Posted by: lrrp | February 22, 2015

මෙයා පිටරට ඉඳන් දුවට කරදර කළා දැන් භූතයෙක් වෙලා වධ දෙනවා

“මම කොරියාවෙ රස්සාවට ගියේ හම්බ කරලා ලස්සන ගෙයක් හදාගෙන මේකිව කසාද බැඳලා හොඳට සන්තෝසයෙන් ජීවත් වෙන්න හිතාගෙන. ඔය අතරේ මේකිගෙ අම්මා දූට අලුත් සල්ලි කාරයෙක් හොයා දීලා. මම ලංකාවට එන කොට මේකි ඒ මිනිහත් එක්ක ගිහින්. ඒ හිතේ අමාරුවට ම මට පිළිකාවක් හැදිලා මැරුණා” යි මළවුන් ගේ ලෝකයේ අමනුෂ්‍යයෙක් තම තොරතුරු ඇතුල්කෝ‍ට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේදී විස්තර කළේ ය.

මිනිසෙකු වශයෙන් ජීවත්වීමේදී දහසක් බලාපොරොත්තු ඉෂ්ට කැර ගැනීම සඳහා, තණ්හාව, ලෝභය, තුළින් ආශාවන් ඉටුකැර ගැනීම සඳහා, තමන් ගේ කාලය (වයස) හා ශ්‍රමය වැය කරමින් වෙහෙසෙන හැටි මෙයින් පැහැදිලි වේ. ඔබ ද මම ද එයින් අන්‍ය වූවන් ද නොවේ.
“වනේ ගිජිඳාය දුටුවොත් වන සාය

ළි‍ඳේ පනිඳාය වැටුණොත් ඌ කාය

අතකින් කරවැලෙකි අතකින් දඬු බෑය

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය”

මෝහයෙන් අන්ධ වූ අපි දියුණු යැයි සිතා සිටිමු. අතීතයේ අපේ පැරැන්නෝ නොදියුණු යැයි බොහෝ දෙනා සිතා සිටිති. එහෙත් මෙයින් ශතක ගණනාවකට පෙර අපේ පැරැන්නෙක් කවි කර කියූ ‘මිනිස් ජීවිත දර්ශනය’ කෙතරම් අප‍ූරුද? පැණි කන්නට වෙහෙසුණු මිනිසෙකු දුගතිගාමී වූ කතාවකි මේ.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ධම්මිකා තිස් දෙහැවිරිදි ගෘහණියකි. ඇය ස්වාමි පුරුෂයා සමඟ නිතර ගැටුම් ඇති කැර ගනී. මෙය නුවණින් කල්පනා කළ ස්වාමි පුරුෂයා දැන් වෙන ම ජීවත් වෙයි. ඒ එකට ඉන්නට බැරි නිසා ම ය. එය සිය බිරිය සිතින් අතහැර දැමීමක් නොවේ. ධම්මිකා හීනෙන් බියට පත්වී කෑ ගසාගෙන අවදි වෙයි. ශරීරය ඉදිමී ඇත. දෙකකුල් දැඩි සේ ඉදිමීම නිසා ඇවිදින්නේ කිහිලි කරු දෙකක ආධාරයෙනි. නිතර ම දෑසින් කඳුළු කඩා වැටෙයි. ඊට අමතරව ලිංගික බෙලහීනතාවයකින් ද පෙළෙන්නීය. වෛද්‍ය ප්‍රතිකාර හා පිළිවෙත්වලින් සහනයක් ද නොවී ය.

“සිළුමිණ” පාඨකයෙකු වන ඇගේ සැමියා ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගයේ සඳහන් ඇතුල් කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය කැඳවා ගෙන ගියේ ය. ඇගේ මව ද ඔවුන් සමඟ පැමිණියා ය. ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා සමඟ රෝගාබාධ පිළිබඳ විස්තර කළේ ය.

ධම්මිකා වෙත ශක්ති කිරණ එල්ල කරන විට ඇය වෙව්ලන්නට වූවා ය. ඇගේ සිත කය දෙකම දුර්වලව දැඩි අමනුෂ්‍ය දෝෂයකට ගොදුරුව ඇති බව වටහා ගත් ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස නියම කළේ ය. ඒ අතර ම පෝෂ්‍ය ජනක ආහාරවලින් ශරීර සෞඛ්‍ය ගොඩ නඟන ලෙස ද උපදෙස් දුන්නේ ය.

දින දෙකක් බෝධි පූජා පවත්වා තුන් වැනි දිනයේ පන්සල් යන්නට ඇයට කිහිලිකරු අවශ්‍ය නොවී ය. ඒ බව ඉතා සන්තෝසයෙන් ගවේෂකවරයාට දුරකතනයෙන් දැනුම් දී ඇත. මේ යහපත් වෙනසත් සමඟ ම ඇ‍ඟේ සහයට, සාත්තුවට, සැමියා ද නැවතත් ඒ වහළ යටට ම පැමිණියේ ය.

ඊළඟට පැමිණි දිනයේ ධම්මිකා ප්‍රලය වූවා ය. භූතාත්මය අඬන්නට වූයේ ය. ගවේෂකවරයා කතා කරන්නට විය.

“කවුද මේ අඬන්නේ?”

“මම මෙයා බඳින්න හිටපු කල්ප. මම මෙයාට කොයි තරම් ආදරේ කළා ද? මෙයත් එක්ක විවාහ වෙලා ලස්සනට ජීවත්වෙන්න කොයි තරම් ආශාවකින් ද හිටියේ. මම මේකිට කොයි තරම් වියදම් කළාද? මේකිත් එක්ක ජීවත්වෙන්න ලස්සන ගෙයක් හදා ගන්න ඕනෑ නිසා කොරියාවේ රස්සාවකට ගියා. හම්බ කර කර ගේ හැදුවා. මේකි මාව රැවැට්ටුවා. මහත්තයා, මේකි මාව රැවැට්ටුවා” ය කෑ ගසමින් විලාප නඟන්නට විය.

තවත් දින තුනක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය.

ඊළඟට පැමිණි දිනයේ ද ධම්මිකාට ආවිෂ්ට වූ කල්පගේ ප්‍රාණකාරයා කතා කරන්නට විය.

“මහත්තයා මම කොරියාවට ගියේ මේකිට ලස්සන ගෙයක් හදන්න ම යි. මම ගියේ අපේ විවාහය ලියා පදිංචි කරලයි. මම ලංකාවට එන කොට මොකක්දෝ උප්පරවැට්ටියකින් දික්කසාද වෙලා මේකි වෙන මිනිහෙක් එක්ක ගිහින්. මේකිගෙ අම්මා මහා සටකපට ගෑනි. මේ ගෑනි තමයි ‍‍ඔය ‍ඔක්කොම කළේ. මම දැන් මුන්ගෙන් පළිගන්නවා. මුන් දෙන්නට පවුල් කන්න දෙන්නේ නෑ. මේකිව මරලා මම ඉන්න තැනට අරගෙන යනවා” යි ප්‍රේතයා කීවේ ය.

මේ භූතාත්මය කියන කතාව ඇත්ත දැයි ගවේෂකවරයා ධම්මිකගේ මවගෙන් ඇසී ය.

“ඔව් මහත්තයා, ඔය කල්ප තමයි කලින් මගේ දුව බඳින්න හිටියේ. ඒත් කල්ප මානසික රෝගියෙක්. ඒක අපට තේරුණේ පස්සෙයි. කොරියාවෙ ඉඳලා දුවට නිතරම ටෙලිෆෝන් කරනවා. දුව කලින් රස්සාවකට ගියා. රස්සාවට යන කොටත් මගදි ටෙලි‍ෆෝන් කරනවා. බස් ‍එකේ වාඩිවෙලා ඉන්නේ කොතැනද? එතන පිරිමියෙක් ඉන්නවා ද? ඒ පිරිමියාගෙ වයස කීයක් විතර ඇද්ද? තරුණ පිරිමියෙක් නම් ඒ සීට් එකෙන් නැගිටලා වෙන තැනකට යන්න කියනවා.

ගෑනු කෙනෙක් ළඟින් වාඩිවෙන්න කියනවා. වැඩ කරන තැනත් ඉන්න පිරිමි ගැන අහනවා. අන්තිමේ දුවට රස්සාවෙන් අයින් වෙන්න කිව්වා. ඉතින් දුව රස්සාවෙනුත් අයින් වුණා. ගමන් බිමන් යන්නත් තහනම් කළා. බැංකුවට යන කොටත් දැන් කොතැනද ඉන්නේ? කවුද ඔතැන ඉන්නේ කියලා අහනවා. ත්‍රීවීල් කාරයන්ට සල්ලි ‍එවලා උන්ව දුව යන යන තැන පස්සෙන් එවනවා. විස්තර අහනවා.

උන් ඒවා අපේ දූට කියලා උනුත් දුව එක්ක යාළු වෙන්න හදනවා. බැරිම තැන අපි කල්පට අවවාද කළා. ඔහොම සැකෙන් ජීවත් වෙන්න බෑ. පවුල් කන්න බෑ‍ කියලා. ඒ කිසි දෙයක් කල්ප පිළිගන්නේ නෑ. වෙනස් වුණේ නෑ.‍ කරන්න දෙයක් නැති තැන අපි දුවට වෙනත් විවාහයක් කර දුන්නා. ඒත් මේ පුතාටත් දුවටත් සන්තෝසෙන් ජීවත්වෙන්න දෙන්නේ නෑ. ලෙඩ දුක්, කරදර, අඬදබර, හීනෙන් බය කරනවා” යි ධම්මිකාගේ මව කාරණය පැහැදිලි කළා ය.

“දුව කල්ප අතහැරලා ගොස් විවාහයක් කැර ගන්න කැමැති වුණා ද?”

“නෑ, පළමුවෙන් කල්පගේ දැඩි නීති නිසා නිදහසක් නැතුව දුව ජීවිතේ නැති කරගන්න හැදුවා. ඊට පස්සේ අපි අවවාද කරලා තමයි මේ විවාහයට පොළඹවා ගත්තේ.”

“කල්ප ඒ ගැන දැනගෙන මොකද කළේ?”

“රස්සාවෙන් අස්වෙලා ඇවිත්, දුවට තර්ජනය කළා. කලබල කළා.‍ අපි ඒවාට බය වුණේ නෑ‍. අන්තිමට කල්ප බීලා බීලා අසනීප වුණා. අවුරුදු දෙකකට පස්සේ පිළිකාවක් හැදිලා මළා. කරන්න දෙයක් නෑ මහත්තයා. කල්ප මානසික රෝගියෙක්. නිතරම සැකෙන් ම යි ජීවත් වුණේ. හැමෝම දන්නවා. ත්‍රීවීල් කාරයෝ පවා දන්නවා.”

ගවේෂකවරයා භූතාත්මය ඇමතීය.

“දැන් මේ ධම්මිකාගෙ අම්මා කියපු දේවල් අහගෙන නේද හිටියේ?”

“ඔව්”

“දැන් අවංකවම ඇත්ත කියන්න ඕනෑ. මෙතැන බොරු කියන්න බැහැ. ඇත්ත කියන්න. ඒ අම්මා කිව්වේ බොරුද?”

“……. “ භූතාත්මය නිහඬ විය. නැවත ගවේෂකවරයා ප්‍රේතයා ඇමතීය.

“දැන් මේ ධම්මිකා බෝධි පූජා තියනවා. ගෙදර උදේ හවස බුදුන් වඳිනවා. තමුන්ට දැන් නමුත් ළඟට ධම්මිකාව ගෙනියන්න බෑ. තමුන් වෛරයෙන් මැරුණු නිසා ප්‍රේතයෙක් වෙලා උපන්නා. ධම්මිකා දැහැමි ජීවිතයක් ගෙවන නිසා මැරුණත් උපදින්නේ දිව්‍ය ලෝකයේ, ආදරය කියන්නේ ගැහැනියක් සැක කරලා හිර කරලා තියන එක නොවෙයි. ආදරය කියන්නේ ගෞරවය හා විශ්වාසය තුළින් ගොඩ නැ‍ඟෙන දෙයක්. ඔබ ඔබේ වරද, මෝඩකම, පිළිගන්න ඕනෑ. ඒ නිසයි ධම්මිකාව අහිමි වුණේ.

ධම්මිකාට යම්තම්වත් ආදරයක් තිබුණා නම් එයාට වෛර කරන්න එපා. එයා අහිමි වුණේ ඔබේ ම වරද නිසයි. ඔබ මැරුණෙත් මෝහය නිසයි. ආත්ම ශක්තිය නැතුව මත්පැනට ජීවිතය පාවා දීලා මැරුණා. මත්පැන් බොන්නේ ආත්ම ශක්තිය නැති අය.‍ සතුටු වෙන්න, හිත සතුටු කරන්න උපාය මාර්ග, යහපත් ක්‍රම රටා නොදන්නා අය මත්පැන් බීලා සතුටු වෙන්න බලනවා. මත්පැන් බොන අයගේ මොළයේ සෛල විනාශ වෙනවා. ආහාරවලින් ශරීරයේ සෛල නැවත ගොඩ නැඟුණත් මොළයේ සෛල විනාශ වුණොත් නැවත ගොඩ නැ‍ඟෙන්නේ නෑ. මෝඩයෙක් වෙනවා. අන්තිමේ ලෙඩෙක් වෙලා මැරුණේ ඔබට ආත්ම ශක්තියක් නොතිබුණු නිසා.”

“කවදා හරි ධම්මිකා මැරිලා දිව්‍ය ලෝකයට යනවා. ඔබ යම්තමින්වත් ධම්මිකාට ආදරයක් තියෙනවා නම් ඊළඟ භවයේ වත් ධම්මිකා සමඟ එකතු වෙන්න හිතන්න. ඔබත් දිව්‍ය ලෝකයට යන්න කටයුතු කරන්න” යි ගවේෂකවරයා භූතාත්මයට උපදෙස් දුන්නේ ය.

“කොහොමද දිව්‍ය ලෝකයට යන්නේ?”

“ඒකට ඔබ හිත හදාගන්න ඕනෑ. පළමුවෙන් හිතේ තියෙන වෛරය අකුසලයක් බව තේරුම් ගන්න ඕනෑ. අකුසල් සිතින් දිව්‍ය ලෝකෙ යන්න බෑ. ඒ නිසා තමන්ගේ මෝහය නිසා, ලෝභය හා මෝහය යන අකුසල මූල නිසා ද්වේෂයක් හටගත් බව අවබෝධ කර ගෙන තමන්ගේ අඩුපාඩුව පිළිගන්න. එතකොට ඔබේ ප්‍රේත දුක ලිහිල්වේවි. ඒ අතරෙ අපි සාංඝික දානයක් දී ඔබට පින් අනුමෝදන් ‍කරන්නම්, ඔබත් බෝධි පූජා තියන සිද්ධස්ථානයකට ගිහින් තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගන්නැ’ යි භූතාත්මයට උපදෙස් දුන්නේ ය.

පන්සලට ගොස් සතියක් බෝධි පූජා පවත්වා එහිදී කල්පට පින් අනුමෝදන් කරන ලෙසත්, සතියෙන් පසුව පන්සලේ දීම සාංඝික දානයක් පිරිනමා පින් අනුමෝදන් කරන ලෙසත් නියම කළේ ය.

දානය පිරිනමා නැවත පැමිණි විට පූජා වට්ටියක් ගෙන්වා කල්පගේ ප්‍රාණකාරයා ඊට සම්බන්ධ කොට අනුරාධපුරයට යැවීය.

ආදරය වෛරයක් බවට පත් වේ නම් එතැන ආදරයක් තිබී නැත. එහි තිබී ඇත්තේ ලෝභය (රාගය) හා මෝහයයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: