Posted by: lrrp | December 13, 2016

අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ

මන්දාකිණී විල් තෙර පිරිනිවී සැනසුණ අරහත් මුනිඳාණෝ….

ගන්ධමාන පර්වතය අසල පිහිටි මේ වන පියස අතිශයින් ම සොඳුරු ය. යොදුන් පනහක් පුරා පැතිරී ගිය මන්දාකිණී නම් රමණීය විල පිහිටියේ ද මෙහි ය. මන්දාකිණී විලේ හට ගත් රත් නෙළුම්, සුදු නෙළුම්, රත් කුමුදු, සුදු කුමුදු, නිලූපුල්, රත්පුල් ආදි ජලජ පුෂ්පයන්ගෙන් ද දෑ සමන්, චම්පක, පිච්ච ආදි පුෂ්පයෙන් ද මුළු වන පියස ම සුවඳවත් කෙරේ. මියුරු රසැති කැකිරි, ලබු, කොමඩු, අඹ ආදි ප‍්‍රණීත ඵලයන්ගෙන්, උක් ආදි සුමිහිරි රසයන්ගෙන් නො අඩු වූව ද මේ වනයේ මිනිස් වාසයක් නම් නැත. ඡුද්දන්ත කුලයේ උපන් අටදහසක් පමණ සුවිශාල හස්තීන් පිරිසක් මන්දාකිණී විල් තෙර ඇසුරු කොට මේ සොඳුරු වන පියසේ වාසය කරති. එනිසා ය මෙයට ඡුද්දන්ත වනය කියා කියන්නේ…

මිනිස් වාසයෙන් යොදුන් ගණනක් දුරට වන්නට පිහිටි ඡුද්දන්ත මහා වන පියස දෙසට වඩිනා උපශාන්ත ශ‍්‍රමණයන් වහන්සේනමකි. උන් වහන්සේ වයෝවෘද්ධ ය. සැරයටියක වාරුවෙන් සෙමින් පිය නගන්නාහ. බිමට යොමා ගත් නෙතු යුග ඇතිව, මිනිස් පුළුටක් නැති වන පියසේ කිසි තැතිගැනීමක් – ලොමුදහැගැනීමක් නැති, ශාන්තව වඩිනා මේ අභීත ශ‍්‍රමණයාණන් වහන්සේ කවරෙක් ද?

ඔව්..! උන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ළය මඬලින් උපන් පුත‍්‍ර රත්නයකි. ‘‘භවත, ඔබ මේ දහම අවබෝධ කළා! භවත, ඔබ මේ දහම අවබෝධ කළා!” යැයි බුදුරජුන් විසින් උදම් ඇනූ මහෝත්තම ශ‍්‍රමණයෙකි. නික්ලේෂී හද මඬලක් උපදවා ගත් මේ ශ‍්‍රමණයන් වහන්සේ අන් කවරෙකුත් නොව බුද්ධානුබුද්ධ වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ය.

මේ සම්බුදු සසුනේ සම්බුදුරජාණන් වහන්සේට පසුව පළමු ව දහම් අවබෝධ කළ අඤ්ඤකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ භික්ෂු සංඝයා අතර වැඩිමහලූ ම භික්ෂුවයි. ඒ නිසා ම බොහෝ දෙවි මිනිසුන්ගේ ගෞරවයටත්, බුහුමනටත් නිරතුරුව පාත‍්‍ර විණි. දිනපතා ම තමන් වහන්සේ බැහැ දැක වන්දනා කිරීමටත්, කථා බස් කිරීමටත් බොහෝ පිරිසක් පැමිණීම හුදෙකලාවට ප‍්‍රිය කළ උන් වහන්සේට බාධාවකි. එපමණක් ද නොව, භික්ෂු සංඝයා යනු වැඩිහිටි ගෞරවයෙන් යුතු වූ පිරිසකි. එ් අතරිනුත් අගසව් වූ සාරිපුත්ත, මොග්ගල්ලාන දෙනම වහන්සේලාගේ වැඩිහිටි ගෞරවය අති මහත් ය!

භික්ෂු සංඝයාට දහම් දෙසීම පිණිස වැඩම කරනා ශාස්තෘන් වහන්සේ සාරිපුත්ත, මොග්ගල්ලාන දෙනම වහන්සේට ඉදිරි අසුන් දෙකට වැඩම කරනා ලෙස පවසති. තමාට වඩා පැවිද්දෙන් වැඩිමහලූ වූ කොණ්ඩඤ්ඤ මහ තෙරුන් වහන්සේ පිටුපස අසුනක වැඩ සිටිද්දී, ඉදිරි අසුනේ වැඩ හිඳීමට සිදු වීමෙන් සාරිපුත්තයන් වහන්සේත්, මොග්ගල්ලානයන් වහන්සේත් අපහසුතාවයට පත් වෙති. මේ කරුණු දෙකත්, වන වාසයට ඇති කැමැත්තත් හේතු කරගෙන ය අඤ්ඤකොණ්ඩඤ්ඤ මහ රහතන් ශාස්තෘන් වහන්සේගෙන් අවසර ගෙන මන්දාකිණී පොකුණු තෙර පිහිටි ඡුද්දන්ත වන පියස බලා වැඩම කරමින් සිටින්නේ.

‘‘ආරණ්‍යයේ මහා වනාන්තරය
– සැබැවින් ම රමණීය වේ
එනමුදු කාමාසක්ත ජනයා
– එ් වන වාසයට ඇලූම් නො කරති
කාම ආශාව දුරු කළ
– කාමයන් නොම සොයනා
වීතරාගී රහතන් වහන්සේලා
– මේ වන වාසයට ප‍්‍රිය කරති.”
(ධම්මපදය)

අතීතයේ ගන්ධමාන පර්වතයේ දහස් ගණනින් පසේබුදුරජාණන් වහන්සේලා වැඩ විසූ සමයේ උන් වහන්සේලාට උපස්ථාන කළේ මේ ඡුද්දන්ත හස්තීන්ගේ පරපුරේ මුතුන් මිත්තන් විසිනි. එ් ඇප උපස්ථානයන්ගෙන් රැස්වන පිනේ වටිනාකම ගැන පරපුරෙන් පැමිණි වැටහීමක් මේ හස්තීන්ට තිබේ. අට දහසකින් යුතු ඇත් රැළේ ඇත්රජු එදින මන්දාකිණී පොකුණු තෙර ස්නානය කරමින් සිටියේ ය.

බිමට යොමා ගත් නෙතින්, පාත‍්‍රා සිවුරු දරාගෙන, සිහි නුවණින් පියවර තබමින් වැඩම කරනා ශ‍්‍රමණ ඡුායාව ඇත් රජු දුර දී ම දුටුවේ ය. ඇත්රජුට අතීතයේ තම පරපුරේ ඇතුන් විසින් සහෝදරයන්ට මෙන් උපස්ථාන කළ ශ‍්‍රමණයන් වහන්සේලා ගැන දැන සිටි දෑ සිහිපත් විය. එසැණින් ම ‘අපේ සහෝදරයාණන් වහන්සේනමක්’ යන හැඟීම ඇත්රජුට ඇති විය. ඌ ප‍්‍රීතියෙන් ඉපිලී ගියේ ය. ඇත්රජු හොඬය ඔසවා ඡුද්දන්ත වනයට ම ඇසෙන සේ කුංචනාද කොට සිය පිරිස ඇමතුවේ ය.

‘‘මිතුරනේ වරෙල්ලා… කාලෙකට පස්සේ… ඔව්! කාලෙකට පස්සෙ අපේ සහෝදරයාණන් වහන්සේනමක් වැඩම කරලා. අපට පින්කෙතක් පහළ වෙලා. හනිකට වරෙල්ලා….”

ඇත්රජු පෙර ගමන් කොට කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේට වන්දනා කළේ ය. තම සොඬින් උන් වහන්සේගේ පාත‍්‍රා සිවුරු පිළිගත්තේ ය. කිසි තැතිගැනීමක් නැත. එ් පිවිතුරු හද මඬලේ අභීත බව ඇත්රජුට ද හොඳින් වැටහුණු සේ ය. අට දහසක හස්ති සමූහයා එ් වන විටත් මන්දාකිණී විල් තෙරට රැුස් වී හමාර ය. අද ඔවුනට මංගල්‍යයක් වැනි ප‍්‍රීතිමත් දිනයකි. ඇතුන්ගේ ඇස්වලින් තුටු කඳුළු ගලා හැළේ. එ් මහා හස්ති පිරිවර එක්වර ම දණ නමා මහෝත්තම අඤ්ඤ කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේට වන්දනා කළෝ ය.
දැන් තම සහෝදරයාණන් වහන්සේට ආගන්තුක සත්කාර කළ යුතු ය. උක් දණ්ඩක් තලා සකසා ගත් උක් යුෂ පානයක් ඇත්රජු පූජා කළේ ය. පැරණි ගල් ගුහාවක් හොඳින් සුද්ද පවිත‍්‍ර කොට, එ් අවට ද එළිපෙහෙළි කොට සේනාසන පහසුකම් ද සකස් කළේ ය. තවත් ඇතුන් පිරිසක් එ් අසලින් ම වැලි අතුරා අගනා සක්මන් මළුවක් සකස් කළෝ ය. සහෝදරයාණන් වහන්සේට සේනාසන පහසුකම් සකසා හමාර ය. දැන් වනයට ඇඳිරි වැටේ. තම දායක පිරිස සැකසූ සෙනසුනට අඤ්ඤ කොණ්ඩඤ්ඤ මර රහතන් වහන්සේ සන්සුන් පියොවින් වැඩම කළ සේක! ‘අභීත ශ‍්‍රමණයන් වහන්සේනමකට සෙනසුන් සකසා අප විශාල පිනක් කර ගත්තා’ යැයි එ් හස්තීන් මහත් සේ සතුටට පත් වූහ.

‘‘ගම් පියසක වේවා වන පියසක වේවා
නිම්නයක හෝ කඳු ගැටයක හෝ
පහත් බිමක වේවා
රහතන් වහන්සේලා යම් තැනක
වැඩ වසත් ද
එ් භූමිය රමණීය එකක් වේ.”
(ධම්මපදය)

දැන් ඇත් පිරිසට මේ වන පියස පෙරටත් වඩා සොඳුරු ය. ‘වනයට වඩා රමණීය වූ පිවිතුරු සිතක් ඇති ශ‍්‍රමණ සහෝදරයාණන් වහන්සේනමක් දැන් අපේ පිනට පහළ වෙලා…’ අරුණ වැටීමටත් පෙර ම දැහැටි දඬු රැගෙන ඇත්රජු ගල්ගුහා දොරටුව අසලට පැමිණේ. දැහැටි දඬු පූජා කොට පාත‍්‍රයට මුවදෝනා පැන් රැගෙන එයි. පෙරවරුවේ දානය සඳහා හස්තීන් රැුගෙන එන ඵලවැල වුවමනාවටත් වඩා ප‍්‍රමාණවත් ය. ඉර අවරට ගිය පසු වැළඳීමට උක් දඬු යුෂ හෝ වෙනත් පලතුරු යුෂක් සකසා පූජා කරයි.

වල් බිහි වීමට නො දී සෙනසුන නිරතුරු පිරිසිදු කරයි. දින කිහිපයකට වතාවක් තෙරුන් වහන්සේ ගුහාවෙන් එළියේ වැඩ සිටින විට පොරවන සිවුරට අමතර සිවුර රැුගෙන ගොස් විලේ දියෙන් මනා කොට සෝදා ගල් තලාව මත තබා වියළීමෙන් පසු යළි ගෙනැවිත් තැබුවේ ද හස්තීන් විසින් ම ය. මේ අයුරින් මන්දාකිණී විල් තෙරේ ඡුද්දන්ත වන පියසේ සුවසේ වැඩ විසූ කොණ්ඩඤ්ඤ මහ රහතන් වහක්සේ එහි වැඩම කොට දොළොස් වසරක් ම ගෙවී ගියේ ය.

දානය වළඳා දිවා විහරණයෙන් සිටි උන් වහන්සේ තම ආයු සංස්කාර සිහි කළහ.

‘පිරිනිවන් පෑමට කල් පැමිණ තිබේ. ඊට පෙර ශාස්තෘන් වහන්සේ වන්දනා කර ගත යුතු ය. එහෙත් කලන්දක නිවාප වේළුවන මහා විහාරයේ බොහෝ භික්ෂූන් වැඩ වසති. ගිහි පිරිස ද නිතර දහම් ඇසීමට රැුස් වෙති. බොහෝ කලක් නො කැපූ සුදු වූ කෙස් රැවුල් ඇති, දුබල වූ සිරුරු ඇති, දොළොස් වසක් පොරවා වැරහැලි වූ සිවුරු ඇති මා දැක යමෙක් සිත අපහදවා ගතහොත් ඔහුට එය විශාල අයහපතක් වන්නේ ය.’

එ් සියලූ දෙනා ගැන අනුකම්පාවෙන් මහා ඍද්ධිමත් අඤ්ඤකොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ අහසින් ම වේළුවනාරාමයට වැඩම කළෝ ය. ශාස්තෘන් වහන්සේ සමීපයට පැමිණි උන් වහන්සේ එ් සම්බුදු සිරිපතුල් පිරිමදිමින්, එ් සිරිපා කමල් යුග සිඹිමින් ‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම කොණ්ඩඤ්ඤ වෙමි. ස්වාමීනී සුගතයන් වහන්ස, මම කොණ්ඩඤ්ඤ වෙමි.” යි පවසමින් වන්දනා කළ සේක. මෙය දුටු ගිහි පැවිදි සියලූ දෙනා ඉමහත් සතුටට පත් වූහ. ‘ශාස්තෘන් වහන්සේ අභිමුඛයේ පළමු ව දහම් අවබෝධ කළ මහෝත්තමයාණන් දැක ගන්නට අපේ නෙත් පින් කර තිබුණනේ…! එ් උතුම් ගුණවතාණන් වන්දනා කර ගන්නට අප වාසනාවන්ත වුණානේ..!’

‘‘කොණ්ඩඤ්ඤ තෙරණුවෝ බුද්ධානුබද්ධ කෙනෙක්. බලවත් වූ වීර්යයෙන් මේ දුක් කතරින් එතෙර වුණා. නිරතුරුව ධ්‍යාන සැප ලබමින් දැන් ඉතා ම සතුටිනුයි වැඩ ඉන්නේ.
මේ ශාස්තෘ ශාසනයේ කළ යුතු සියල්ල උන් වහන්සේ සිදු කළා. මහානුභාවසම්පන්නයි. ත‍්‍රිවිද්‍යාලාභීයි. අනුන්ගේ සිත් දකින්නටත් ඉතා ම දක්ෂයි. දැන් මේ සිරිපා වන්දනා කරන කොණ්ඩඤ්ඤයන් වහන්සේ බුදු සමිඳුන්ගේ අසිරිමත් දායාදයක්.”

වංගීස තෙරුන් වහන්සේ සියලූ දෙනාගේ ම සිත් පහන් කරවමින් එසේ ගාථා පවසමින් කොණ්ඩඤ්ඤයන් වහන්සේගේ ගුණ වර්ණනා කළහ. ‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මා මේ සම්බුදු සිරුර දකිනා අවසාන වතාවයි. ඡුද්දන්ත වන පියසේ මාගේ දායක සමූහයා සමීපයේ මා පිරිනිවන් පානවා.” යැයි භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන රැුස් වූ පිරිසට සිරි සදහම් ඔසු බෙදා දී අහස්තලයෙන් ම අඤ්ඤකොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ යළිත් මන්දාකිණී විල් තෙරට වැඩම කොට වදාළහ.

එදින සන්ධ්‍යාවේ මන්දාකිණී විලෙන් පැන් පහසු වී වදාළ උන් වහන්සේ ගුහාව තුළට පිවිස මනා සිහි නුවණින් යුතුව සිංහ ස්‍යෙයාවෙන් සැතපුණහ. රැුයේ පළමු යාමය, මධ්‍යම යාමය, අවසාන යාමය පිළිවෙළින් සමාපත්තීන්ට සමවැදෙමින් ගත කොට වදාළ සේක. අරුණ වැටීමට සුළු මොහොතකට පෙර පහන් සිළ නිවෙන සේ පිරිනිවන්පා වදාළහ.
‘දැහැටි දඬු පිළියෙල කොට හමාරයි. අරුණෝදයත් උදා වී අවසන්. අද කුමක් ද පරක්කුව?’ යැයි සිතමින් ඇත්රජු හෙමි හෙමින් ගුහා දොර අසලට පැමිණුනි. හේ ගුහාව ඇතුළත විමසී ය. සහෝදරයාණන් වහන්සේ සැතැපී සිටී. ඇත්රජු හොඬවැල තබා හදවත නගන හඬ විමසද්දී අහෝ!, හඬක් නො නැගේ… නාසය සමීපයට හොඬ ළං කළ විට අහෝ!, හුස්ම ගැනීමක් සිදු නො වේ. ‘පින්බර සහෝදරයාණෝ අපව හැර දමා ගිහිල්ලා…’ ඇත්රජු දුක වාවාගෙන බොහෝ වේලා නිහඬව සිටියේ ය. අනතුරුව වනය දෙවනත් කරමින් හඬන්නට විය.

‘‘ප‍්‍රිය මිතුරනේ… මේ බලාපල්ලා අපට සිදු වුණ දේ… අනේ! අපේ සහෝදරයාණන් වහන්සේ…. අපට පහළ වූ පින්කෙත… අනේ අපව අතහැර දමා ගිහිල්ලා….”

මොහොතින් හස්තීන් සියලූ දෙන රැුස් වූහ. දැන් තිබෙන්නේ සහෝදරයාණන් වහන්සේගේ නිසල දේහය පමණකි. මීට දොළොස් වසරකට පෙර තෙරුන් වහන්සේ හමු වීමේ දී මේ අට දහසක් හස්තීන් තුටු කඳුළු හෙළුවෝ ය. කෙලෙස ද මේ අසරණයන් මේ දුක වාවා ගන්නේ?

එ් අට දහසක් හස්තීන් එක්වන්ව කුංචනාද කරමින් ශෝක වූහ. එ් මහා කුංචනාදය අකනිටා බඹ ලොව තෙක් ම ඇසිණි. අපමණ දෙව් බඹ පිරිසක් මන්දාකිණී විල් තෙරට පැමිණ එ් මහෝත්තමයාණන් වහන්සේගේ උතුම් සිරුර වන්දනා කළහ. දෙවියන් තැනවූ මනරම් මණ්ඩපයක දේහය දවාලන ලදී. එ් මහා හස්ති සමූහයා චිතකය වටා තෙවරක් පැදකුණු කොට අභිවාදනය කොට තම සහෝදරයාණන් හට අවසන් බුහුමන් දැක්වූහ. චිතකය දවා ඉතිරි වූ අරහන්තක ධාතුන් වහන්සේලා වඩා හිඳුවා චෛත්‍යයක් ඉදි කෙරිණි.
එ් අඤ්ඤකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ සියලූ ලෝකයෙන් ම නිදහස් වී අනවරාග‍්‍ර සසරින් එතෙරට වැඩම කළ සේක! එනමුදු එ් මහෝත්තම ගුණ කඳ සිහි කරමින්, උන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා වන්දනා කරමින් අපමණ දෙව් මිනිසුන් පිරිසක් දෙලොව සැප පිණිස පින් රැස්කර ගනු ඇත.

අපිදු එ් අඤ්ඤකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ නික්ලේෂී මහ රහතන් වහන්සේලාට නිරතුරු වන්දනා කරන්නෙමු.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: