Posted by: lrrp | February 19, 2017

සිතිවිලි හා විමුක්තිය

සිත හා සිතිවිලිවල ක්‍රියාකාරිත්වය බුදුදහම වඩාත් ඉස්මතු කොට දක්වා ඇත. බෞද්ධ චින්තනය යනු බෞද්ධයකු විසින් සිතන ආකෘතිය වන අතර සිතීම යනු යම් ක්‍රියාවක් කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳ
සිතින් කරනු ලබන මුල් සැලැස්ම වේ. එම සැලැස්ම කය හා වචනය පදනම් කොට ගෙන හෙළි දැක්වීමෙන් එම චින්තනය ක්‍රියාවලියක් බවට පත් කෙරේ.

යනු චින්තනය සැකසීම වේ. සිතක් නැතිනම් සිතිවිලි ද නැත. සිතිවිලි හටගන්නේ සිත තුළය. සිත නිවැරැදිනම් සිතේ ඇතිවන සිතිවිලි ද නිවැරැදි වේ. සිතිවිලි නිවැරැදි නම් සිතිවිලි තුළින් ක්‍රියාවට නඟන ක්‍රියාවෝ ද නිවැරැදි බව පැහැදිලිය.

නිවැරැදි සිතින් නිවැරැදි ක්‍රියා

තමා නිරතුරුව සුදුසු ගුණයේ මෙන්ම නිවැරැදි සිතිවිලි පිහිටමින් අනුනට අනුශාසනය කළ යුතු වේ. තම චින්තනය නිවැරැදිව සකස් නොකොට අනුන්ගේ චින්තනය හෝ හැසිරීම් ගැන අවවාද නොකළ යුතුය. මන්ද තමා ඊට සුදුස්සකු නොවන බැවිනි. වැරැදියට අල්වාගත් කුස තණ වැරැදි විදිහට අල්ලාගත්තහුගේ අතම කපන්නේ වේ ද වැරැදි කරමින් උපදෙස් ලබා දෙන්නා ද තමා අතින් තමාටම අවැඩක් කර ගන්නා අතරම අනුනට ද අවැඩක්ම සිදු කරලයි.

එකඟ වූ සිතක් නැති තැනැත්තේ වසර සියයක් ජීවත්වනවාට වඩා නුවණැතිව එක් දිනක් ජීවත්වීම වැදගත් බව බුදුදහමින් අවධාරණය කරයි. පින් කිරීමට යුහුසුළු විය යුතු අතර පවින් සිත වළක්වා ගත යුතුය . පින් කිරීම කල් දමන්නාගේ සිත නිතර පාපයේ ඇලෙන්නේ ද වේ යැයි දක්වන සඳහනින් අපගේ සිත නිතර කිනම් දිශාවකට යොමුව තිබේ ද? යන්න බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත. එනම් නිරතුරුවම පාපයට මෙම සිත නැමෙන බවය. නිරතුරුව යහපතට සිත යොදන තැනැත්තකුගේ සිත ආයාසයකින් වුව ද නරකින් මුදා ලිය හැකි බව ඒ සඳහා තමා විසින් මනා අභ්‍යාසයක නිරත විය යුතු බවක් ද මෙමඟින් පෙන්වා දෙයි. වැසි සමයක ඇද වැටෙන ජල බිංදු එක් රැස්වෙමින් කළයක් ඉතිරී යන්නේ යම් සේ ද එසේම නුවණින් යුතුව පින් රැස් කරන්නා ද පිනින් පිරෙන බව පෙන්වා දෙයි. මද පිරිවර ඇති මහත් ධනය ඇති වෙළෙන්ඳෙකු උවදුරු ඇති මඟ හැරයන්නාක් මෙන්ම ජීවත් වීමට ආශා ඇත්තෝ විෂ ආහාරයෙන් වැළකෙන්නේ යම් සේ ද නුවණ ඇත්තෝ එලෙසින්ම පවින් මිදීමට සිත සකස් කළ යුතු වේ. එබඳු වූ සිතිවිලි මත ක්‍රියා කළ යුතුව ඇත. භක්තිය හෝ විශ්වාසය මත සියල්ල සිදු වේය යන මිථ්‍යාමතය බුදුදහමින් ප්‍රතික්ෂේප වන බව ද කුසලාකුසල විනිශ්චයේදී පැහැදිලිය. අන්ධ විශ්වාස කර පින්නාගෙන කරනු ලබන දැයට වඩා සිත මුල්කොට කරනු ලබන දැයෙහි ඵලයක් හා විපාකයේ ඇති බව හා එහි වැදගත්කම බුදුදහමින් නිරතුරුව අවධාරණයට ලක්ව ඇති බැවින් සිත පෙරටු කරගත් ක්‍රියාදාමයකට බෞද්ධයා අවතීර්ණ විය යුතුය යන අදහස ඒ මඟින් ඉස්මතු කෙරේ. දැකීමට ඉතා අපහසු වූ ඉතාම සියුම් වූ කැමැති කැමැති හැම තැනකම හැසිරෙන්නා වූ සිත නුවණැත්තේ රැකගන්නේ ම වෙයි. එලෙසින් රක්නා ලද සිත ඔහුට නිරතුරුවම සුවයක් ගෙන දෙන්නේ යැයි සිතේ ඇති ශ්‍රේෂ්ඨත්වය උසස් කර දක්වන අතරම මාර බන්ධනයන්ගෙන් මිදීමේ මාවත ලෙසින් ද සිත දමනය කර ගැනීම බුදුන් වහන්සේ විසින් අවධාරණය කර ඇත. “මාර බන්ධනය” යනු ඉපදෙමින් මැරෙමින් ගමන් කරනු ලබන සසරය. සසර ගමන නැවැත්වීම යනු ඉපදීම හා මරණ සංඛ්‍යාතය නැති කිරීමය. එසේනම් ඊට මුල්වනුයේ ද සිත දමනය කිරීම හෙවත් සසර ගමන රඳා පවත්වාගනු ලබන තණ්හාව මුල් කොටගත් ක්ලේශයන්ගෙන් තම සිත ඉවත් කර ගැනීමය. තමා විසින් තමා දමනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේඅපහසු වුව ද තමාට පිහිට තමාම වන බැවින් සදාතනික නිවීමක් සඳහා තමා දමනය කළ යුතුව ඇත. මෙහි දමනය යනු සිත දමනය කර ගැනීම වේ. තමාගේ සිත වෙන කෙනෙකුට දමනය කළ නොහැකිය. වෙන කෙනෙකු විසින් සිත දමනය කිරීමෙන් තමාගේ ද සිත දමනය වේ යැයි සැලකීම මෝඩකමකි. කායික හා මානසිකත්වයේ පිරිසුදු හෝ අපිරිසුදු බව රඳා පවත්නේ තමා අතමය. අනෙකෙකුට තමා පිරිසුදු කිරීමට හෝ අපිරිසුදු කිරීමට නොහැක්කේම ය. තමාට පිහිට තමාමය. කවරෙකුටවත් තම සිත දමනය කිරීම අරබයා පිහිට විය නොහැකිය.

දැමුණු සිත සුව ගෙනදෙයි

එසේ නම් මෙහි තමා දමනය කිරීම යනු තම සිත දමනය කිරීම වන අතර දැමුණු සිත ඇති කය ද ඒ හා බැඳෙමින් දමනය වීම ස්වභාවිකය. බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද හිමියන් අමතා කළ මෙම ප්‍රකාශය ද තමා පිළිබඳ දැනීම වර්ධනයට රුකුලක් වේ. එනම් “ආනන්දය ඔබේ ආලෝකය ඔබම වේවා! ඔබේ ආරක්ෂාව ඔබ අතමය. බාහිර සරණක් පතා නොයන්න. ආලෝකය මෙන් සත්‍යය ස්ථාවරව අල්වා ගන්න. සත්‍යය රැකවරණය සඳහා දැඩිව කටයුතු කරන්න. ඔබ අනලස්ව ඔබේ විමුක්තිය සඳහා කටයුතු කරන්න.” ආනන්ද හිමියන් අමතා බුදුරජාණන් වහන්සේ විසින් දුන් මෙම අවවාදය තුළින් ද පැහැදිලිව ගම්‍ය කරනුයේ තමා ගැන තම වැටහීමත් ඒ මඟින් තම ක්‍රියාකාරිත්වයේ ඇති වැදගත්කමක්ය. එමෙන්ම අන් සරණින් තමාට පිහිටක් නොලැබෙන බවය.

සිත නිරතුරුව පාපයට බරය. එබැවින් සිත නිවැරැදි මාවතට යොමු කර ගැනීම අපහසුය. නිවැරැදි සිතට නිවැරැදි චින්තනයක් ඇති කර ගත හැකිය. එබැවින් බුදුරජාණන් වහන්සේ ඇතුළතින් හා පිටතින් මුරකාවල් යොදා පිටිසර නගරයක් ආරක්ෂා කරන්නාක් මෙන් තම සිත ද නිරතුරුව රැකගත යුතු බව දේශනා කොට තිබේ. දිය පහරවල් තිස් හයකින් සැදුම් ලත් තණ්හාව නමැති නදිය වේගයෙන් රූපාදී අරමුණු අතුරින් ගමන් කරමින් එම නදියටම අයත් රාග, විතර්ක නමැති ජලධාරා මඟින් විපරිත බුද්ධිය ඇති පුද්ගලයන් දුර්ගතිය කරා ගෙන යයි. තණ්හාවට සිත තුළ නිරතුරුව ඉඩක් ලැබී ඇත. තණ්හාව යනු සත්වයනට හැම පැත්තෙන් බිය ගෙන දෙන අරුත් ඇති පදයකි. තණ්හාව යනු ආසාව නම් ආසාවේ ස්වභාව බැඳීම වේ. බැඳීම ඇත්තා නිරතුරුව බියකින් පෙළේ. එමෙන්ම තණ්හාව වනාහි එක්තරා සුවිශේෂ ආශාවක් ලෙසින් මෙන්ම සිත හා බැදුණු සිතිවිල්ලක් ලෙසින් පෙන්වා දිය හැකි ය. එමෙන්ම සෙසු සියලු ජීවිතවලින් කැඩී වෙන් වී මම නැතහොත් අප වශයෙන් කැටිවී පවතින කොටස් මඟින් අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට ඇති ආශාව තණ්හාව ලෙසින් ද අර්ථ දැක්විය හැකිය. තණ්හාව මුල් කොට ගත් කෙනෙකුගේ සිත් මෙන්ම සිතිවිලි ද අකුසල පක්ෂයේ ලා සැලකේ. මන් ද තණ්හා සහගත වූ සිතිවිලි ඇත්තන්ගෙන් නිරතුරුව තමාට මෙන්ම අනුන ට ද අවැඩක් වන බැවිනි. තණ්හාව මහා ප්‍රවාහයකට උපමා කර ඇත. මහා ප්‍රවාහය බෙහෙවින් සැඩ පරුෂය. අමිහිරිය. එහි එක් ඵලයක් වන්නේ විනාශයයි. එම සැඩ පහරට ලක්වන දෑ බොහෝය. සැඩ පහරට හසුවන සැම තැලී පොඩි වී විනාශවීම ස්වභාවිකය. එසේම තණ්හා නමැති සිතිවිලි ප්‍රවාහට මැදිවන පුද්ගලයන් ද ජල දහරාවට හසු වූ පුද්ගලයනට අත් වූ ඉරණමටම පත් වේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ විසින් තණ්හාව ජල ප්‍රවාහයකට සමාන කරමින් දක්වා ඇත. සියලු අකුසලයනට මූලය වන්නේ ද තණ්හාවම ය. තණ්හාව නමැති ජල ධාරාවෝ සෑම තැනකම ගලායයි. එක් තැනක දී බුදුරජාණන් වහන්සේ විසින් තණ්හාව වැලකට උපමා කොට ඇත. තණ්හාව නමැති වැළ සදොරින් මතුව සිටියි . එසේ හටගත් තණ්හාව නමැති වැල නුවණින් සිඳ බිඳ දැමිය යුතුබව අවධාරණය කළේය. වැලේ ස්වභාව තව ආධාරකයක් මතින් ඉහළට ගොස් එම ආධාරක ය ද විනාශ කොට තමා ද විනාශයට පත්වීමය. ගසක වෙලෙන වැල ගසේ ඉහළට ගොස් අතුපතර ද වෙලී ගසේ සාරය ද උරා ගනිමින් එම ගස විනාශයට පත් කරයි. එමෙන්ම වැලෙන් වන හානියෙන් විනාශයට පත්වන ගස මැරි දෙරණ මත ඇද වැටෙයි. ගස් වැටෙන විට ගස වසා පැතිර තිබූ වැළ ද පොළොව මතට ඇද වැටී විනාශ වෙයි. තණ්හාව ද එසේය. තණ්හා සහගත සිතිවිලි අනෙකුත් ක්‍රියාකරකම් සමඟ වෙලීයයි. තණ්හාව නම් වැල් හැදෙන ඊටම සාරය ලබා ඉන්ද්‍රියයන් හයක් ඇත. ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනසයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධම්ම යන ආරම්මණයන් නිසා තණ්හාව නම් ලතාව හටගන්නා බවත් එම ලතාවෝ සිත හා සිතිවිලි වසා ගෙන වචන හා ක්‍රියාවන් මඟින් බාහිර ලෝකය හා සම්බන්ධ වේ. බොරුව, කේළම හා පරුෂ වචනය හා හිස්වචන ලෙසින් මෙම තණ්හාව එක් ද්වමාරයකින් එළියට එන අතර පරපණ නැසීම සොරකම, කාමයේ වරදවා හැසිරීම සංඛ්‍යාත වූ ක්‍රියාදාමයන් ඔස්සේ තව ද්වාරයකින් එළියට එයි. මෙම එළියට එන ක්‍රියාදාමයෝ වැඩදායක නොවේමය. එබැවින් මෙම ලතාව විෂ සහිතය. ඒ හා ගැටෙන සැම දෙයක්ම විනාශ මුඛයට පත් වේ. වැල නිසා ගසද නැති වී ගියේ යම් සේ ද තණ්හාව හා සම්බන්ධ වූ ක්‍රියාදාමය හසු වූ සැමදෙය ද එලෙසින්ම විනාශ මුඛයට පත් වේ. එමෙන්ම තණ්හා සංඛ්‍යාත වූ මෙම වැල මුල් අවධියේම හඳුනාගෙන සිඳ බිඳලිය හැකි නම් ඉන් වන හානිය වළකාගත හැකිය.

බුදුරජාණන් වහන්සේ මෙහිදී තණ්හාවේ මූලය සිඳලිය හැකි මාර්ගය ලෙසින් දක්වා ඇත්තේ නුවණයි. එනම් ප්‍රඥාවයි. ප්‍රඥාව යනු තණ්හාවට ප්‍රතිවිරුද්ධාර්ථයක් ඇති සිත් හා සිතිවිලිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් උන්වහන්සේ විසින් පෙන්වා දෙනු ලබන්නේද මෙම ප්‍රඥා තණ්හාවට එරෙහි වූ ප්‍රතිවිරුද්ධාර්ථ වූ ධර්මයක් ලෙසින් පෝෂණය කරන ආකාරය වේ. නිවැරැදි දැකීම මෙහි මූලිකංගය වන අතර යමක් දෙස නිවැරැදි ව දක්නට පුළුවන්නම් ඒ හා බැඳෙමින් නිවැරැදි සංකල්ප සිත තුළම ඇති කර ගැනීම අපහසු නොවේ. නිවැරැදි සිතක් හා නිවැරැදි සංකල්ප ඇති වූ විට නිවැරැදි වචන නිවැරැදි ක්‍රියා හා නිවැරැදි දිවි පැවැත්මකට අවතීර්ණ වීමට එම යහපත් සංකල්ප අතිශයින්ම වැදගත්ය. එමෙන්ම ගත, සිත නිවැරැදි ක්‍රියාදාමයකට යොදන විට අකුසලය නැති කරන්නට කුසලය කරා ගත , සිත යෙදීමට අදාළ පසුබිම සකස් කර ගැනීමට හැකි වන අතර සිත සන්සුන් කරන්නට සමාධි ගත කරන්නට මෙන්ම සිත හා බැදුණු ක්ලේශයන්හි මුල් එකිනෙක උදුරා දැමීමට අදාළ මානසික ස්ථාවරත්වය සකසා ගත හැකිය. භාවනාව තුළින් ඉස්මතු කරනුයේ සිත් හා සිතිවිලි පිළිබඳවහැඳින ගැනීම, වර්ග කිරීම, අනවශ්‍ය සිත් හා සිතිවිලි බැහැර කිරීම හා අදාළ සිත් හා සිතිවිලි දියුණු කිරීමට මහන්සි ගැනීමය. සිත හා සිතිවිලි නිවැරැදි ලෙසින් වටහා ගත් විට තණ්හාවේ උත්පාදන මූලයන් වන ආරම්මණ ධර්මයන්හි යථා ස්වභාවය පසක් කරගත හැකි අතර එම ධර්මයන් හා ඇලි ඇලී නොසිට එහි වෙනස්වන ස්වභාවය දුක්ඛිත භාවය හා අනාත්මීයත්වය නුවණින් දක්නට පුළුවන් වන්නේ නම් තණ්හාවේ වර්ධනයට ඇති මං සිඳලීමක්වන අතර අකුසලයට නැඹුරුවන සිත කුසලයට බර කර ගැනීමට ඇති හැකියාව දියුණු වේ. මෙබඳු වූ මානසිකත්වයක් ඇති කර ගත් පුද්ගලයා පණ්ඩිතයා ලෙසින් ප්‍රඥාවන්තයා ලෙසින් බුද්ධිමතා ලෙසින් දක්වා ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය
හඟුරන්කෙත ධීරානන්ද හිමි

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: