Posted by: lrrp | December 23, 2020

ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ රට්ඨපාල මහ රහතන් වහන්සේ

අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වන රට්ඨපාල මහ රහතන් වහන්සේ ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර ය. උන්වහන්සේ රට්ඨපාල නාමයෙන් හඳුන්වනු ලබන්නේ ගිහි කල රටක් පාලනය කිරීමට සමත් ව, භේද බින්න වූ රටක් සමඟි කරන්නට ශක්තිය ඇති කුලයක උපන් නිසා ය.

හෙතෙම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා බලවත් ශ්‍රද්ධාවක් ඇති කරගෙන පැවිදි වීමට මව්පියන්ගෙන් අවසර පැතුවේ ඉතා අසීරුවෙනි.

මෙලෙස පැවිදි වූ රට්ඨපාල තෙරුන් වහන්සේ ‘සැදැහැයෙන් පැවිදි වූ භික්ෂූන් වහන්සේ අතුරෙන් අග්‍රය.’ මෙවන් තනතුරක් ලැබීමට භාග්‍යවත් වූ උන්වහන්සේ අතීත සසර මඟ සිදු කළ පින්කමක මහිමය මෙසේ ය.

එක්තරා අතීත භවයක පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ මොහු උපත ලැබුවේ ගෘහපති මහා සාර කුලයක ය. තම මව්පියන්ගෙන් උරුම වූ සුවිසල් ධනස්ඛන්ධය දැක මේ සියලු සම්පත් මා විසින් පරලොව ගෙන යා යුතුයි, අදිටනින් දුගී මගී යාචකාදීන්ට වස්තුව බෙදා දුන්නේ නිර්ලෝභී ලෙස ය. දිනක් මොහු තම යහළුවකු සමඟ මුව දෝවනයට ගම්මානයෙන් පිටව යද්දී පැහැදී ගියේ ඍද්ධිමත් තාපසයකුගේ දසුනෙනි.

ඒ තාපස තුමාට නිබඳව ම දන් දීම මොහුගේ සිරිත ය. ඇරැයුම පිළිගන්නා තාපස තුමා ද දන් වළඳා අවසානයේ පැතුවේ ‘සක්දෙව් රජුගේ සම්පත් ලෙසින් ඔබට සැප සම්පත් ලැබේවා’ යනුවෙනි. මෙලෙස සක්දෙව් සම්පත ගැන සිත අලවා සිටි මොහු මරණින් මතු උපත ලැබුවේ දෙව්ලොව සක් දෙවිඳු ලෙස ය. මොහුට දිනක් පදුමුත්තර බුදුන් වහන්සේගෙන් බණ ඇසීමට අවස්ථාව උදාවූයේ පඨවින්ධර නා රජුගේ මඟ පෙන්වීම නිසා ය.

මේ අනුව කල්‍යාණ මිත්‍ර සේවනයෙහි ඇති අගය ද සඳහන් කළ හැකි ය. මෙහි සඳහන් පඨවින්ධර නා රජු ගෞතම බුදු සසුනේ දී පැවිදිව රහත් වූ රාහුල තෙරුන් වහන්සේ වන අතර සක් දෙවිඳු ගෞතම බුදු සසුනේ දී පැවිදි ව රහත් වූ රට්ඨපාල තෙරණුවෝ ය.

මෙලෙස පදුමුත්තර බුදුන් වහන්සේගෙන් බණ අසමින් සිටි සක් දෙවිඳුන් දුටු දසුන පින්බර ය. ඒ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අධික ශ්‍රද්ධාවෙන් යුතු භික්ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානයේ පිහිටවනු ලැබීම යි. තමා ද අනාගත බුද්ධ ශාසනයක දී මෙවැනි භික්ෂූන් වහන්සේ නමක් වන බවට අදිටනින් සත් දවසක් පුරාම පදුමුත්තර බුදුන් වහන්සේට ඇප උපස්ථාන කර තම අදහස දන්වා සිටියේ නමස්කාර පූර්වකව ය.

එහි දී ගෞතම බුදු සසුනේ දී තම අදහස ඉටුවන බවට පදුමුත්තර බුදුන් වහන්සේගෙන් විවරණ ලැබූ මේ උත්තමයා එදා සිටම කළ පින් දහම් අපමණ ය. සසර මඟ ගෙවා බොහෝ කලකට පසුව ගෞතම බුද්ධ ශාසනයේ දී මෙතුමා උපත ලැබුවේ කුරුරට ථුල්ලකොට්ඨික නියම් ගමෙහි මුල්ලකොට්ඨික බමුණාගේ පුතු ලෙස ය. මොහුගේ නම රට්ඨපාල ය. දිනක් ගෞතම බුදුන් වහන්සේ සදහම් දෙසීමට වැඩම කළේ කුරුරට ථුල්ලකොට්ඨික ගම්මානයට ය. එහිදී සම්බුදු අසිරියෙන් සතුටු වූ ගම්වාසීන් සදහම් අසා සිටියේ සැදැහැ සිතිනි.

බණ ඇසූ පිරිස අතර සිටි තවත් අයෙක් වූයේ රට්ඨපාල බමුණු මානවකයා ය. බුදුන් වහන්සේ සදහම් දෙසීමෙන් පසුව එහි සිටි සියල්ලෝ ම නිවෙස් වෙත පිටත් වීමෙන් පසුව රට්ඨපාල මාණවකයාට ඇති වූයේ පින්බර සිතිවිල්ලකි. ඒ ‘බුදුන් වහන්සේගේ ධර්මය ඒකාන්තයෙන් ම මුල, මැද, අග පිරිසුදු බවත්, බ්‍රහ්මචාරීව විසීමට ගිහි දිවිය බාධාවක්’ බව ය.

ඒ නිසා පැවිදි වීමට සිතා, විහාරයට පැමිණි රට්ඨපාල මානවකයාට බුදුන් වහන්සේ වදාළේ මව් පිය අවසරයෙන් පැවිදි වන ලෙස ය. එහෙත් පැවිද්දට අවසර නොදුන් මව්පියන් පැවසුවේ අපගේ එකම දරුවා ඔබ බවත්, අපමණ සැප සම්පත් ඇති මේ නිවසේ තම ප්‍රියම්බිකාව සමඟ ප්‍රීතියෙන් වාසය කිරීම එකම පැතුම බව ය.

ගිහි ගෙයි වාසය කිරීමට තව දුරටත් අකැමැති වූ රට්ඨපාල මාණවක දෙවනුවත් මව්පිය අවසරය පැතුවේ පැවිදිවීමට ය.

එහෙත් එයට අවසර නොලද මොහු දින ගණනාවක් ආහාර නොගෙන බිම දිගා වී වැතිර සිටියේ ඉමහත් කළකිරීමකිනි. තම යහළුවන්ගේ සහායෙන් ද මොහු නැඟිටවීමට උත්සාහ කළ ද ඒ සෑම ප්‍රයත්නයක් ම අසාර්ථක වූයේ ගිහි ගෙයි රඳවා ගැනීමට අසීරු ලෙස ය. මේ නිසා මව් පියන් පණ මෙන් සුරැකි තම එකම පුතුට පැවිදි බවට අවසර ලබා දුන්නේ ඔහු නිරාහාරව මරණයට පත් වේ යැ’යි බියෙනි.

එසැනින් ම සැනසුණු රට්ඨපාල මානවකයා සිටි තැනින් වහා නැඟිට දිව ගියේ බුදුන් වහන්සේ හමුවට ය. මෙලෙස අසීරුවෙන් මව් පිය අවසරය ලබා පැවිදි වූ රට්ඨපාල තෙරුන් වහන්සේ පසුව උපසම්පදාව ලබා, කලක් බවුන් වඩමින්, වීර්යයෙන් කෙලෙස් තවා රහත් වූ අයුරු විශිෂ්ට ය.

පසු කලෙක බුදුරජාණන් වහන්සේගේ අවසරයෙන් රට්ඨපාල මහ රහතන් වහන්සේ වැඩම කළේ ථුල්ලකොට්ඨික බමුණු ගම්මානය වෙත ය.

තෙරුන් වහන්සේ ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩිමින් වැඩම කළේ තම මව්පියන්ගේ නිවස වෙත ය. එහි දී පියාණන් තෙරුන් වහන්සේ හඳුනා නොගෙන ඉවත බලා සිටියේ මුඩු මහණන් තම එකම පුතු පැවිදි කළා යැ’යි වෛරයෙනි.

නිවැසියන්ගෙන් දානයෙන් හෝ වදනකින්වත් සංග්‍රහ නොලද තෙරුන් වහන්සේ , නිවසේ සිටි ඥාති දාසියක් පිළුණු වූ පිට්ටුවක් ඉවත දමන අයුරු දැක, ‘නැගණියනි , පිළුණු පිට්ටුව ඉවත දමන්නේ නම් මාගේ පාත්‍රයට දමන්නැ’යි වදාළේ මහත් වූ කරුණාවෙනි.

එහිදී රට්ඨපාල තෙරුන් වහන්සේ , හඳුනාගත් මෙහෙකාරිය නිවස තුළට දිවගොස් පැවසූ පුවතින් වහා එහි පැමිණියේ තෙරුන් වහන්සේගේ මව්පියන් ය. ‘ඔබ වහන්සේ නිවසට නොපැමිණ, දන් වළඳන්නේ ඇයි දැ’යි’ යනුවෙන් මව්පියන් විමසූ විට තෙරුන් වහන්සේ වදාළේ,‘ පැවිදි වූ අපට ගේ දොර කොහේ දැ’යි යනුවෙනි’.

මෙහිදී පිළුණු පිට්ටුව ඉවත දමා, මිහිරි භෝජන වළඳන්නැ’යි මව්පියන් පැවසුව ද මේ ආහාරය අදට ඇතැ’යි වදාළ තෙරුන් වහන්සේ නිවස අසලින් වැඩම කළේ පියා විසින් පසු දිනට කරන ලද දානමය ආරාධනාව ද පිළිගනිමිනි.

ඒ අනුව පසු දින එම නිවසට වැඩම කළ රට්ඨපාල තෙරුන් වහන්සේට දානමය පින්කම වෙනුවට දැක ගන්නට ලැබුණේ තමා ඉදිරියේ ගොඩගසා තිබුණු අපමණ රන් රිදී වස්තුවත්, සියලු ආභරණයන්ගෙන් සැරසී සිටි ගිහි කල බිරියත් ය.

මෙහිදී තම මව්පියන්, තෙරුන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ මෙයින් කැමැති දෙයක් අනුභව කරන ලෙස යි. එහි දී තෙරුන් වහන්සේ , මට දානය දෙනු කැමැති නම්, එය කරනු මිස , ස්ත්‍රීන් හෝ වස්තුව දැක්වීමෙන් වෙහෙසට පත් නොකරන්නැයි වදාළ විට, තම පුතු තව දුරටත් රැවටිය නොහැකි බව සිතූ මව්පියන් තෙරුන් වහන්සේට සංග්‍රහ කළේ ප්‍රණීත දාන මාන ආදියෙනි.

රට්ඨපාල තෙරුන් වහන්සේ දන් වළඳා අවසානයේ දහම් දෙසමින් තමන් වහන්සේ ගිහිගෙට පොළඹවා ගැනීමට යෙදුවා වූ රූමත් කාන්තාවන්ගේ ස්වභාවයේ අසාරත්වය මැනවින් පෙන්වා දුන්නේ තමා මේ සියල්ලෙන් ම මිදී ගියේ ‘මුවා දැළට අසුනොවී මිඳී යන්නා සේ’ යැයි උදාහරණ ද සහිතව ය.

උන්වහන්සේ නැවත වැඩම කළේ කෝරව්‍ය රජුගේ මිගාවීර උයනෙහි එක්තරා රුකක් මුලට ය. මෙහිදී උයන්පල්ලා තෙරුන් වහන්සේ දැක, හඳුනාගෙන ඒ බව වහා දන්වා සිටියේ කෝරව්‍ය රජු වෙත ය.

එහි දී වහා පැමිණි කෝරව්‍ය රජතුමා, රට්ඨපාල තෙරුන් වහන්සේගෙන් ආගිය තොරතුරු ද සමඟ පැවිදිවීමට හේතුව විමසා සිටියේ තෙරුන් වහන්සේගේ තාරුණ්‍යත්, නිරෝගී බවත්, ගිහි කල තිබූ ධනස්ඛන්ධයත් නිසා ය.

එහිදී රට්ඨපාල තෙරුන් වහන්සේගේ පිළිතුර වූයේ ‘මහ රජ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්ම නිර්දේශ සතරක් තිබෙන බවත්, එය දැන, දැක, අසා පැවිදි වූ බව ය.

සදහම් සාකච්ඡාවෙන් පැහැදුණු රජතුමා පැවසුවේ අසූ වියැති තමා ද දිරාගොස්, වයෝවෘද්ධ ව සිටින බවත්, දුබලව ඇති සිරුරෙහි පය තබන තැන නොපිහිටා අන් තැනක පය පිහිටන බව ය.

මෙලෙස රජතුමාට ලෝකයා ජරා, මරණ කරා මෙහෙයවන බව අවබෝධ වූ අයුරු අපූර්ව ය. එහිදී තෙරුන් වහන්සේ , කෝරව්‍ය රජතුමාට සසරේ නිසරු බව තවත් අර්ථවත් ව පහදා දී , මෙවන් කර්ම දැක, දැන අවබෝධයෙන් තමන් වහන්සේ පැවිදි වූ බව මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රයේ ද සඳහන් ය .

පසු කලෙක ගෞතම බුදුන් වහන්සේ සියලු භික්ෂූන් වහන්සේ මධ්‍යයේ රට්ඨපාල මහ රහතන් වහන්සේට ‘ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කුල පුත්‍රයන් අතරින් අග්‍ර වන බවට’ දුන් තනතුර අගනේ ය.


Leave a comment

Categories