Posted by: lrrp | February 22, 2015

භූතාත්මය මනුෂ්‍යයකුවීමට ඉල්ලා හඬා වැලපෙයි

අනේ! මහත්තයා, මට මනුස්සයෙක් වෙන්න ඕනෑ. මම දැන් අමනුෂ්‍යයෙක් බව දන්නවා. මගේ හිතේ අමාරුවට පපුව හිර වෙලා මැරුණා. මම දැන් අමනුෂ්‍යයෙක්, මට ආයෙත් මිනිහෙක් වෙලා උපදින්න ඕනෑ. මගේ නෝනයි දුවයි දාලා යන්න මට බෑ. මට ආයෙත් මිනිහෙක් වෙන්න ඕනෑ” යි ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේදී දියණියකට අවිෂ්ට වූ පියෙකු ගේ භූතාත්මයක් කීවේය.

අඹේපුස්සේ පදිංචි කාරුණිකා විසිඅට හැවිරිදි රූමත් තරුණියකි. සමන්තා කාරුණිකා ගේ මෑණියෝ ය. මේ දෙදෙනාටම දරුණුවට ඇඟපත වේදනා පැවතුණි. රාත්‍රියට නිවසේ මිනිස් ඡායාවක් ගමන් කරන අයුරු මේ දෙදෙනාටම පෙනෙන්නට විය. එසේ ම ඒ අවස්ථාවල ඉවසා සිටිය නොහැකි දුර්ගන්ධයක් ද පැතිරෙන්නට විය. සමහර දිනවලදී රාත්‍රියට කෙනෙකු උගු‍රේ රැල් බුරුල් අරින හඬ කාරණ හඬ ඇසෙයි. තවත් සමහර දිනවල “සමන්තා!” යැයි කෙනෙකු කතා කරන හඬ ද ඇසෙන්නට විය. සියල්ලටම වඩා මේ රූමත් තරුණ දියණියට විවාහයක් සිදු නොවීමද සමන්තාට මහත් බරක් විය.

මේ අපලකාරී දුර්දශාවෙන් මිදෙන්න මොවුන් නොකළ දෙයක් නැත. තොවිල් පවිල් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට දැනට ලක්ෂ ගණනක් මුදලින් වැය වී ඇත. මොන යම් කරදර තිබුණත් කාරුණිකාගේ කලවයස ඉක්ම යන බැවින් මංගල යෝජනා හා කපුවන් මාර්ගයෙන් විවාහාපේක්ෂකයන් ද ගෙන්වයි. එහෙත් කාරුණිකා කොතරම් රූමත් වුවත් නිවසට පැමිණ බලා යන මනාලයෝ කිසිවෙක් ඇයට කැමති නොවූහ.

මේ අතර සමන්තාගේ සහෝදරයෙක් “සිළුමිණ” පත්‍රයේ පළවන “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගය දැක කියවා එහි සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට යන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේය.

දිනක් සමන්තා සිය දියණිය සමඟ එහි ආවාය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී ප්‍රතිකාර පැතුවාය.

මේ දෙදෙනා වෙත ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට කාරුණිකා හඬන්නට වූවාය. ඇයට ආවිෂ්ටව සිටි භූතාත්මය සමඟ ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.

“කවුද මේ ශරීරයට ඇතුල්වෙලා ඉන්නේ?”

“මම මේ දුවගෙ තාත්තා”

“මොකක්ද ඔබේ නම?”

“මහත්තයා! මගේ නම ප්‍රේමදාස.”

“ඇයි මේ පොඩි ළමයෙක් වගේ අඬන්නේ?”

“මම මේ සමන්තාටත්, කාරුණිකා දුවටත් ආදරෙයි. මට මේ දෙන්නාව දාලා යන්න බෑ මහත්තයෝ.”

“දැන් මෙතන කවුරුවත් කිව්වද ඔබට ඒ දෙන්නාව දාලා යන්න කියලා.”

“නෑ… නෑ…. ඒ වුණාට මම දන්නවා අද මේ ලැහැස්ති වෙන්නේ මාව පන්නන්න බව.”

“කොහොමද ඔබ ඒ ගැන දැන ගත්තේ?”

“ඇයි මම දන්නේ නැද්ද? මම ඉන්න එක කරදරයි කියලා මේ දෙන්නා කොයි තරම් දේවාල ගානෙ ගියාද? කොයි තරම් තොවිල් කළාද? කොයි තරම් වියදම් කළා ද? ඒ වියදම් කළෙත් මම හම්බ කරලා තියපු සල්ලි! මේ දෙන්නා දන්නේ නෑ මම මේ දෙන්නට කොයි තරම් ආදරේ ද කියලා. ඒ ආදරේ නිසා තමයි මහත්තයා මට මේ දෙන්නා දාලා යන්න බැරි.”

“ඔබ මැරුණේ මොනවා වෙලාද?”

“මම හිතේ අමාරුවෙන් ඉන්න කොට මගේ පපුව හිරවෙලා මැරුණා.”

“ඇයි? මොන වගේ දෙයක් නිසාද හිතේ අමාරුවෙන් හිටියේ?”

“මහත්තයා මම හොඳට දියුණු වෙලා හිටපු කෙනෙක්. බොහෝම හොඳට වෙළඳාම තිබුණු කඩයක් මට තිබුණා අවිස්සාවේල්ලෙ. ඒ කඩය හිටි හැටියේ ගිනි ගත්තා. කඩේ සම්පූර්ණයෙන් අළු වෙලා ගියා. මගේ මුළු ජීවිතේ ම අළු වෙලා ගියා වගේ තමයි මට දැනුණේ. ඒ ගැන හිතේ අමාරුවෙන් ඉන්න කොට දවසක් මගේ පපුව හිර වෙලා මැරුණා.”

“එතකොට ප්‍රේමදාස මුදලාලි මැරුණා?”

“ඔව්! මහත්තයා ඔව්. මම මැරුණා.”

“ප්‍රේමදාස මුදලාලි මැරුණා නම් ඔය කතා කරන්නේ කවුද?”

“ම්…….. ම්……. ම්……….. මට තේරෙන්නේ නෑ.”

ප්‍රේමදාස මුදලාලි මැරුණා. ඊළඟ චිත්තක්ෂණයේ වෙනත් තැනක ප්‍රතිසන්ධිය ලැබුණා. ඒ ප්‍රතිසන්ධිය ලැබුවේ ප්‍රේමදාස මුදලාලි නොවෙයි. දැන් අලුත් පුද්ගලයෙක්. ඔබ සිටින තැන ගැවසෙන තැන දුර්ගන්ධයක් පැතිරෙනවා. එහෙම වෙන්නේ ප්‍රේතයන්ගේ. ඔබ දැන් ප්‍රේමදාස මුදලාලි නොවෙයි ප්‍රේතයෙක්.”

“අනේ මහත්තයා. මට ආයෙත් මිනිහෙක් වෙන්න ඕනෑ. මිනිහෙක් වෙලා ආයෙත් කඩේ කරන්න ඕනෑ. මගේ නෝනයි දුවයි එක්ක ජීවත් වෙන්න ඕනෑ.”

“ගෑනුන්ගෙ ඇ‍ඟේ ඉඳගෙන, ගෑනුන්ට කරදර කරලා නම් ආයෙත් මිනිහෙක් වෙන්න නම් බෑ.”

“අනේ මහත්තයා ඒකට ක්‍රමයක් ඇත්තේම නැද්ද?”

“තියෙනවා එක ම එක ක්‍රමයක් තියෙනවා.”

“අනේ මහත්තයා මොකක්ද ඒ ක්‍රමය? අනේ කියන්න මහත්තයා, මට ආයෙත් මිනිහෙක් වෙන්න ඕනැ.”

“හොඳට හිතට ගන්න. ඔබ දුවට ළං වෙල‍ා ඉන්න එක අත හරින්න ඕනෑ. දුවගෙ ඇ‍ඟෙන් ඉවත් වෙලා යන්න ඕනෑ. ඔබ දුව ළඟ සිටින තාක් දුවට විවාහයක් හරියන්නේ නෑ. ඔබ දුවගෙ ඇ‍ඟෙන් ඉවත් වෙලා අනුරාධපුරේ සිද්ධස්ථානයකට යන්න. ඒ තැන්වල සිද්ධ වෙන පින් දහම් බලලා දැකලා සතුටු වෙන්න. ඒ පින්කම්වලට අත හිත දීලා බුදුන් සරණ යන්න. ධර්ම දේශනාවලට සවන් දෙන්න. සංඝ රත්නයට ගරු කරන්න. වන්දනා කරන්න. එතකොට ඔබට ඔය ප්‍රේත ආත්මයට වඩා ටික ටික ඉහළ යන්න පුළුවන් වේවි. එහෙම ශක්තිය ලැබුණම බිරිඳත් දුවත් ළඟට යන්න ඕනෑ කියා අධිෂ්ඨා කරන්න.”

“ඔබ දුවගේ ළඟින් ඈත් වුණාම ඒ ළමයාට විවාහයක් හරි යාවි. දුව විවාහ වුණාම දුවට ළමයි උපදීවි. ඔබ ඔබේ කුසල කර්ම ශක්තිය ගොඩනගා ගත්තොත්, ඔ‍ෙබ්ත් දුවගේත් කර්මානුරූපව ඔබට ඔබේ දුවගේ කුසේ පිළිසිඳගන්න ලැබේවි. දුවගේ දරුවෙක් වෙලා උපන්නොත් ආයෙත් ඔබේ බිරිඳත් දුවත් සමඟ ජීවත් වෙන්න පුළුවන් වේවි. ලොකු වුණාම හොඳ කඩයක් කරන්නත් සමහර විට බැරි වෙන එකක් නෑ. ඔබට මම කියන දේවල් තේරෙනවාද?

“තේරෙනවා, මහත්තයා තේරෙනවා. මහත්තයා එතකොට මට මිනිහෙක් වෙන්න පුළුවන් නේද?”

“ඒක ඔබේ අතේ තියෙන දෙයක්. ඔබ ඔබේ ඊට අවශ්‍ය ශක්තිය ගොඩ නගාගන්න ඕනෑ, දැන් වහාම දුවගේ ශරීරයෙන් ඉවත් වෙලා අනුරාධපුරයට යන්න. මම මේ අයට කියනවා ගෙදර සාංඝික දානයක් පිරිනමා ඔබට පින් අනුමෝදන් කරන්න. ඒ පින් අනු‍මෝදන් වී ඔය ප්‍රේතාත්මයෙන් ඉහළට යන්න. දුවගේ ළඟින් ඔබ ඈත් වුණාම දුව විවාහ වී දරුවන් ලබාවි. එයින් දරුවෙක් වෙන්න අනුරාධපුරයේ ඉඳගෙන අධිෂ්ඨාන කරන්න. පින් දහම්වලට සම්බන්ධ වෙමින් අධිෂ්ඨාන කරන්න.

ස්වාමීන් වහන්සේ පහළොස් නමක් නිවසට වඩම්මා සාංඝික දානයක් පිරිනමා ප්‍රේමදාස මුදලාලි සිහිපත් කොට පින් අනු‍මෝදන් කරන ලෙස මවටත් දුවටත් උපදෙස් දුන්නෝය. දානයෙන් පසු පලතුරු වට්ටියක් රැගන නැවත එන්නැයි ද කීවේ ය.

දානයෙන් පසු ඔවුන් නැවත පැමිණියහ. කාරුණිකා දිෂ්ටි ගැන්වීය.

“දැන් මොකද කියන්නේ?” ගවේෂකවරයා ඇසීය.

“මම කැමතියි මහත්තයා අනුරාධපුරයට යන්නැ” යි භූතාත්මය කීවේය.

භූතාත්මය පලතුරු වට්ටියට සම්බන්ධ කළ ගවේෂකවරයා එය සමඟ අනුරාධපුරයට යැවීය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: