණ ගතවිය. රාත්‍රිය රාජිනී හීනෙන් බිය වූවා ය. කවුදෝ ඇගේ අතින් අදිනු දැනෙන්නට විය. ශරීරය මත බර පැටවුණාක් මෙන් විය. ඇය මනෝ වෛද්‍යවරයෙකුගෙන් ආතතියට ප්‍රතිකාර ගත්තත් වැඩක් නොවී ය.

නැගණිය පත්ව සිටින තත්ත්වය දෙස ඉතා උපේක්ෂාවෙන් බලා සිටි ඇගේ සහෝදරයා ‘සිළුමිණ’ පත්‍රයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය සමඟ ගියේ ය.

රාජිනී තමන්ගේ දුක් ගැහැට ආධ්‍යාත්මීය උපදේශකවරයා සමඟ විස්තර කළා ය. ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට රාජිනී ප්‍රලය වී කෑ ගසන්නට වූවා ය.

“තොපි කවුද යකෝ” යි කුණුහරුප කියන්නට වූවා ය.

වේවැල් පහර දෙකක් වදින විට‍ ‘අ‍නේ ගහන්න එපා ගහන්න එපා’ යි භූතයා කීකරු වූයේ ය.

දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ද එය කායිකවත් මානසිකවත් පිරිසුදුව ශ්‍රද්ධාවෙන් කළයුතු යැයි ද ඇයට උ‍පදෙස් දුන්නේ ය.

මාසයකට පසු ඇය නැවත පැමිණියා ය. එදින ඇය දිෂ්ටි ගන්වා ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේ ය.

“කවුද මේ?”

“මතක නෑ”

“කවුද එව්වේ”

“මාතර කට්ටඩියා”

“ඇයි එව්වේ?”

“මේකිගෙ ඩ්‍රැයිවර් තමයි එව්වේ.‍ තේ වත්තකින් බාගයක් අපේ කට්ටඩියාට දෙනවැයි කියලා ඩ්‍රැයිවර් පො‍රොන්දු වුණා. ඒ වැඩේට මාව එව්වා. මම දැන් මේකි ළඟට වෙලා ඉන්නවා. මේකි ලස්සනයි. මම මේකිව බදාගෙන ඉන්නවා” යි භූතයා කීවේ ය.

“දැන් තමුන් මෙයාව අත හැරලා යන්න ඕනෑ.”

“මම කොහේ යන්නද? මට යන්න තැනක් නෑ.

රාජිනීට තවත් බෝධි පූජා දහ හතරක් නියම කොට භූතයාට ද ඒ බෝධි පූජාවලට යන්නට නියෝග කළේ ය.

බෝධි පූජා අවසන් කොට පැමිණි දිනයේ ගවේෂකවරයා ඇය දිෂ්ටි ‍ගන්වා භූතයා ඇමතීය.

“තමුන්ට බුදු හාමුදුරුවන් මතකද?”

“ඔව් මතකයි. බෝධි පූජාවට ගියාම මතකය අලුත් වුණා.”

පලතුරු වට්ටියක් ගෙන්වා ඊට සම්බන්ධ කොට භූතාත්මය බෙල්ලන්විලට යැවීය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: