Posted by: lrrp | February 22, 2015

හිඟ බාස් කුලිය ගන්න භූතයෙක් වී පැමිණ කරදර කරයි

අවස්ථාවෙන් මඟ හැර තමන්ගේ වාසියට කටයුතු කිරිම බොහෝ දෙනාගේ සිරිතය, වගකීම් මඟ හැර ඇඟ බේරා ගැනීම ද එවැන්නකි, වර්තමානයේ මිනිස්සු පොතක් ඉල්ලා ගෙන ගියත් අයිතිකරුවා විසින් ආපසු ඉල්ලනු ලබන තුරු නිහඬව සිටිම මිනිසුන්ගේ සිරිතක්ව පවතී. අයිතිකරුවාට අමතක වී ගියොත් එතැනින්ම ගිණුම වසා තබන තරමටම බොහෝ දෙනා පුරුදු වී සිටිති. එහෙත් විශ්වය මේ සියල්ල බලා සිටින බව අවස්ථාවාදීහු නොදනිති, කර්මයට අනුව විපාකය සකස් වී හමාර ය. කවදා හෝ පොළියත් සමඟ ගෙවන්නට සිදු වෙනවා ම ය.

ධීරසේකර කොට්ටාවේ පදිංචි පාසල් ගුරුවරයෙකි, හැටපස් හැවිරිදි ඔහු දෙදරු පියෙකි, දැනට අවුරුදු දෙකක පමණ කාලයක සිට ධීරසේකර ආතතියෙන් පෙළේ යැයි මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලැබූව ද සුවයක් නොවීය. නින්දෙන් ගැස්සී බියවී අවදි වීම, නින්දේදී යමෙක් කකුලෙන් අදින බව දැනීම, කෙනෙකු රාත්‍රි නිවසේ ඇවිදින අඩි සද්ද ඇසීම, නිවසේ දුර්ගන්ධයක් දැනීම, බත් හැළියට කූඹි පැමිණීම, නිවස තුළට කුඩා සතුන් පැමිණීම, ආදි උපද්‍රව ධීරසේකරටත් පවුලේ අයටත් තිබුණි.

“සිළුමිණ” පත්‍රයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය කියවන ධීරසේකර දිනක් සිය බිරියත් සමඟ ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියේය. ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති දුක් කරදර පැහැදිලි කළේය.

පළමු ගවේෂණයේ දී ධීරසේකර ප්‍රලය වී හූ කියාගෙන බිම වැටී අඬන්නට වූයේය. ඉන් එහා දෙයක් මතු කැර ගන්නට නොහැකි වූ බැවින් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණ දිනයේ ධීරසේකර ඉස්කෝලෙ මහත්මයා යළි ප්‍රලය වූයේය. ගවේෂකවරයා භූතාත්මය සමඟ කතා කළේය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නෙ?”

“මම ජයපාල”

“කවුද මේ ජයපාල කියන්නෙ?”

“මෙයාගෙ ගේ හදපු මේසන් බාස් උන්නැහේ.”

“ඇයි ඉතින් මෙයාගෙ ඇඟට රිංගුවේ?”

“මුගෙන් පළිගන්න ඕනෑ.”

“ඇයි මෙයා මොනවා කළාට ද?”

“මූ වංචාකාරයා. මූට දඬුවම් කරන්න ඕනෑ. මේක මගේ ගනුදෙනුවක්, මහත්තයා මේකට අත දාන්න එපා” යි භූතාත්මය කීවේය.

ධීරසේකරට පියවි සිහිය ලබා දී ඔහුගෙන් ජයපාල ගැන ඇසීය.

“ජයපාල කියන්නේ අපේ ගෙයි වැඩ කළ මේසන් බාස් උන්නැහේ. ගේ හදාගෙන යන අතරේ ජයපාල බාස් උන්නැහේ පපුවෙ අමාරුවක් හැදිලා මැරුණා. ඊට පස්සෙ වෙන බාස් කෙනෙකුට කියලා ගෙයි වැඩ ආයෙත් පටන් ගත්තා” යි ධීරසේකර කීවේය.

“ජයපාලත් එක්ක අමනාපයක් එහෙම වුණා ද?”

“අනේ! නෑ. මම මළ ගෙදරත් ගියා, හත් දවසේ පින්කමටත් ගියා. හොඳ මනුස්සයා, එහෙම අමනාපයක් තිබුණේ නෑ.”

“හොඳයි එහෙනම් තවත් බෝධි පූජා හතක් පවත්වලා ජයපාලටත් පින් අනුමෝදන් කරලා ආයෙත් එන්නැ” යි ගවේෂකවරයා කීවේය.

ධීරසේකර බෝධි පූජා හත පවත්වා නැවත ආවේය. එදින ද ඔහු දිෂ්ටි ගන්වා භූතාත්මය සමඟ ගවේෂකවරයා කතා කළේය.

“දැන්වත් මේ ශරීරයෙන් ඉවත් වෙලා යනවා ද?”

“බැහැ බැහැ මම යන්නේ නෑ. මුගෙන් පළි අරගෙන මිසක්.”

“මොකක්ද ඔය අමනාපය?”

“මුගෙන් දෙයක් මට ගන්න තියෙනවා.”

“මොනව ද ගන්න තියෙන්නෙ?”

“සල්ලි, සල්ලි, මට මුගෙන් මුදලක් එන්න තියෙනවා. මම මැරුණාම ඒක නොදී මූ මඟ ඇරියා. කපටියා.”

“කීයක් ද එන්න තියෙන්නෙ?”

“රුපියල් අටදහස් දෙසීය හැත්තෑ පහක්.” (8275)

“හරියට ම ගණන මතක ද?”

“ඔව්! මට හොඳට මතකයි. ඉස්පිරිතාලෙ ඇ‍ඳේ ඉඳගෙන මතකයෙන් ගණන හැදුවා. හරියටම හරි.”

“ඉතින් ඔය මුදල කොහොම ද ඉල්ලුවේ?”

“හීනෙන් පෙනුණා. පෙනුණා. ඉස්කෝලෙ මහත්තයා ගණන් ගත්තේ නෑ. ඒ සැරේ මමයි ලෙඩ කරලා, සද්ද බද්ද ඇති කරලා මෙතැනට එන්න මෙයාව පෙළඹෙව්වේ!”

ධීරසේකර පියවි සිහියට පත් කොට මේ ජයපාලට රුපියල් අටදහස් දෙසිය හැත්තෑ පහක් මේසන් කුළිය යන්න තියෙනවා ය කියන්නේ ඇත්තදැයි ගවේෂකවරයා ඇසීය.

“ඔව්” යැයි ඔහු හීන් හඬින් පැවසුවේය. බිරිය බිම බලාගෙන සිටියාය.

“ජයපාල මැරිලා දැන් කොයිතරම් කල් ගත වෙලා ද?”

“අවුරුදු විස්සක් වෙනවා.”

“බලන්න ඔය මුදලට ජයපාලගේ මරණයේ කටයුතු කැර ගන්න දෙන්න තිබුණානෙ. නැත්නම් දාන මාන පින්කමට දෙන්න තිබුණනෙ. ඔය මුදල අවුරුදු විස්සකට කලින් ලොකු මුදලක්, සංසාර ගමනේදී දිගින් දිගට ගෙනියන්න වෙනවා. මහත්තයගෙ ණය වෙනුවෙන් මේ නෝනත් දුක් විඳිනවා. දරුවන්ටත් විඳවන්න වේවි. මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඔය ණය ගනුදෙනුව ඉවරයක් කැර ගන්න. භූතයන්ගේ වැඩ විශ්වාස කරන්න බෑ. බලන්න දැන් අවුරුදු විස්සක් තිස්සේ පස්සෙන් ආවානෙ. තමන්ගෙන් යන්න තිබෙන මුදලක් බව තමන්ම පිළිගන්නවානම් මහත්තයා සාධාරණය ඉෂ්ට කරන්න. මළවුන්ට සාධාරණය ඉෂ්ට කිරීම ඒ අයට ලොකු සහනයක්, පිනක්.” යැයි ගවේෂකවරයා ධීරසේකටත් බිරියටත් කරුණු පැහැදිලි කළේය.

“ඒක කොහොම ද කරන්න ඕනෑ.”

“දෙන්නත් එක්ක දැන් ගෙදර ගිහින් ඒ මුදලට සාධාරණ පොළියකුත් අවුරුදු විස්සට ගණන් හදලා ජයපාලගේ බිරියට දීලා එන්න, සති දෙකක් බෝධි පූජා පවත්වන ලෙසත්, ඒ බෝධි පූජාවේදී ජයපාල නමින් සුදු මල් වට්ටියක් බුදුරජාණන් වහන්සේට පූජා කරන ලෙසත් උපදෙස් දුන් අතර එම බෝධි පූජාවට සහභාගි වන ලෙස ජයපාලගේ ප්‍රාණ කාරයාට ද නියම කළේය.

සති දෙකකට පසු ඔවුහු නැවත පැමිණියහ. ගවේෂකවරයා භූතාත්මය ගෙන්වා ධීරසේකරට දිෂ්ටි කැර ප්‍රශ්න කළේය.

“කොහොම ද දැන් තත්ත්වය?”

“දැන් හොඳයි මහත්මයා, ඉස්කෝලෙ මහත්තයා ගනුදෙනුව දුන්නා.”

“කීයක් දුන්නා දැ” යි ගවේෂකවරයා ධීරසේකරගේ බිරියගෙන් ඇසීය. ‘රුපියල් අටදහස් දෙසිය හැත්තෑ පහට අවුරුදු විස්සට පොළියත් හදලා රුපියල් ලක්ෂයක්ම ජයපාලගෙ නෝනාට ගෙව්වා’ යි ඇය කීවා ය.

“ගණන හරි ද? තමුන් සෑහීමකට පත් වෙනවාදැ” යි ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“හරි මහත්තයා, හරි, මහත්තයා නොහිටින්න මේ වැඩේ මේ විදිහට සිද්ධ වෙන්නේ නෑ. ඉස්කෝලෙ මහත්තයාව මමයි මෙතැනට එන්න පෙළඹෙව්වේ. නැත්නම් කට්ටාඩි ගෙනාවා නම් උන් මේ මහත්තයා ගෙන් හතළිස් දාහක්, පණස් දාහක් කඩාගෙන යනවා. මටත් හිරිහැර කරන්න හදාවි, ඒවා නම් හරියන්නේ නෑ. මෙයාගෙ වැඩේ හරියන්නෙත් නෑ, කට්ටාඩි ගෙනැල්ලා මට හිරිහැර කරන්න හැදුවානම් මමත් මේ පවුලෙන් එකෙක් මරා ගෙන යනවා” යි භූතාත්මය කීවේය.

“ඉතින් ඔය වැඩේට අවුරුදු විස්සක්ම ගත වුණේ මොකද?”

“මහත්තයා මිනිස් ලෝකෙ අයට අවුරුදු විස්ස දිග කාලයක් වුණාට අපට ඒක කෙටි කාලයක්” යැයි භූතයා කීවේය.

ධීරසේකරගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කොට ජයපාල වෙනුවෙන් සාංඝික දානයක් පිරිනමන ලෙස ද, ඒ දානයට ජයපාලගේ අඹු දරුවන්ට ද ආරාධනය කරන ලෙස ද උපදෙස් දුන්නේ ය, දානයෙන් පසු සුදු නෙළුම් මල් වට්ටියක් ද රැගෙන නැවත එන්නැයි කීවේය.

දානයෙන් පසු පැමිණි විට භූතාත්මය සතුටට පත්ව සිටි බැවින් සුදු නෙළුම් මල් වට්ටියට සම්බන්ධ කොට කළුතර බෝධි පරිශ්‍රයට යැවීය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: