“මම ලේ දෙන්න ගියා”

“මම ලේ බැංකුවට ලේ දන් දුන්නා” අපේ රටේ රුධිර පරිත්‍යාගශීලීන් කියන්නේ එසේ ය. කවුරුත් ලේ බැංකුව යයි හඳුන්වන ආයතනයේ වර්තමාන නාමය වන්නේ ජාතික රුධිර පාරවිලයන සේවාව ය. මේ ලේ බැංකුවට වාර්ෂිකව රුධිර ඒකක 3,50,000 ක් ඉක්මවූ ප්‍රමාණයක් රුධිර දායකයන් ගෙන් රුධිරය ලැබේ. මෙපමණ වූ රුධිරය ප්‍රමාණයක් දන් දෙන්නට නැතිනම් ලේ බැංකුවට පරිත්‍යාග කරන්නට අපේ ජනතාව ඉදිරිපත් වී කටයුතු කරන්නේ ස්වෙච්ඡාවෙන්මය.

ලෝකයේ රටවල් අතරින් අපේ ජාතික රුධිර පාරවිලයන සේවාව ඉතා හොඳින් පවත්වාගෙන යන සේවාවක් ලෙස සම්මානයට ද පාත්‍ර වී තිබේ. මේ ලේ බැංකුවට වසර ගණනාවක් තිස්සේ රුධිරය ලබාදෙන පරිත්‍යාගශීලීන්ගේ කතාවයි මේ.

දර­ණා­ගම සුම­න­ර­තන හිමි

ඇස් ඉස්මස් ලේ දන් දෙන මිනිසුන් අද සමාජයේ නැතැයි විටෙක ඔබ සිතන්නට පුළුවන්. ඒ රටේ බොහෝ ව්‍යසනයන් දකින විටය. එහෙත් උඩුයටිකුරු වූ මේ සමාජයේ වුවද මිනිසුන් වෙනුවෙන් බොහෝ දෙනෙක් තම සිරුරේ රුධිරය සහ රුධිර පට්ටිකා කිසිඳු ලෝබකමකින් තොරව පරිත්‍යාග කිරීමට පෙලඹෙති.

ලේ දන්දීමේ කඳවුරකදී විශේෂ උත්සව සහ පින්කම් අවස්ථාවලදී රුධිරය පරිත්‍යාග කිරීමට ද බොහෝ දෙනා ඉදිරිපත් වෙති. එසේ ම මුල් වරට රුධිර පරිත්‍යාගයෙන් පසු අඛණ්ඩව රුධිරය රුධිර පට්ටිකා සහ රෝගියකුට රුධිරය ලබාදීමට පෙර සිදු කෙරෙන සැසඳුම් පරීක්ෂණයට සුදුසු රුධිරය ඇති හඳුනාගත් විශේෂිත වූ රුධිරදායකයන් කිහිප දෙනෙක් ද නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානය හා නිරන්තරයෙන් සම්බන්ධව සිටිති.

මොවුන් කිසිඳු මුදලක් හෝ ලාභ ප්‍රයෝජනයකින් තොරව තම රුධිර හා රුධිර පට්ටිකා පරිත්‍යාගයන් පිළිබඳව කියන කතා හරිම අපූරුය. බොහෝ වාර ගණනක් තිස්සේ රුධිර පරිත්‍යාගයේ යෙදෙන කිහිප දෙනකුගේ අදහස්වලට සවන් දෙමු.

“කෙනෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට රුධිරය දීමෙන් ලබන්නේ ලොකු තෘප්තියක්. සතුටක්. රුධිරය ලබා දෙන හැම වාරයක් පාසාම මම හිතන්නේ තව කෙනකුගේ ජීවිතයක් ජීවත් කරන්නට මම කරන රුධිර පරිත්‍යාගය ප්‍රයෝජනයක් වේවා යන ප්‍රාර්ථනයයි. එසේ කියන්නේ විසිතුන් වසරක් තිස්සේ රුධිරය පරිත්‍යාග කරන ලද කේ. රම්‍ය අතුල විජේසේකරයි. අතුල තම පියාගේ උපන් දිනය යෙදී තිබුණ ජනවාරි 2 වැනිදා ඔහු රුධිරය පරිත්‍යාග කළ පළමු දිනයයි. ඒ එක්දහස් නවසිය අසූඑක වර්ෂයයි.

“මම එදා රුධිරය දෙන්න ගියේ හමුදා රෝහලටයි. එතැනින් මාව ආපසු හරවා එව්වා කොළඹ මහ රෝහලේ මධ්‍යම ලේ බැංකුව වෙත. එදා මුල් වරට මගේ රුධිර පරිත්‍යාගයෙන් පස්සේ මම මාස තුනෙන් තුනට රුධිරය පරිත්‍යාග කළා. මාස තුනකට වරක් වෙනුවට රුධිර පරිත්‍යාගශීලීන්ගේ මාස හතරකට වරක් රුධිරය ලබා ගැනීම වඩාත් සුදුසු ක්‍රමය ලෙස වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වීම නිසා මාස තුනකට වරක් වෙනුවට මාස හතරකට වරක් බැගින් මම ජාතික රුධිර මධ්‍යස්ථානයට ගොස් වාර 62 ක් ලේ දුන්නා. ඉන් පසුව 2008 ජනවාරි 2 වැනිදා සිට මම සෑම සති දෙකකට වරක් ජාතික රුධිර මධ්‍යස්ථානයේදී රුධිරය හා සමාන ලෙසින් අසරණ රෝගීන්ට අවශ්‍ය වන රුධිර පට්ටිකා වාර 140 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට පරිත්‍යාග කරලා තියෙනවා”.

කේ. රම්‍ය අතුල විජේ­සේ­කර

55 වියෙහි පසුවන අතුල තිදරු පියෙකි. ඔහු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර ලෙස සේවය කරයි. නාලන්දා විද්‍යාලයේ ද ආදි සිසුවෙකි. “දවස් දාහතරෙන් දාහතරට මගේ ඇ‍ඟේ රුධිර පට්ටිකා ලබා දුන්නා කියා මගේ ඇඟට දෙයියන්ගෙ පිහිටෙන් කිසිම අමාරුවක් නැහැ. මගේ ඇ‍ඟේ ලේ පිරිසිදුයි. සීනි, කොලෙස්ටරෝල් නැහැ. මගේ රුධිරය ලබාදෙන සෑම වාරයකදීම මම හිතන්නේ මේ මම කරන්නේ මිනිස් ජීවිතයක් වෙනුවෙන් කරන උදව්වක් හැටියට. ජාතික රුධිර මධ්‍යස්ථානයේ රුධිර සේවය සමඟ මම නිතරම සම්බන්ධ නිසා මගේ ලොකුම ආසාව හා බලාපොරොත්තුවක් තියෙනවා රුධිර පරිත්‍යාගයට මිනිස්සු තව තවත් යොමු කරවන්න. මේකට ලේ බැංකුවේ ගීතය ලෙස හැඳින්වෙන ‘රුධිර පූජා ජිව පූජා’ ලෙස තියෙන තේමා ගීතය මේ රටේ මිලියන ගණනින් භාවිතයට ගැනෙන ජංගම දුරකථන ජාලයේ ‘රිගින් ටෝන්’ එකකට යොදා භාවිත කරන්න යයි මා ඉල්ලා සිටිනවා”.

ලෝබකමින් තොරව මිනිසුන්ට උදව් කිරීමට අවංක සිතින් උනන්දුවෙන් හා කැපවීමකින් ක්‍රියා කරන උපුල් ගමගේ තවත් දිරිමත් රුධිර පරිත්‍යාගශීලියෙක්. 1992 ජනවාරි 20 වැනිදා රුධිර පරිත්‍යාගයට පළමුවරට යොමුවීමෙන් පසු වසර 2007 දක්වා වාර පනහක් අසරණ රෝගීන් වෙනුවෙන් රුධිරය ලබාදුන් ඔහු 2007 වසරේ සිට පසුගිය ජූලි 11 වැනිදා දක්වා රුධිර පට්ටිකා අනූවාරයක් පරිත්‍යාග කර ඇත. මොහු ජීවිතයේ මුල් වරට රුධිර පරිත්‍යාගයට යොමු වී ඇත්තේ තම මිතුරෙකුගේ පියෙකුට රුධිර පරිත්‍යාගයක් සිදු කිරීමෙනි. එදා රුධිරය දන් දීමෙන් හිතට ඇතිකර ගත් චිත්ත ධෛර්යය අධිෂ්ඨානය අද ඔහු දින දාහතරකට වරක් ලබාදෙන රුධිර පට්ටිකා පරිත්‍යාගයට රුකුලක් වී ඇත.

නිතිපතා පන්සිල් සමාදන්ව බණ භාවනාවල නිරතව දැහැමි දිවි පෙවතකට යොමු වී සිටින උපුල් මස් මාළු නොකන සෑම පෝය දිනයකටම සම්පූර්ණ දවසක් සිල් සමාදන් වන අයෙක්. ඔහු හතළිස් දෙහැවිරිදි වියෙහි පසුවන උපුල් තමාගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. කොතරම් වැඩ තිබුණත් සෑම දවස් දාහතරකට වරක් ඔහු රුධිර පට්ටිකා ලබා දීමට අමතක නොකරයි. දාන පාරමිතාව සිහිපත් කරගෙන මම මේ පරිත්‍යාගය කරන්නෙ. රෝගී ජීවිතයකට ප්‍රයෝජනවත් උපකාරයක් කියල හිතනකොට හිතට දැනෙන්නෙ ලොකුම සතුටක් සැනසිල්ලක්. උපුල් තම පරිත්‍යාගශීලී ක්‍රියාව දෙස බලන්නේ එලෙසිනි.

රුධිරය පරිත්‍යාග කිරීම මඟින් රුධිර දායකයාට ලැබෙන හිතේ සතුට ඔහුගේ මානසික සෞඛ්‍ය නැංවීමට ද ප්‍රබල අනුබලයක් ලබා දෙයි. පාණදුර වෑකඩ පදිංචි පනස්නව හැවිරිදි කේ. ටී. කල්දේරා ජාතික රුධිර මධ්‍යස්ථානයට විශේෂ වූ රුධිරදායකයෙකි. ඔහු සතු රුධිරයේ ඇති විශේෂ ද්‍රාවණය වෙනත් රුධිර හා ගැළපීමට සුදුසු සැසඳුම් පරීක්ෂණ සඳහා යොදා ගැනීමට හැකියාව ජාතික රුධිර මධ්‍යස්ථාන හඳුනාගෙන තිබේ. කල්දේරා වැනි එම සුවිශේෂී රුධිරය සහිත පරිත්‍යාගශීලීන් ඔහු සමඟ හඳුනාගෙන සිටින්නේ දොළොස් දෙනෙක් පමණකි. මේ අයගෙන් ජාතික රුධිර මධ්‍යස්ථානය මාස හතරකට වරක් මේ විශේෂ රුධිර වර්ගය ලබා ගනී.

උපුල් ගමගේ

කේ. ටී. කල්දේර

මෙහිදී තවත් විශේෂත්වයක් වන්නේ ජාතික රුධිර මධ්‍යස්ථානයට මේ ලේ වර්ගය අවශ්‍ය වූ විට කල්දේරාට දන්වා ඔහුගේ නිවසටම ගොස් රුධිරය ලබා ගැනීමට පියවර ගැනීමය. පනස් වතාවකදී පමණ රුධිරය පරිත්‍යාග කර ඇති කල්දේරා ඊට අමතරව මේ වන විට තිස්අට වාරයක් තම රුධිරයේ සුවිශේෂී රුධිර වර්ගයන් සඳහා ද පරිත්‍යාග කිරීම් සිදු කර තිබේ.

ලක්සල ආයතනයේ සේවය කර විශ්‍රාම ලබා සිටින කල්දේරා සිය මුල්ම රුධිර පරිත්‍යාගය සිදුකර ඇත්තේ 1972 වෑකඩ පන්සලේ ලොකු හාමුදුරුවන් අසනීප වූ අවස්ථාවකදීය. 2006 වර්ෂයේදී ඔහු වකුගඩු රෝගියකු වෙනුවෙන් තම වකුගඩුවක් ද පරිත්‍යාග කර තිබේ. තම දියණිය පුතා ද ජාතික රුධිර මධ්‍යස්ථානයට විශේෂ වර්ගයේ රුධිරය සකස් කිරීමේ අවශ්‍ය රුධිර දායකයන් ලෙස හඳුනාගෙන සිටින දෙදෙනෙකු බව කල්දේරා පවසයි.

තම බිරියත් දහඅට වතාවක්ම රුධිරය පරිත්‍යාග කිරීමට යොමුකර ඇති කල්දේරා පවුල් හැමෝම රුධිර දායකයන් ලෙස යොමුකළ සුවිශේෂී පුද්ගලයෙක්.

ලේ දන්දීමේ කඳවුරු 65 ක් මේ වන විට ඔහු සංවිධානය කොට පවත්වා තිබේ. පසුගිය මැයි 27 වැනිදා පාණදුරේ වැවවිල මුස්ලිම් පල්ලියේදී සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුර මෙතෙක් පැවැත්වූ ලේ දන්දීමේ කඳවුරුවලින් තම මතකයෙන් බැහැර නොයන කඳවුරක් බව කල්දේරා පවසයි. සාමාන්‍යයෙන් මුස්ලිම්වරුන් ලේ දන් දෙන්නේ නැතැයි යන සමාජයේ පවතින මතය දුරලමින් එදා මුස්ලිම්වරුන් බොහෝ දෙනෙක් ලේ දන්දීමේ කඳවුර සාර්ථක කර ගැනීමට ලේ දන් දුන් බව ඔහු පවසයි. ලේ දන්දීමට ජාති ආගම් බේද බලපාන්නේ නැත. එමෙන්ම කුමන ජාතියක අයෙකුගේ ඇ‍ඟේ වුවද දුවන ලේවලට වර්ගවාද බලපාන්නේ ද නැත.

රුධිර පරිත්‍යාගශීලීන් අතර උනන්දුවෙන් සිය රුධිරය පරිත්‍යාග කරමින් මේ වන විට රුධිර පට්ටිකා දින දාහතරකට වරක් පරිත්‍යාග කරන භික්ෂුන් වහන්සේ නමක් ද මේ අතර කැපී පෙනේ. ආඬිඅම්බලම සරණතිස්සගම ශ්‍රී ජයරාජාගම විහාරාධිපති දරණාගම සුමනරතන හිමියෝ අවුරුදු දහඅටක් තිස්සේ රුධිරය පරිත්‍යාග කරති. මේ වන විට උන්වහන්සේ වසර දෙකක කාලයක් තිස්සේ සෑම දින දාහතරකට වරක් රුධිර පට්ටිකා පරිත්‍යාග කිරීමට ජාතික රුධිර මධ්‍යස්ථානයට වැඩම කරති.

“මගේ ශරීරයෙන් රුධිර පට්ටිකා සඳහා රුධිරය පරිත්‍යාග කරලා පන්සලට වැඩම කළාට පස්සේ ඊළඟා වාරය එළැඹෙන දවස් දාහතර ගතවන තුරු මම හැමදාම දින ගණන් කරමින් ඉන්නේ ලොකු උනන්දුවකින්. මට නියමිත දිනයට මම අනිවාර්යයෙන්ම ඇවිත් මගේ රුධිර පට්ටිකා ලබා දෙනවා. ඒ උතුම් දානය මම ලබාදීලා මම ලොකු හිතේ සතුටක් ලබනවා. කවුරුහරි අසරණ රෝගියකුට මගේ රුධිර පට්ටිකා ලැබිල ඔහු සුවපත් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.”

සුමනරතන හිමියන් තම ප්‍රථම රුධිර පරිත්‍යාගය සිදුකර ඇත්තේ කෑගල්ල හරිගල ඉද්දමල්පාන විහාරස්ථානයේදීය. මේ වන විට උන්වහන්සේ රුධිරය සහ රුධිර පට්ටිකා පරිත්‍යාගය හැටහත් වාරයක් සිදුකර ඇත. අසරණ රෝගියකුගේ ජීවිතයක් රැකගන්නයි රුධිරය දෙන්නෙ. ඒක ලොකු පින්කමක්. මනුස්ස ජීවතයක් බේරා දෙන්න රුධිරය අවශ්‍ය වෙලාවක ඒ රුධිරය මිස ආගම, ජාතිය ගැන නොවෙයි බලන්න ඕනෙ මනුස්සකම ගැනයි. ලේවලට ජාති ආගම් කුලමල බේදයක් නැහැ. ලේ බිඳක් දීම හරි ලොකු දාන පාරමිතාවක්. සසර ගමන කෙටි කරගන්න මට පුළුවන් තාක්කල් මම මගේ රුධිරය ලබා දෙනවා.

සුමනරතන හිමියන් පවසන්නේ දැඩි අදිටනකින්. මේ රුධිර පරිත්‍යාගශීලින් වූ මේ හැමෝම අද මෙන්ම හෙටත් මේ පින්කමට දායක වෙමින් කරනු ලබන්නේ මහඟු පුණ්‍යකර්මයකි.

Posted by: lrrp | July 10, 2014

පහන් පූජාවේ අනුසස්

10473456_858884980807876_2024465720110797852_n“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි. උපනුපන් තැන හොද ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමටද මෙය විශේෂ පින්කමකි.

අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. “උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.
ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.

පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ,

කල්ප ල්ක්ෂයකට පෙර අතීතයේ එක් කපෙක හංසවතී නගරයේ ආරාමයෙන් ආරාමයට වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඕ එක් මාසේපෝය දිනයක එක් බෝධිවුක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයෙහි හිදගත්තාය. ඕ ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝරුකට වැදගෙන මහත් සොම්නසින් “ඉදින් බුදුරජානන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක නම්, අසම අප්‍රතිපුද්ගල වූ සේක් නම්, මේ බෝධින් වහන්සේ ප්‍රාතිහරයයක් දක්වන සේක්වා, මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වා” යි සිතූවාය.
එකෙණෙහිම බෝරුක දිලිසුණි. සියලු බෝරුක ස්වර්ණ වර්ණ විය. සෑම තැනම ආලෝකය පැතිරිණි. ඒ ප්‍රාතිහාර්යයෙන් අතිශයින් සොම්නසට පත් ඕ තොමෝ සතියක්ම බෝරුක මුල විසුවාය. සත්වන දින රාත්‍රීයෙහි පූජාසනය මත පහන් පසක් දැල්වූවාය. ඒ පහන් පසුදින හිර උදාවන තෙක් ම දැල්විණ.
පසු කාළයේ ඕ කළු්‍රිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඈට එහි සැටයොදුන් උස තිස්යොදුන් පළල පඤ්චදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගනනක් නැති පහන් දැල්වෙන්නේය. ඇයට දක්නට කැමති උඩ යට සරසා ඇති සියල්ල ඇසට පෙනෙන්නේය.
ඒ පිනෙන් ඕ අසූවරක දෙව් රදුන්ගේ බිසව වූවාය. සියවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. උපනුපන් සෑම තැනම ඇය පිණිස දහස් ගණන් පහන් දැල්විණි. ඕ මෙසේ දෙව්මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විද අන්තිම ජාතියේ අප බුදුරජානන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදු වියෙහිම සව් කෙලෙසුන් නසා රහත් වූවාය. සත් හවුරුදු වියෙහිම ඕ උපසම්පදාවද ලැබුවාය. ඇය වසන සෑම තැනම ඇය උදෙසා පහන් පසක් දැල්විණ.

සතයහස්සිතො කප්පෙ යං දිපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.

මේ පඤ්චදීපිකා ස්ථවිරියගේ ප්‍රකාශනයකි.

මෙයින් කල්ප ලක්ෂයකට පෙර ඒ කාලයේ මම යම් ප්‍රදීප දානයක් දුන්නෙම්ද එතැන් පටන් මේ වනතුරු දුර්ගතියට නොපැමිණියෙමි, මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යනු එහි තෙරුමය.

(ආපදානපාළියෙන්)

(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සෙගේ)

මේ විශ්වය පුරා අපේ පියවි ඇසට නොපෙනෙන සත්ත්වයෝ බොහෝ ය. ඒ අතර කල්ප කාලාන්තරයක් තිස්සේ අප සමඟ විවිධ සම්බන්ධකම් පැවැත්වූවෝ ද අනන්තය. ‍එසේ ම අප සමඟ මවක් පියෙක්, සහෝදරයෙක් සහෝදරියක් දුවත් පුතාත් ආදී ඥාතිත්වයක් නොගත් කෙනෙකු නැති තරමට ම මේ සංසාර ගමන දීර්ඝ යයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. මිනිසුන් අතර මෙන් ම අමනුෂ්‍යයන් අතර ද ආදරය හා තරහ ඊර්ෂ්‍යා ද ක්‍රියාත්මක ය. අපට ආදරය කරන්නෝ ආශිර්වාද කරති. තරහ ඊර්ෂ්‍යාවෙන් සිටින්නෝ සාප කරති. ඔවුන්ට ඇති ශක්ති ප්‍රමාණයන්ට අනුව මිතුරු සතුරුකම් ද කරති.

“අනේ අම්මා මට බඩගිනියි. ඉවසන්න බැරි තරමට කුසගින්න දැනෙනවා. ඒත් කෑම කන්න බෑ. ප්‍රිය නෑ. පිපාසෙයි. උගුර කට වේළිලා. ඒත් වතුර ටිකක් ගිලගන්න බෑ” යි දේවිකා හඬා වැලපෙන්නීය. ඇයට ක‍ෑම කන්නට බැරි ය. නාන්නේ නැත. හිස පීරන්නේ නැත. බලාගත් අත බලා සිටී. ශරීරය හොඳට ම කෙට්ටු වී ඇත. අප්‍රසන්න ය.

දේවිකා මාලඹේ පදිංචි විසි හතර හැවිරිදි තරුණියකි. දැන් ඇය ඉතාම අප්‍රසන්න අමනුෂ්‍ය දුවක ගේ තත්ත්වයට පත්ව සිටින්නී ය. ඇගේ දෙමවුපියන් ඇයට කායික මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්න ද කිසිම වෙනසක් සුවයක් ලබාදිය නොහැකිව අසරණව සිටිති. ඇගේ වැඩිමහල් සහෝදරිය චතුරී ‘සිළුමිණ’ පත්‍රයේ පළවන ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කෙරෙහි දෙමවුපියන් ගේ අවධානය යොමු කළා ය.

ඒ අනුව ඔවුහු දේවිකාව ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා කැඳවා ගෙන ගියහ. ආධ්‍යත්මීය උපදේශකවරයා ශක්ති කිරණ එල්ල කරන විට දේවිකා පැද්දෙන්නට වූවා ය. එදින ඉන් එහා දෙයක් අනාවරණය කැර ගත නොහැකි වූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි ප‍ූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේ ය.

සතියක් පමණ බෝධි පූජා පවත්වන විට දේවිකා රාත්‍රියට බිය පත්ව කෑ ගසන්නට වූවා ය. රෝගී තත්ත්වයත් උග්‍ර විය. බෝධි පූජා පවත්වන්නට ගිය විට බෝ මළුවේ දී සිහි නැතුව වැටුණා ය. මේ බව ගවේෂකවරයා වෙත දුරකථනයෙන් දැනුම් දුන් විට වහාම ඇය නැවත කැඳවාගෙන එන ලෙස දැන්වීය.

ඒ අනුව ඔවුහු නැවත පැමිණියහ. ඒ වනවිට දේවිකාගේ මව ශිරාණිගේත් ශක්ති ශරීරය (ඕරා) දුර්වල වී ඇති බව ගවේෂකවරයා දුටුවේ ය. ගවේෂණයේදී දේවිකා අඬන්නට වූවා ය. අම්මයි දුවයි දෙදෙනාම පැද්දෙන්නට ගැහෙන්නට වූහ. එදින ද ඉන් එහා යමක් අනාවරණය කැර ගත නොහැකි විය. තවත් සතියක් බෝධි ප‍ූජා පවත්වා එන්නැයි උපදෙස් ලැබුණි.

තමන්ට යමක් පෞද්ගලිකව විස්තර කළ යුතුව ඇතැයි ශිරාණි ගවේෂකවරයා සමඟ පැවසුවා ය. එය දුරකථනය මගින් කරන්නැයි ගවේෂකවරයා පැවසීය.

ඒ අනුව පසුදින ශිරාණි ගවේෂකවරයා අමතා එම පෞද්ගලික කතාව දුරකථනයෙන් කීවා ය.

“මහත්තයා! අපේ ගම මාතර. මගේ නංගි පදිංචි වෙලා හිටියේ මාළඹේ, නංගිගෙ මහත්තයා වාහන අනතුරකින් මැරුණා. ඊට අවුරුදු තුනකට පස්සේ නංගී පිළිකාවකින් මැරුණා. නංගිගෙ දුව හංසි, නංගි නැතිවෙන කොට හංසි දුවට වයස මාස හයයි. හංසි දුවගෙ වගකීම මට‍ පැවරුණා. නංගි මැරෙන්න කලින් ම මරණය ගැන දන්න නිසා “අනේ අක්කේ මගේ දුව අක්කාට බාරයි. මේ ගෙවල් දොරවල් දේපළ ඔක්කොම අක්ක බාර අරගෙන මගේ දුව හදා වඩා ගන්න” කියලා මට කියා තිබුණා.

‍Óමාතර ජීවිතේට වඩා මාළඹේ හොඳ නිසා මමයි මහත්තයයි මාතර ගෙදර කුලියට දීලා මගේ දූලා දෙන්නත් එක්ක මාලඹේ පදිංචියට ආවා. දැන් හංසි දුවත් මට කියන්නේ ‘අම්මා’ කියලා. මමත් හංසි දුවට මගේ දුවකට වගේ ම ආදරෙන් හදා වඩා ගත්තා.”

“මේ අතරෙ පුදුම දෙයක් සිද්ධ වුණා. රෑට මම හංසි දුවත් තුරුළු කැරගෙන ඉන්න කොට මගේ මැරුණු නංගී නාළිකා හැබැහින් ම වගේ හිනා වේගෙන ඇවිත් දුවගෙ ළඟින් අනිත් පැත්තෙන් නිදා ගත්තා. මම හිමිහිට ඇ‍ඳෙන් නැගිටලා දොරත් වහගෙන පිටවෙලා මගේ දූලා ඉන්න කාමරයට ගිහින් නිදා ගත්තා. මම මේ සිද්ධිය කාටවත් කිව්වේ නෑ‍. හංසි දුවත් හොඳට වැඩුණා. හංසි දුව ලොකු වෙනකොට නංගි රාත්‍රි ගමන අඩු කළා. මාස දෙකකට විතර සැරයක් තමයි පහුවෙනකොට දුවගෙ කාමරයට ආවේ.”

දැනට මාස හයක විතර ඉඳලා මගේ දේවිකා දුව අසනීප වෙන්න හිටියා. ඒ ගැන මම ශාස්ත්‍රයක් අහන්න ගියා. මගේ නංගි නාළිකාගෙ බලපෑමක් දේවිකාට තියනවා කියලා එතැනින් කියැවුණා. මේ කාරණය මගේ මහත්තයාට කීවා ම ඇදුරන් ලවා නංගිවන බැඳලා මුහුදට දාමු කියලා එයා කිව්වා. ඒකට මගේ හිත ඉඩ දුන්නෙ නෑ. නංගිගෙ ගෙදරම ඉඳගෙන නංගිගෙ දේපළ ම බුක්ති විඳිමින් එහෙම කරන්න බැරි නිසයි ඔබතුමා හොයාගෙන මධ්‍යස්ථානයට ආවේ” යි ශිරාණි මේ ගුප්ත කාරණය පැහැදිලි කළා ය. ඊළඟට පැමිණෙන විට හංසිවත් කැඳවාගෙන එන්නැයි උපදෙස් ලැබුණි.

හංසි ඉතාමත් ප්‍රසන්න සුරූපී දියණියකි. ඉගෙනුමට ද ඉතාම දක්ෂ ය. මේ වනවිට විදේශීය විශ්ව විද්‍යාලයක උපාධියක් සඳහා සූදානම් වෙමින් සිටී.

එදින ද දේවිකා ප්‍රලය වූවා ය. අඬන්නට පටන් ගෙන හංසිව බදාගෙන “මගේ රත්තරන් දුවේ” යි කියා වැලපුණා ය. ශිරාණිව බදාගෙන ‘මගේ අක්කේ’ යි ඇඬුවා ය. ගවේෂකවරයා ප්‍රශ්න කළේ ය.

“මේ කවුද අඬන්නේ?”

“මම නාළිකා. මේ හංසි දුවගෙ අම්මා”

“ඇයි මේ දේවිකාට කරදර කරන්නේ?”

“මම මේ කෙල්ල එක්ක තරහයි.”

“ඒ මොකද? මේ තමුන්ගෙ අක්කගෙ දුවනෙ?”

“මේ දේවිකා මගේ දුවට වෙනස්කම් කරනවා.” මගේ දුව ලස්සනයි කියලා ඊර්ෂ්‍යා කරනවා. ඉගෙන ගන්න දක්ෂයි කියලා ඊර්ෂ්‍යා කරනවා. අම්මා නැති කාලකන්නි කෙල්ල කියලා තියෙනවා. මගේ දුවට කෑම බෙදන කොට ඒකත් අඩු කරනවා. මේ කෙල්ලගෙ අක්කාත් මගේ දුවට වෙනස්කම් කරනවා. මගේ හංසි දුවගෙ ගෙදරම ඉඳගෙන දුවගෙ දේවල්ම කකා දුවට වෙනස්කම් කරන හැටි මට බලා ඉන්න බෑ. මගේ අක්කා නිසා, මගේ දුවව හදා වඩා ගත්තේ අක්කා නිසා මෙච්චර කාලයක් ඉවසුවා. බැරිම තැන තමයි මේකිට රිද්දන්න පටන් ගත්තේ. ඒ වෙනස්කම් කරනවාට මුන්ට අවවාද කරනවා වෙනුවට මස්සිනාත් මාව බැඳලා මූදෙ දාන්න කතා වුණා. මම මේ අය කරන කියන හැම දෙයක් ම අහගෙන බලාගෙන ඉන්නේ. යි නාළිකාගේ භූතාත්මය කීවාය.

“අම්මේ අම්මා බය වෙන්න එපා. මට මේ හැම දෙයක් ම වැටහෙනවා. මම ලොකු අම්මාට ආදරෙයි. ලොකු අම්මා මට ආදරෙයි‍. මේ අක්කලා ඉරිසියා කරන කොට මම තවත් ශක්තිමත් වෙනවා. මම ඔය දෙන්නට වඩා ලස්සනයි. ඔය දෙන්නට වඩා හොඳට මම විභාගත් පාස් වුණා. මට හොඳ දේපළකුත් මගේ අම්මයි තාත්තයි ඉතුරු කරලා ගිහින් තියෙනවා. මට හොඳ තත්ත්වයක් තියෙනවා කියලා හිත හදාගෙන ශක්තිමත්ව ඉන්නවා. මේ දෙන්නා ඉරිසියා කරන්න කරන්න මම තවත් ශක්තිමත් වෙනවා” යි හංසි කීවා ය.

“හොඳයි හොඳයි මගේ රත්තරන් දුව ගැන මට දැන් හරිම ආඩම්බරයි‍” කියා භූතාත්මය සිනාසුණා ය.

දේවිකාගේ ශරීරයෙන් පුංචි අම්මාගේ ආවිශ්ටය ඉවත් කොට ප්‍රකෘති සිහිය ලබා දුන් ගවේෂකවරයා භූතාත්මයෙන් අනාවරණය කළ සියල්ල දේවිකාට පැහැදිලි කළේ ය. දේවිකාගේ පියාත් අක්කාත් ලජ්ජාවෙන් බිම බලාගෙන සිටියහ. ශිරාණි හංසි දුවගේ හිස පිරිමදිමින් සිටියා ය. දේවිකා තමන් හංසිට කළ වැරදි පිළිගත්තා ය.” ඒ විතරක් නෙමෙයි මම තව බරපතළ වරදක් කළා. මගේ සිතේ ඒ වරද ගැන මටම පීඩා කරනවා” යි දේවිකා කීවා ය.

“ඒ මොකක්දැ’ යි ගවේෂකවරයා ඇසීය.

“දවසක් හංසි නංගි බොන කිරි වීදුරුවට මම මදුරු කොයිල් දිය කරලා දැම්මා, ඒත් හංසි නංගි කිරි කෝප්පය අතට ගන්න හදන කොට ම අතින් ගිලිහිලා කෝප්පය බිම වැටී බිදුණා.”

“හංසි කියන්නේ පිට කෙනෙක් නොවෙයි. තමුන්ගෙම පුංචි අම්මාගෙ ම දුව එයා ලස්සනයි කියලා, හොඳට ඉගෙන ගන්නවා කියලා ඊර්ෂ්‍යා කරනවා නම් කොයි තරම් වැරදි ද? හංසි ගෙ ම ගෙදර ඉඳගෙන එයාගෙ දේපළ ම බුක්ති විඳිමින් එයාට හතුරුකම් කරන්න, අපහාස කරන්න. වස විස දෙන්න තරම් මනුෂ්‍යත්වය දීන කරගෙන, හංසි කාලකන්නි කෙල්ලක් නොවෙයි. වාසනාවන්ත දුවක්. ධෛර්ය සම්පන්න තරුණියක්. පූර්ව කර්ම විපාකයකට දෙමවුපියන් අහිමි වුණත් ලොකු අම්මාගේ ආදරය කරුණාව මාතෘත්වය ලබාගෙන ඉදිරියට යන්න හංසිට ශක්තිය තියෙනවා. හංසිට ඉරිසියා කරනවා නම් දේවිකා තාත්තයි අක්කයි එක්ක මාතර ගමට යන්න. ඔය වගේ කැත වැඩ කරනවාට වඩා හොඳයි. නැත්නම් හංසිගෙන් සමාව ගන්නැයි ගවේෂකවරයා කීවේ ය. තාත්තාත් අක්කත් බිම බලාගෙන සිටිද්දී දේවිකා හංසි ළඟ වැඳ වැටී අනේ, නංගී මට සමාවෙන්නැ’ යි කීවා ය. ඒ සමඟම නාළිකාගේ භූතාත්මය දේවිකාට නැවත ආවිශ්ටව කතා කළා ය.

“මහත්මයා මම පළිගත්තා නොවෙයි‍. මගේ දුවගේ ආරක්ෂාවට කටයුතු කළා විතරයි.”

“ඔව් අපට වැටහෙනවා අම්මා කෙනෙකුගේ ආදරය. ඔබ දැන් මිනිස් අම්මා කෙනෙක් නොවන නිසා ඔය ආකාරයෙන් කටයුතු කළ බව. දැන් කල්පනා කරන්න. ඔබේ දුව හංසි දැන් සුරක්ෂිතයි. ඇය නුවණක්කාරයි. දේවිකා මීට පස්සෙ හංසිට ඊර්ෂ්‍යා නොකරන බවට අපි පොරොන්දු කරවන්නම්. ඔබටත් දානයක් දී පින් අනුමෝදන් කරවන්නම්.”

“හොඳයි මහත්මයා එහෙම නම් මම ඉවත් වෙලා යන්නම්.”

ශිරාණිගේ සංවිධානයෙන් සාංඝික දානයක් පිරිනමා නාළිකාට පැන් වඩා පින් අනුමෝදන් කළා ය. නාළිකාගේ ප්‍රාණ කාරිය අනුරාධපුරයට ගියාය. හංසිට කරදර කළොත් නැවත කරදර විය හැකි බවට ද ගවේෂකවරයා දේවිකාට අනතුරු හැඟවීය.

කවර හෝ තැනක හිසට සෙවණක් අටවා ගන්නවා නම් එය අයිතිවන්නේ ඔබට පමණක් නොවේ. ඔබ නොදැනුවත්වම තවත් කෙනෙක් එහි පැමිණ පදිංචි වේ. එය හරියට කපුටාගේ කූඩුවේ කොවුලා බිජුලන්නා හා සමානය. කූඹියා, කුඹලා, හූනා, මීයා, කැරපොත්තා, ගේකුරුල්ලා වැනි සතුන් නිවසක ජීවත්වන සැටි ඔබට ප්‍රායෝගිකවම අත්දැකිය හැකිය. මෙසේ අපට අදෘශ්‍යමාන වුවද පිරිසිදු බව හා අපිරිසිදුකම අනුව අපගේ වාසස්ථානයට අරක්ගන්නා පිරිස් බොහෝ වෙති. අපිරිසිදු නම් ප්‍රේත භූත කුම්භාණ්ඩයෝ රිංගති.

එය භුම්මාඨක දේව කොට්ඨාස ඉන්නා බවට ද ඉඟියකි. ජන සම්මත හොල්මන් පිළිබඳ කතා පුවත් ද ඊට නිදසුන් දෙයි. විශේෂයෙන් කෙනෙක් හදිසි අනතුරකින් මිය ගියේ නම් එතැන හොල්මන් ඇති බව ගැමියෝ විශ්වාස කරති. මෙය වැදගත් කරුණකි. කවර හේතුවක් නිසා හෝ මිය ගිය කෙනෙකුට එම වේශයෙන්ම නැවත පෙනී සිටිය හැකිද? එසේත් නැතිනම් හොල්මන් කරමින් ජීවත්ව සිටින‍්නන් බියගැන්විය හැකිද? නැත. මියගිය කෙනෙකුට හොල්මන් කළ නොහැකිය. බුද්ධ දේශනාවට අනුව නම් මියගිය පුද්ගලයා තවත් තැනක උත්පත්තිය ලබයි. එසේ නම් මරණයට පෙර ඇඳුම් පැලඳුම්වලින්, ශරීර ස්වභාවයෙන් පෙනී සිටි ආකාරයට තවත් කෙනෙක් ඉදිරියේ දර්ශනය විය නොහැකිය.

සියුමැලි තරුණියක ගේ වේශයෙන්, තරුණයකුගේ පාපැදියෙහි නැඟී තමා ජීවත් වූ නිවෙසටම ගිය හොල්මනක් පිළිබඳ සත්‍ය සිදුවීමක් ‍කලෙක පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා විය. එය මත්වතුර විකුණන අයගේ, සූදු ක්‍රීඩාවෙහි යෙදෙන අය ගේ හෝ සොරුන් ගේ උපක්‍රමයක් අනුව සිදුවූවක් ද නොවේ. ඇතැම් සොහොන් බිම් අසලින් ගමන් කරන අතරවාරයේ වාහන පසුපසින් මල්වඩම් තැබීම, අවතාර සේ පෙනී සිටීම මොවුන්ගේ සමහර උපක්‍රමයන්ය. තමන් ගේ වැඩකටයුතු කිසිවෙකු ගේ ඇස ගැටීමකින් තොරව නිදහසේ කරගෙන යාම ඔවුන් ඉන් බලාපොරොත්තු විය. ‍

හලාවත සිට පුත්තලමට යන පාරේ එක් ස්ථානයක වූ රිය අනතුරකින් තරුණියක මිය ගියාය. දිනක් රාත්‍රියේ එතැනින් යතුරුපැදියකින් ගමන් කළ තරුණයකු හදිසියේ තම වාහනය නතර කළේ පාර අයිනේ සිටි සුන්දර තරුණියක කළ සංඥාවක් නිසාය. දින කිහිපයකට පෙර මෙහි මරණයක් හෝ අනතුරක් වූ බව ඔහු දැන සිටියේ ද නැත.

“අයියේ, මම අසවල් ගමේ ඉන්නේ. ගමනක් ගිහින් එනකොට රෑ වුණා. මහවැස්සකුත් එනවා. අනේ පුළුවන් නම් මා ගෙදරට ඇරලවන්න” ඇය කීවාය.

තම නැගණිය‍ක වන් මේ තරුණිය මුහුණ පා ඇති අසීරුතාව දුටු තරුණයාට අනුකම්පා සිතිනි. තමන් යන මාර්ගයේම ඇය වෙසෙන නිසා උදවු කිරීමේ ද අපහසුවක් නොවුණි. අත රැඳි අමතර හෙල්මටය ඇයට දුන් ඔහු කිසිදු කතාබහකින් තොරවම ඇය නිවසට ඇරලීය. ඔහු ආපසු හැරුණේ ඇය නිවසට පය තැබූ පසුය. තමන් තරුණියට දුන් හෙල්මටය ආපසු නොගත් බව මේ තරුණයාට සිහිවූයේ තම නිවසට ද පැමිණි පසුවය. පසුදින රාජකාරියට යන අතරේ එය ලබා ගත හැකි යැයි සිතා ඔහු නින්දට ගියේය.

තරුණිය ජීවත්වනවා යැයි කී නිවස පිහිටි තැන හොඳින් මතකයේ තිබූ මේ තරුණයා පසුදින ඒ නිවසට ගොඩවැදුණේ අමතකව ගිය හෙල්මටය බලාපොරොත්තුවෙනි. මහලු කාන්තාවක් ගෙයි ඉදිරිපස උන්නාය.

“මම ඊයේ රෑ මේ ගෙදර නංගි ‍කෙනෙක් ගෙනත් අරලුවා. ඒත් මට මගේ හෙල්මට් එක ගන්න අමතක වුණා” ඇයගේ හැඩරුව ගැන ද හඳුන්වා දෙමින් ඔහු කීවේය. මහලු කාන්තාවගේ දෙනෙත් අග කඳුළක් නළියනවා තරුණයා දුටුවේය.

“අනේ පුතේ, එහෙම කෙනෙක් හිටියා. ඒත් දැන් දවස් ගාණකට කලින් එයා මේ ලෝකෙන් යන්න ගියා”

අවසන ඇය අපහසුවෙන් පිළිතුරු දුන්නාය.

“නෑ නෑ මම එය විශ්වාස කරන්නේ නෑ. මම ආපසු ගියේ ඇය ගෙට ගොඩවුණාටත් පසුවයි” මහලු මව ගේ කතාව විශ්වාස නොකළ තරුණයා පුන පුනා කීවේය. අවසානයේ,

“එහෙනම් මට ඇයගේ සොහොන් කොත පෙන්වන්නැයි” ඔහු ඉල්ලා සිටියේය.

ඇය තරුණයා ද කැටිව සොහොන් කොත අසලට ආවාය. පෙර දින රාත්‍රියේ තම යතුරුපැදිය පිටුපසින් ආ තරුණිය ගේ සේයාරුවක් එහි විය. ඒ ඇයමය. පුදුමය නම් ඇයට දුන් හෙල්මටය සොහොන් කොත උඩ තැන්පත්ව තිබීමය. මේ සිදුවීම පසුපස සිටින්නේ කවුද?

මිය ගිය තරුණියද? නැත. මුලින් කී ලෙස මිය ගිය කෙනකුට මෙසේ හොල්මනක් ලෙස පෙනී සිටිය නොහැකිය. එසේනම් ඇයගේ වේශය ගත්තේ කවුද? ඒ අදාළ අනතුර වූ තැන වෘක්ෂයක වැඩ ඉන්නා දේවතාවෙකි. සාමාන්‍යයෙන් මාර්ග අනතුරක් වූ තැනෙක වැඩියෙන් සෙනඟ ගැවසීම, ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක වීම සිදුවේ. මාර්ගය කඩා පිළිසකර කැරේ. (බම්පර් ආදිය යොදා) එවිට වාහන ගමනාගමනයෙහි වේගය අඩාල වේ. එය මෙහි වෘක්ෂ දේවතාවාට කරදරයකි. ඒ කරදරය නැවතීමට නම් මෙතැන සෙනඟ ගැවසීම නතර කළ යුතුය.

ඒ සඳහා හොඳම උපක්‍රමය නම් මිනිසුන් බිය ගැන්වීමය. විවිධ වෙස්ගත හැකි දේවතාවා මියගිය තරුණිය ගේ වේශයෙන් තරුණයා ඉදිරියේ පෙනී සිටියේ එහෙයිනි. කටින් කට යන ඒ පුවත අඳුරු වැටෙත්ම ඒ අසලින් කිසිවකු ගමන් නොකරන තරමට බිය උපදවන්නේය.

මේ වැනි සිදුවීම් පිළිබඳව මම බොහෝ අධ්‍යයනවල නිරත වී ඇත්තෙමි. වනස්පතීන් හි, පාළු ගල්ගුහාවන්හි, ආරණ්‍ය සේනාසනයන් හි තනිව සිටිමින් විවිධ ශබ්ද ශ්‍රවණයට, විවිධ දර්ශනයන් දැකීමට උත්සාහ කළෙමි. සමීක්ෂණ කළෙමි. මිය ගිය කෙනකුට එසේ අවතාර ලෙස පෙනී සිටිය නොහැකි බව එයින් ද ප්‍රත්‍යක්ෂ කරගතිමි.

ප්‍රේත භූත දෝෂ නිසා සිදුවන මේ හා සමාන සිදුවීම්වලට නිදසුන් බොහෝය. මා කුඩා කල කුරුඹුරේගම විහාරස්ථානයෙහි දන්ගෙය තිබුණේ කෙළවරකය. එහි ඉඳුල් වතුර ඉවත ලන අපිරිසිදු තැනක් ආසන්නයෙහි කලෙක වැඩිහිටි මිනිසෙක් නතරව උන්නේය. ඔහු රබර් කපන්නෙකි. ඔහු දිනක් මා සමඟ මෙසේ පැවසු‍ෙව්ය.

“ස්වාමීන් වහන්ස, මුළු මූණම කුණුවී ගිය අමුතු මිනිහෙක් පොකුණ පැත්තේ ඉඳන් මා දිහා බලා සිටියා.” ඒ ‍මොහොතේ ඔහු බොරුවක් නොකී බව පැහැදිලිය. මේ සිදුවීම වී දින කිහිපයක් ගෙවුණි. එදා මධ්‍යහ්නයේ මොහු රබර් කපා පැමිණ අතෙහි වූ ඔට්ටපාලු ශුද්ධ කරමින් සිටියේය. මම ද තවත් හිමිනමක් ද ඒ අසල සිටියෙමු. කුමක් හෝ හේතුවක් නිසා මොහු දෙස බලන මොහොතක හේ කිසියම් දර්ශනයක් දැක කිව නොහැකි තරම් බියපත් වූ බවක් පෙනුණි. ඒ හා සමඟම සෙම පිටකරමින් සිහි විසඥ වූ ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වූයේ අප අත් උඩමය.

මේ ඉරමුදුන් වී තිබූ වෙලාවකි. තැතිගැන්මත් සමඟ ලේ නහරයක් පිපිරීමෙන් මේ මරණය සිදුවූවා විය හැකිය. එහෙත් ඔහු මිය යන්නට මොහොතකට පෙර කිසියම් කෙනෙක් දුටු බව විශ්වාසය. ඔහු කිසිවක් දැක තැතිගැන්වූ ආකාරය අප ඒ මොහොතේ දුටු බැවිනි.

මෙවැනි සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ යම් තැනකට ‍ෙනාගැළපෙන කෙනෙක් සිටී නම් ඔහුට ඒ තැන ඉන්නට ඉඩ නොදෙන බවය. ඇතැම්විට මේ පුද්ගලයා වෙත ඔහු නමින් මිය ගිය ඥාතියකු ගේ බැල්මක් තිබුණා වීමට ද පුළුවන.

ප්‍රේත භූතාදීන්ට පන්සල් බිමකට ඇතුළු විය හැකිද යන ගැටලුව මෙහිදී ඇතිවේ. පන්සල් භූමියක වුවද අපවිත්‍ර තැනක් ති‍ෙබ් නම් ඔවුන්ගේ ආකර්ෂණය එහි තිබේ.

එමෙන්ම පිරිසිදු ශුද්ධ භූමියක අපිරිසිදු වැඩක් කරනවා නම් ඒ පුද්ගලයාට එහි තවදුරටත් රැ‍ඳෙන්නට දෙවියන් ඉඩ දෙන්නේ නැත. ඔහු මත්වතුර පානය කරන්නෙක් නම්, ස්ත්‍රී දූෂකයෙක් නම්, වංචනිකයෙක් නම් එම පාරිශුද්ධ භූමියෙන් ඔහුට ඉවත්වන්නට සිදුවේ. මේ ධර්මතාවය ගිහි පැවිදි දෙපිරිසටම අදාළය.

ශුද්ධ භූමියක් අපවිත්‍ර කරගෙන සිටී නම් ආයු කාලය කෙටිය. මොන යම් ක්‍රමයකින් හෝ ඒ තැනැත්තාට යන්නට සිදුවේ. එවැනි භික්ෂු චරිතයකට වුවද දෙවියන් එහි ඉන්නට ‍ඉඩ දෙන්නේ නැත. දේව බැල්මේ හාස්කම එයයි.

විභාග ආදියෙන් දරුවන් සමත් වනවා දැකීම මවුපියන්ට විශාල අවශ්‍යතාවයකි. “දරුවන්ගේ විභාග සමත් කර දීමට දෙවියන්ට පුළුවන් ද? දෙවියෝ විභාග ශාලාධිපති ද? එහෙමත් නැතිනම් උත්තර පත්‍ර පරීක්ෂක ද?” ආදී ලෙස මේ පිළිබඳව සමාජයේ විවිධ කණ්ඩායම් වෙතින් විවිධ මතවාද එල්ලවනු පෙනේ. මේ කියමන් එතරම් වැරැදි නැති බව සිතේ. නිවැරැදි පිළිතුරු ලියන්නට උදවු කිරීමේ වැඩපිළිවෙළක් නිවැරැදි පිළිතුර කනට කොඳුරා කීමේ උපක්‍රමයක් දෙවියන් කෙරෙහි තිබේ නම් ඒ කියමන් නිවැරදිය. එහෙත් ඔබ හොඳින් සිහියේ තබාගත යුතු දෙයක් වේ. ඒ විභාග ආසන්නයේ දරුවන් වෙනුවෙන් අපි දෙවියන්ගෙන් බලාපොරොත්තු විය යුතු වන්නේ කුමක්ද යන්න පිළිබඳවය.

ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි

මෙම ගාථාවන් පිරිත් සජ්ජායනාවට පෙර කියන්න

සමන්තා චක්ක වාලේසූ – අත්ත්‍රා ගච්චන්ත්තු දේවතා
සද්ධම්මං මුනිරාජ්ස්ස – සුනන්ත්තු සග්ග මොක්ඛදං
පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
පරිත්ත ධම්මස්සවන කාලෝ – අයං බදන්තා

හාත්පස සක්වල සිටිනා පින් කැමති දෙවියෝ
අප මුනිරජුන්ගේ සඳහම් අසනු රිසියෙන්
මෙහි පැමිනෙත්වා.
ස්වර්ග මෝක්ෂ සුව පිණිස හොඳින් අසත්වා
මේ එයට සුදුසු කාලයයි

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

ඒ භාග්්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඒ භාග්්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඒ භාග්්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

10487370_696509220422667_3125957868837501119_nබුදුරජාණන් වහන්සේ කපිලවත්ථු නුවර නිග්‍රෝධාරාමයේ වැඩ වසන කාලෙ එක දවසක් උදේවරුවේ පිණ්ඩපාතයේ වැඩල දවල්වෙලාව අසළ වනයක බෙලිගසක් යට වාඩි වී විවේක ගත්ත. ඒ වෙලාවෙ දණ්ඩපාණී කියන ක්ෂත්‍රිය කුමාරය ඇවිත් ප්‍රශ්නයක් ඇහුව.

“බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේ කුමන වාදයක් දේශනා කරන කෙනෙක් ද?”

“දණ්ඩපාණීය, මම ලෝකය හා සත්වයා ගැන යථාර්ථය පැහැදිලි කරන කෙනෙක්. යථාර්ථය තේරුම් ඇරගෙන කාම, භව, විභව සඤ්ඤාවලින් වෙන් වෙලා ඉන්න කෙනෙක්” ඒක අහල දණ්ඩපාණී ක්‍ෂත්‍රිය ඔළුවත් සොලවා සැරයටියත් වනමින් යන්න ගියා. එදා සවස දම්සභා මණ්ඩපයේ දී භික්ෂූන් අතර මේ ගැන සාකච්ඡාවක් ඇතිවුණා. ඒ වෙලාවෙ බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩියා. එක් භික්ෂුන් වහන්සේ නමක්

“ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ දණ්ඩපාණී ක්ෂත්‍රියාට දේශනා කළ කාම, භව, විභව සඤ්ඤාවලින් වෙන් වෙලා සිටින ආකාරය පැහැදිලි කරන්න” කියල ඉල්ලා සිටියා.

“මහණෙනි, යම් කිසි භික්ෂුවක් හෝ පුරුෂයෙක් කාමයන් හා සම්බන්ධකම් නැතිව සැකයක් කුකුසක් භව රාගයත් දුරුකරල සිටිනවා නම් ඔහු මේ ලෝකයේ ප්‍රමාදයට හේතුවන සඤ්ඤා හා නාම ව්‍යවහාරයන් ඇරගෙන නිතර හැසිරීම නැති වෙනවා.”

මෙසේ කෙටියෙන් ධර්ම දේශනා කරල බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒක තේරුම් ගන්න අපහසු වුණු භික්ෂූන් වහන්සේලා මහා කච්චායන මහරහතන් වහන්සේ සොයා ගෙන ගොස් විස්තර කරල දෙන ලෙස ඉල්ලා සිටියා.

“ඇවැත්නි, ඇසත් රූපයත් නිසා චක්ඛුවිඤ්ඤාණය ඇති වෙනවා. ඇස, රූපය හා චක්ඛු විඤ්ඤාණය කියන මේ තුන ම එකතු වුණාම ඵස්සය හෙවත් ස්පර්ශය ඇති වෙනවා. ඇසට රූප ස්පර්ශ වුනොත් වේදනාවක් ඇතිවෙනවා. චක්ඛුවිඤ්ඤාණයට වේදනාව දැනුනාම ඒ වේදනාව සැප එකක් ද? දුක් සහිත එකක් ද? කියල දැනගන්නවා. මේ විදියට ස්වභාවය තේරුම් ගත්තාම ඒ වේදනාව ගැන කල්පනා කරනවා. ඒ වේදනාව ගැන කල්පනා කිරීම නිසා ඒ රූපයට සම්බන්ධ සඤ්ඤා හා නාම සමග නිතර හැසිරෙනව.

එහෙම සඤ්ඤා නාම සමඟ හැසිරෙන කොට අතීත, අනාගත හා වර්තමාන කාලවලත් ඒ රූපය හා සම්බන්ධව ගත් රූප මතක් වෙනවා. එනිසා ඇවැත්නි, ඇස තියෙනවා නම් ඇසට රූප හමු වී චක්ඛු විඤ්ඤාණය ඇතිවෙනවා. මේවා එක්වීමෙන් ඵස්සයත් එයින් වේදනා, සඤ්ඤා, විතක්ක හා පපඤ්චයත් ඇති වෙනවා. මේ පපඤ්චයන් හා සම්බන්ධ සඤ්ඤා හා නාම ව්‍යවහාර අල්ලා ගෙන ලෝකයා වෙහෙසට පත්වෙනවා. මේ විදියට ඇස, කණ, නාසය, දිව ශරීරය, මනස කියන ඉන්ද්‍රියයන් හයෙන් ම රූප, ශබ්ද, ගනධ, රස, ස්පර්ශ හා ධර්ම කියන අරමුණු හය අල්ලා ගෙන ලෝකය වෙහෙසට පත්වෙනවා කියල මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කළා.

මිනිස්සු ලස්සන කාන්තාවක් දැක්කොත් කැමරාවකින් වගේ ඇයගේ රූපය මනසට ගන්නවා. ඒ කාන්තාවගේ රූපයේ ලස්සන ගැන නැවත නැවතත් හිතල නොයෙක් අංග ලක්ෂණ නාම ව්‍යවහාර වශයෙන් හිතේ තියා ගන්නවා. ඒ කාන්තාව ඊට පෙර දැකල තියෙනවා නම් ඒ අතීත මතක සටහන් සමඟ සසඳල නැවත නැවතත් මතකයේ තබා ගන්නවා. මතකයේ රැඳුන ඒ ලස්සන කාන්තා රූපය පිළිබඳව අතීත අනාගත, වර්තමාන රූප ගැන සිහිපත් කරනවා. නාම ව්‍යවහාරයන් සම්බන්ධ කරගෙන කෙරෙන මේ සිහිපත් කිරීම නිසා ආශාවක් ඇති වෙනවා.

රූපයට ඇති ආශාව නිසා රූපය අල්ලා ගන්නවා. මෙසේ ආශාවෙන් අල්ලා ගන්නා රූප මතකයේ රැඳිලා ගොඩ ගැසෙනවා. ඒවාට කියන්නේ රූප උපාදානක්ඛන්ධ කියල. මේ විදියටම කණෙනුත් ශබ්ද රූප අල්ලා ගෙන ගොඩ ගහ ගන්නවා. නැහැයෙන් ගන්ධ රූපත් , දිවෙන් රස රූපත්, ශරීරයෙන් ස්පර්ශ රූපත් , මනසින් ධම්ම රූපත් අල්ලා ගෙන ගොඩ ගහගන්නවා. මෙසේ ඉන්ද්‍රියයන්ගෙන් රූප උපාදාන වශයෙන් අල්ලා ගෙන රූප ගොඩගසාගැනීම නිතරම මිනිස්සු කරනවා. කැමරාවක ඡායාරූප ගබඩාව වගෙ මේවා එකතුවෙලා තියෙනවා.

මේ මනස නැමැති කැමරාවට රූප ගන්න පුළුවන් කාච හයකින්. ඇස නැමැති කාචයෙන් ගන්නේ ලෝකයේ තියෙන රූපවල ඡායාරූප, කන නැමැති කාචයෙන් ගන්නේ ලෝකයේ තියෙන ශබ්දවල ඡායාරූප, නැහැය නැමැති කාචයෙන් ගන්නේ ගන්ධ නැමැති ඡායාරූප. දිව නැමැති කාචයෙන් ගන්නේ රස නැමැති ඡායාරූප. ශරීරය නැමැති කාචයෙන් ගන්නේ ස්පර්ශ නැමැති ඡායාරූප, මනස නැමැති කාචයෙන් ගන්නේ ධම්ම නැමැති ඡායාරූප, මේ කැමරාවේ මනස නැමැති කාචයට අනෙක් දොරවල් පහම සම්බන්ධයි. ඇස්, කන, නාසය, දිවන, ශරීරය කියන කාච පහෙන් ම ආවත් මනස නැමැති ඇතුල් කාචයෙන් තවත් ඇතුළට යන්න ඕනි. ඡායාරූප ගත වෙන්න මේ ඇතුලේ මනස නැමැති කාචය බාහිර කාචවල තනිවමත් ඡායාරූප ගන්න පුළුවන්. ඒත් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන කාචවලට ඇතුළෙ තියෙන මනස නැමැති කාචය නැතිව කිසිම ඡායාරූපයක් ගන්න බැහැ.

එනිසා සියලු ම ඡායාරූපවල ප්‍රධාන කාචය “මනස” නැමැති කාචයයි. ඉන්ද්‍රියන්ගේ ආධාරයෙන් හෝ ඉන්ද්‍රියයන්ගේ ආධාරයක් නැතිව ඇතුළත කාචයකින් හෝ ඇතුල් වූ ඡායාරූප ගබඩාවක එකතු වෙනවා. මේවා ලක්ෂ ගණනක් මතකයේ රැඳිලා තියෙනවා. ඒවා වෙන වෙනම ගබඩා හයක තියෙන්නෙ. එකක් රූප ගබඩාව, අනික ශබ්ද ගබඩාව, මේ විදියට ගන්ධ ගබඩාව, රස ගබඩාව, ස්පර්ශ ගබඩාව හා ධම්ම ගබඩාව කියල තියෙනවා. මේ ගබඩා තැන්පත් කරපු ඡායාරූප නැවත අවශ්‍ය වෙලාවක මතක කරල තෝරල ගන්න පුළුවන්.

සමහර ඒවා ඉක්මනට ගන්න පුළුවන්. ඒවා තමා ඉතාම ආශාවෙන් ගත්ත ඡායාරූප සමහර ඒවා ටිකක් අමතකයි. ඒත් ඒවා මතක් කරල සොයා ගන්න පුළුවන්. මේ ඔක්කොම ඡායාරූප ගබඩා හොඳට මනසේ ආරක්ෂා වෙලා තියෙනවා. කල්ගියාම ඒවා නරක් වෙන්නෙත් නැහැ. මිනිහා මැරුණත් රූප උපාදානස්කන්ධය ඉතිරි වෙනවා. ඒවා මිනිහාගේ හිතත් සමග පවතිනවා. නැවත ඒ මිනිහාටම ආපසු ලැබෙනවා. “කම්ම නියාම” ට අනුව ඒවා පිළිවෙළටයි ආපහු ලැබෙන්නේ.

අපි මේ එකතු කරන ඒවා කාමර හතක ගොඩ ගැහෙන්නේ. ඒක කාමරයක තියෙන ඒවා මේ ජීවිතයේ දීම විපාක හම්බ වෙනවා. ඒවාට කියන්නේ “දිට්ඨ ධම්ම වේදනීය” කියල තවත් කාමරයක් තියෙනවා. ඒකෙ තියෙන ඒවා දෙවෙනි භවයේ දී විපාක ලැබෙනවා. ඒවාට “උපපජ්ජ වේදනීය කම්ම” කියල කියන්නේ, අනෙක් කාමර පහේ තියෙන ගොඩවල් ඕනෑම වෙලාවක විපාක දෙන්න පුළුවන්. “අපරාපරිය වජ්ජකම්ම “ කියන්නේ ඒවාට යම්කිසි විදියකින් “දිට්ඨ ධම්ම වේදනීය” කම්ම කියන මේ ජීවිතයේ දී විපාක දෙන්න තියෙන කම්ම මේ ජීවිතයේදී විපාක නොදුන්නොත් ඒවා අහෝසිකම්ම වෙනවා. ඒ වගේම දෙවෙනි භවයේ දී විපාක දෙන්න ඕන උපපජ්ජ වේදනීය කම්ම දෙවන ජීවිතයේ දී විපාක නොදුන්නොත් ඒවත් දෙවෙනි භවයෙන් පස්සේ විනාශ වෙනවා. නමුත් අපරාපරිය වජ්ජකම්ම විනාශ වෙන්නේ නැහැ. කොහේදි හරි විපාක දෙන්න බලාගෙන ඉන්නවා.

රහත් වුනොත් නම් සියලුම කර්ම නැති කළ නිසා රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ “අහෝසි කම්ම” වෙනවා. නමුත් පාථග්ජන අය පසු පස කුසල හා අකුසල කර්ම ගමන් කරනවා. ඒ ඒ අයටම ඒ කර්මවල විපාක විඳින්න සිද්ධ වෙනවා. කර්ම විපාක දීමේ දී තවත් ලක්ෂණයක් තියෙනවා. එනම් ඒ ඒ කර්මවල ස්වාභාවය අනුව විපාකයත් වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ ඒ කර්ම කරන කොට රූප අල්ලා ගෙන තියෙන්නේ ඉතාම ශක්තිමත් කාචයක් (ලෙන්ස්) තියෙන කැමරාවකින්. ඉතාම සියුම් කාචය නිසා ඡායාරූපය ඉතා තදට වැදිලා තියෙනවා.

දැඩිව අල්ලා ගෙන තියෙන ඒ ඡායාරූප දෙවෙන භවයේදීම විපාක ලැබෙනවා. ඒවාට කියන්නෙ “ගරුක කම්ම” කියල. පංචානන්තර්ය කර්ම වන මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේලා මැරීම, බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ලේ සෙලවීම, සංඝ භේදය යන පහ ඉක්මණින් විපාක ලැබෙන ගරුක අකුසල කර්මයි. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි බුදුරජාණන් වහන්සේට දානය පූජා කිරීම ගරුක කුසල කර්මයක්.

සමහර කර්ම තියෙනව නිතරම කෙරෙන ඒවා. මේවා හොඳ නරක දෙකම වෙන්න පුළුවන්. ඒවාට කියන්නෙ “ආචිණ්ණ කම්ම” කියල. නිතරම ගන්නා ඡායාරූප වගේ ඒවාත් ගොඩගැහිල තියෙනව. ඒ ඡායාරූප ප්‍රමාණය ද වැඩියි. ඒ නිසා ගරුක කර්ම ළඟට බලවත් වන්නේ “ආචිණ්ණ කම්ම” යයි.

මරණය දක්වාම කර්ම රැස් කරන අය අවසානයේ මරණ මොහොතෙ කර්මයට කියන්නේ “ආසන්න කම්ම” කියල ඒක අන්තිමට ගන්න ඡායාරූපය වගෙයි.

වරින් වර ගන්නා විශේෂ ඡායාරූප වගේ, කරන කුසල අකුසල කර්මත් තියෙනවා. ඒවාට කියන්නෙ. “කටත්තා කම්ම” කියල ඒවත් ඒ ඒ අවස්ථාවල දී විපාක දෙනවා.

මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි

මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ධූතාංගධාරී භික්‍ෂූන් අතුරින් අගතැන්පත් මහ තෙරුන් වහන්සේ යි. බුදුරදුන් ගේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ වූ මුන් වහන්සේට ගෞතම බුදුසසුනේ ධර්මාධිකාරී තනතුර ද හිමි වී තිබුණි. “අනුබුද්ධ” යන ගෞරව නාමයෙන් ද මුන් වහන්සේ හඳුන්වනු ලැබේ.

බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද දිරා ගිය ඒ මහා පාංශුකූල චීවරය පෙරවීමට තරම් මහා භාග්‍යයක් ලැබුවේ මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි. එපමණක් නොව බුදු සිරිපා හිස මත තබා ගැනීමේ දුර්ලභ අවස්ථාව ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේට හිමි විය.

බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයේ පිහිටා තිබූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් මහා පුරුෂ ලක්‍ෂණ සතක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ශරීරයේ ද පිහිටා තිබුණි. උන් වහන්සේ බුදුරදුන්ට වඩා අඟල් සතරක් උසින් අඩු බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ.

බුදුරදුන් පිරිනිවන් පෑ පසුව පළමු ධර්ම සංගායනාව පවත්වා විසිරී තිබූ ධර්ම විනය එක්තැන් කොට ත්‍රිපිටකය සකස් කිරීමට මුල් වී ක්‍රියා කළේ ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි. උන් වහන්සේ වැඩ නොසිටියා නම් අද අපට පාලි ත්‍රිපිටකයක් නැත. සුත්‍ර පිටකයේ සංයුත්ත නිකාය භාරව කටයුතු කළේ මහා කාශ්‍යප මහ තෙරුන් ප්‍රධාන උන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසයි. සංයුත්ත නිකායේ සූත්‍ර හත්දහස් පන්සියයක් පමණ ඇත.

පළමු ධර්ම සංගායනාව

පළමු ධර්ම සංගායනාවෙන් පසුව මහා කාශ්‍යප මහ තෙරණුවෝ මගධාධිපති අජාසත්ත මහ රජතුමාගේ දායකත්වයෙන් රජගහ නුවර දී එක් ධාතු නිධානයක් කරවා සර්වඥ ධාතූන් වහන්සේලා ගේ ආරක්ෂාව සැලසූ සේක. සර්වඥයන් වහන්සේ ගේ ලලාට ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවීමට අවශ්‍ය කරන මූලික කටයුතු සම්පාදනය කළේ ද මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ යි.

10352381_858132640881501_8368320692138709518_nමහා කාශ්‍යප තෙරණුවෝ ඉතා සරල දිවියක් ගත කළ සේක. පිරිස අතර ගැවසීමට පි‍්‍රය නොකළ උන් වහන්සේ සමූහයා ගෙන් ඈත් වී කාත් කවුරුත් නැති මහ වනාන්තරවල සමවත් සුව විඳිමින් නිහඬ දිවියක් ගත කළ සේක. ඇතැම් විට උන් වහන්සේ වැඩ සිටියේ සොහොන්පිටිවල ය. නගරයට වැඩියේ කලාතුරකිනි. පැවිදි බව ලැබූදා පටන් පිරිනිවන් පාන තුරු උන් වහන්සේ ඇඳක පිට තැබුවේ නැත. උන් වහන්සේ ගේ උතුම් ගුණ නොයෙක් අවසථාවල දී බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රශංසාවට පවා ලක් විය. බුදුරදුන් භික්‍ෂු සංඝයාට නිතර වදාළේ මහා කාශ්‍යප තෙරුන් ආදර්ශයට ගන්නා ලෙසයි.

මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ අසරණ දුගී දුප්පතුන් මෙන් ම රෝගීන් කෙරෙහි දැක් වූයේ දැඩි අවධානයකි. රජමැදුරවලින් පමණක් නොව රටේ සුපිරි මහා ධනවත් බලවත් දායකයන් ගේ නිවාසවලින් දිව්‍ය භෝජන බඳු අතිප්‍රණීත දන් ලබාගැනීමට හැකියාව තිබිය දී ත් උන් වහන්සේ පිඬු සිඟා වැඩම කළේ අන්ත අසරණ දුගී දුප්පතුන් බහුලව ගැවසෙන මාර්ගවල ය. ඔවුන් ගේ අතුපැලවල් වෙත ය.

මහා කාශ්‍යප මහ තෙරුන් සමාපත්ති බහුල තෙරුන් වහන්සේ නමකි. උන් වහන්සේ නිරන්තරයෙන් ම සමාපත්තීන්ට සමවදිමින් වැඩ සිටියහ. උන් වහන්සේ කිසියම් නිවසකට පිඬු සිඟා වැඩියත් දොරටුව අසල දී සමාපත්තියට සමවැද ඉන් නැගී සිටිමින් ම දන් පිළිගනිති. උන් වහන්සේ මෙසේ කරන්නේ තමන් වහන්සේට දන් පුදන, වන්දනා කරන, පුදසත්කාර කරන ඒ අසරණ තැනැත්තන් ගේ පින තව තවත් බලවත් කිරීමට යි.

මහා තෙරුන්ට දන් පිදූ අසරණ දුගී මනුෂ්‍යයෝ බොහෝ දෙනෙක් මරණින් මතු සුගතියෙහි උපත ලැබූහ. ඇතැමුන්ට එහි යහපත් විපාක එම ආත්මභාවයේ දී ම ලැබුණි. මේ සියලු කරුණු නිසා මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ “දුප්පතුන් ගේ මුනිවරයා “ යනුවෙන් ද හඳුන්වනු ලැබේ.

මහා කාශ්‍යප මහ තෙරුන් සතුව පැවති මේ උතුම් ගුණ සමුදාය නිසා බොහෝ මනුෂ්‍යයෝ උන් වහන්සේ අතිශයින් ම පි‍්‍රය කළහ. මිනිසුන් පමණක් නොව බොහෝ දෙවියෝ ද උන් වහන්සේ පි‍්‍රය කළහ. උන් වහන්සේට ආදර ගෞරව දැක්වූහ. වරක් දෙවියන්ට අධිපති ශක්‍ර දේවේÁද්‍රයා දිව්‍ය විලාශයෙන් දන් පිදීමට ගිය හොත් මහ තෙරුන් දන් නොපිළිගන්නා නිසා තම බිරිඳ වූ සුජාතාව ද සමගින් හිඟන වෙස් ගෙන මහ තෙරුන්ට දිව්‍ය භෝජන පිදුවේය. මහා කාශ්‍යප තෙරුන් කෙරෙහි දේවතාවන් කෙතරම් සැලකිල්ලක් දැක්වූවා දැ’යි කිව හොත් උන් වහන්සේ වඩින තුරු බුදුරජුන් ගේ චිතකයට ගිනි දැල්වීමට පවා දේවතාවෝ ඉඩ නුදුන්හ.

විසිවැනි වියේ දී

මහා කාශ්‍යප මහ තෙරුන් පිරිනිවන් පෑවේ එකසිය විසිවැනි වියේ දී ය. උන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය උතුරු ඉන්දියාවේ “කුක්කුටසම්පාත” (කුක්කුටපාද) පර්වතය තුළ තවමත් සුරක්ෂිතව පවතී. මේ බව “සම්පිණ්ඩිතමහානිදාන” නමැති දුර්ලභ පාලි ග්‍රන්ථයේ මෙන්ම ෆාහියන් ගේ දේශාටන වාර්තාවේ ත් හියුං සියං භ්‍රමණවෘත්තාන්තයේ පැහැදිලි ව සඳහන් වේ. සැබවින් ම මෙය ලෝකවාසී කෝටි සංඛ්‍යාත සැදැහැති බෞද්ධයන් ගේ මහත් වූ පී‍්‍රති ප්‍රමෝදයට හේතුවකි. උන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය තැන්පත් ව ඇති කුක්කුටසම්පාත පර්වතය අද හඳුන්වන්නේ “ගුරුපාදගිරි” යනුවෙනි.

මහා කාශ්‍යාප මහ රහතන් වහන්සේ ගේ ශ්‍රී ශරීරය කුක්කුටසම්පාත පර්වතය තුළ තැන්පත් ව තිබුණත් උන් වහන්සේ ගේ එක් දළදාවක් ලක්දිව තුළ වැඩ සිටිති. නමුත් මෙය බොහෝ දෙනා නොදන්නා කරුණකි. මහා කාශ්‍යප දළදා වහන්සේ වැඩ සිටින්නේ බෙන්තර ගලපාත රජ මහා විහාරයේ ය. මේ බව චළවංශය, පූජාවලිය යන ග්‍රන්ථයන්හි පැහැදිලි ව සඳහන් ව ඇත. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ මේ දළදාව උන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ දී වැටුණු දළදාවකි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ජීවිත කථාව අතිශයින් ම විසිතුරු ය. උන් වහන්සේ ගේ ජීවිතයෙන් අප සැමට උගත හැකි දෑ බොහොමයකි. සරල චාම් දිවියක් ගත කිරීම, ලද දෙයින් සතුටු වීම, පහසුවෙන් පෝෂණය කිරීමට හැකිවීම, දුක්වේදනා ඉවසීම, නිහතමානී බව, පමණ දැන ගැනීම, දුප්පතුන්ට අසරණ රෝගීන්ට හැකි පමණින් පිහිට වීම, බොහෝ වැඩ කටයුතුවල නිරත නොවීම, හැකි සෑම විට ම භාවනා කිරිම, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියට ගිජු නොවීම, තමාට පැවරුණු කාර්ය නිසි පරිදි ඉටුකිරීම, වගකීම් පැහැර නොහැරීම, බුදුසසුනේ දියුණුවට හැකි පමණින් කටයුතුª කිරීම ඉන් කිහිපයකි.

ගයාන් චානුක විදානපතිරණ

කොළඹ මාලිගාකන්ද විද්‍යෝද පිරිවෙනේ ආචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්ය

Posted by: lrrp | July 4, 2014

මල් පිදීමේ අනුසස්

imagesඅප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහනුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය. එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මහා භික්ෂූ සංඝයා විසින් පිරිවරන ලදුව සවනක් ඝන බුදුරැස් මාලාවන් විහිදුවමින් මහත් වු බුද්ධානුභාවයෙන් බුද්ධලීලාවෙන් පිඬු පිණිස රජගහනුවරට වන් සේක.

රජුට සමන් මල් අට නැළියක් ගෙන යන්නා වූ සුමන මල්කරු ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනුව්‍යඤ්ජනයෙන් ශෝභාවත් වූ රුවන් පහන් ගසක් වැනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය දැක, අතිශය පහන් වූ සිත් ඇත්තේ කුමකින් තථාගතයන් වහන්සේට පූජාවක් කරන්නෙම්දෝ යි සිතනුයේ පූජා කිරීමට අන් දෙයක් නො දක්නේ රජුට ගෙන යන්නා වූ මේ මලින් තථාගතයන් වහන්සේ පුදමියි සිතා නැවත “දිනපතා රජුට ගෙන යන මේ මල් නො ගෙන ගියහොත් රජු කිපී මා සිර කරන්නට ද පිළිවන, රටින් නෙරපන්නට ද පිළිවන, මරන්නට ද පිළි වෙන, එහෙත් කරන්නට දෙයක් නැත, රජු මට කරන දෙයක් කරාවා, මේවා රජුට ගෙන යාමෙන් ඔහු මට දෙතත් දෙන්නේ මේ ආත්ම භාවයේ ජීවත් වීමට තරම් සුළු දෙයකි. මේ මලින් බුදුන් වහන්සේ පිදුව හොත් මට එය අනේක කල්ප කෝටීන්හි සැපගෙන දෙන පිනක් වන්නේ ය.

ඒ නිසා වන්නක් වේවා. මේ මල් මම බුදුනට ම පුදමි” යි සිතා පළමුවෙන් මල් දෙමිටක් ගෙන තථාගතයන් වහන්සේ දෙසට විසි කළේ ය.

ඒ මල් එකකුදු බිම නොවැටී තථාගතයන් වහන්සේ මතුයෙහි අහස්හි වියනක් මෙන් සැදී සිටියේ ය. එය දැක අතිශයින් පහන් වූ සුමන තවත් මල් දෙමිටක් ගෙන බුදුරදුන් දෙසට විසි කළේ ය. ඒ මල් බුදුරදුන් දකුණු පසින් තිරයක් මෙන් සෑදී අහස්හි සිටියේය. තවත් දෙමිටක් විසි කෙළේය. ඒවා තථාගතයන් වහන්සේ පිටිපසින් තිරයක් සේ සෑදී සිටියේ ය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේගේ වම් පසින් තිරයක් සේ සෑදී සිට ගත්තේ ය.

බුදුරජාණන් වහන්සේ රිදීපටින් වසන ලද්දකු සේ ඉදිරියට වැඩම කළහ. මල් ද එකකුදු නො වැටී නො විසිරී තථාගතයන් වහන්සේ අනුව ගියේය. තථාගත ශරීරයෙන් නික්ම උන් වහන්සේ වටා තුන්යලක් ගමන් කොට ඉදිරියට දුවන්නා වූ බුදුරැස් දහරාවන් නිසා ඒ මල් වඩාත් ශෝභාවත් විය. ඒ ප්‍රාතිහාර්යය දැක සතුටට පත් මහජනයා ඔල්වරසන් නඟමින් සළු උඩ දමමින් සළු හිසවට කරකවමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගමන් ගත්හ. තථාගතයන් වහන්සේ ද මල්කරුගේ ගුණය ප්‍රසිද්ධවනු පිණිස නගරයේ ප්‍රධාන මාර්ගයේ ම ගමන් කළහ.

මල්කරුගේ සකල ශරීරය පස්වනක් ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේය. ඔහු මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට මනෝසිලා රසයෙහි ගැලෙන්නාක් මෙන් බුදුරැස් තුළට වැද උන් වහන්සේට ස්තුති කොට වැඳ හිස් පැස ගෙන ගෙදර ගියේ ය.

ඔහු හිස් පැස ගෙන ගෙදර ගිය කල්හි භාර්යාව “මල්වලට කුමක් කෙළෙහි දැ”යි ඇසීය. “තථාගතයන් වහන්සේට පිදුවෙමි” යි මල්කරු කීය. “දැන් රජුට කුමක් කරන්නෙහිද”යි භාර්යාව ඇසූ කල්හි “රජු මට කරන දඬුවමක් කෙරේවා යි ජීවිත පරිත්‍යාග කොට මම මල් පිදුවෙමියි” කියා සිදුවූ සියලු ප්‍රාතිහාර්්‍යය ද ඇයට කීය. ඈ බිය වී සැමියාට ද බැණ වැදී දරුවන් ද ගෙන රජු වෙත ගොස්, “දේවයන් වහන්ස, මාගේ සැමියා නුඹ වහන්සේට ගෙනෙන මල් බුදුරදුන් පුදා හිස් පැස ගෙන ගෙදර ආයේය. මා විසින් මල්වලට කුමක් කළෙහිදැයි අසූ කල්හි ඒ බව මට කීයේ ය.

10482525_690789260958312_3535591432254438126_nඔහු කළ වරදින් මටත් විපතක් වේදෝයි මම ඔහු හැර දරුවන්ද ගෙන නුඹ වහන්සේ වෙත පැමිණියෙමි. දේවයන් වහන්ස, ඔහු කළ දෙය යහපතක් ද, නපුරක් ද කියා මම නො දනිමි. එය කුමක් වුවත් එය ගැන මගේ සම්බන්ධයක් නැත. මම ඔහු අත්හැර දැමීමි” යි කීවාය. රජතුමා බුදුරදුන් ගේ ප්‍රථම දර්ශනයේ දී ම සෝවාන් ඵලයට පැමිණි ආර්ය ශ්‍රාවකයෙකි. එතුමා මේ අනුවණ ගැහැනියට මෙතරම් මහත් ප්‍රාතිහාර්යයකදී ද සිත පහදා ගත හැකි නොවී යයි සිතා, කිපුණු ආකාරයක් දක්වා “කිමෙක්ද මට ගෙනා මල් තිගේ සැමියා බුදුනට පිදුවේ දැ”යි ඇසීය. “එසේය, දේවයන් වහන්ස” යි පිළිතුරු දුන්නීය. එකල්හි රජතුමා “ඒ මිනිසා හැර දැමීමෙන් තී කළ දෙය ඉතා යහපති, මාගේ මල් පූජා කළහුට කළ යුත්ත මම දනිමි”යි කියා ඇය පිටත් කර හැර වහා ගොස් ඒ ප්‍රාතිහාර්ය නරඹමින් තථාගතයන් වහන්සේ සමඟ ම ගමන් කෙළේය.

ශාස්තෘන් වහන්සේ රජුගේ ප්‍රසාදය දැක අණබෙර හසුරුවන වීථියෙහි ම ගමන් කොට රජගෙදර සමීපයට පැමිණි සේක. රජතුමා පාත්‍රය ගෙන තථාගතයන් වහන්සේ රජමැදුරට වැඩමවා ගන්නට සිතුවේය. තථාගතයන් වහන්සේ රජමිදුලෙහි ම වැඩ හිඳිනු කැමති ආකාරය දැක්වූහ. රජතුමා ලෝකනාථයන් වහන්සේ ගේ අදහස දැන වහ වහා එහි මණ්ඩපයක් කරවීය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හා එහි වැඩහුන් සේක. තථාගතයන් වහන්සේ රජගෙට නො වැඩ එළිමහනෙහි ම වැඩ සිටියේ මල්කරුගේ ගුණය මහජනයා අතර වඩාත් ප්‍රකටවනු පිණිස ය. රජතුමා බුදුන් ප්‍රමුඛ මහා සඟනට දන් දිණ. තථාගතයන් වහන්සේ වළඳා අවසානයේ අනුමෙවෙනි බණ වදාරා පළමු පරිදි ම මල් වියන් මල්තිර තිබිය දී ම මහ පෙරහරින් මහජනයා සමඟ ම වෙහෙරට වැඩම කළ සේක. උන්වහන්සේ ගඳකිළියට පිවිසෙන කල්හි ඒ මල් ගඳකිළිය දොරකඩ වැටිණ.

රජතුමා මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට නැවතී මල්කරුවා ගෙන්වා “නුඹ මට ගෙනෙන මල් කුමක් සිතා බුදුනට පිදුවෙහි දැ”යි ඇසීය. “එකෙණෙහි මට ඇති වු බලවත් චිත්ත ප්‍රසාදය නිසා රජ්ජුරුවන් වහන්සේ මා මරතොත් මරත්වා රටින් නෙරපතොත් නෙරපත්වා යි ජීවිතය පරිත්‍යාග කොට ඒ මල් පිදුවෙමි”යි මල්කරු කීය. රජතුමා ඔහුගේ ක්‍රියාව ගැන පැහැදී “නුඹ මහා පුරුෂයෙකැයි”යි ඔහුට පවසා ඇතුන් අටදෙනෙකුන් ද, අසුන් අට දෙනකුන් ද, දාසයන් අට දෙනකුන් ද, දාසියන් අට දෙනකුන් ද, මහාර්ඝ පළඳනා ද, කහවනු අට දහසක් ද, සර්වාලංකාරයෙන් සැරසූ කාන්තාවන් අට දෙනකුන් ද, ගම් අටක් ද යන මේ සියල්ල ඔහුට ප්‍රදානය කෙළේය. සියල්ලෙන් අට බැගින් ඇති බැවින් සර්වාෂ්ටක නම් වූ ඒ පරිත්‍යාගය මල්කරු ඒ පූජාවෙන් එදින ම ලැබූ අනුසස් ය.

ආනන්ද ස්ථවිරයන් වහන්සේ “සුමන මල්කරුගේ පූජාව නිමිත්තෙන් අද උදෑසන පටන් ම මහා ප්‍රීති ඝෝෂාවක් පවත්නේය. ඔහුට ඉන් ලැබෙන්නා වූ විපාකය කුමක් දෝයි තථාගතයන් වහන්සේගෙන් අසමි”යි සිතා උන්වහන්සේ වෙත එළඹ “මල්කරුට ඒ පූජාවෙන් වන විපාක කවරේද”යි ඇසූහ. “ආනන්දය! මේ මල්කරු විසින් කරන ලද්ද සුළු කොට නො සිතව. හෙතෙමෙ මාහට දිවි පුදා ඒ පූජාව කෙළේ ය. හෙතෙමේ මා කෙරෙහි ඇති කරගත් ඒ චිත්ත ප්‍රසාදයෙන් කල්ප ලක්ෂයක් දුර්ගතියකට නො පැමිණෙත් ය. එතෙක් කල් ඔහු දෙව් මිනිස් සැප විඳ අන්තිමේදී සුමන නම් පසේ බුදු වන්නේ ය”යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

(මේ කථාව දම්පියා අටුවාවෙන් ගන්නා ලදී)

01. සිවුරු – වස්ත්ර දානයේ අනුසස්

දස්සානි සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
අට්ඨානිසංසේ අනුභොමි
කම්මානුච්ඡවිකේ මම

ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්රමුඛ ලක්ෂයක් මහා සංඝයා වහන්සේට දිනකට දහස බැගින් දිනපතා සියක් දිනක් පුරා දන් දීමේදී සෑම භික්ෂූන් වහන්සේ නමකටම චීවර සඳහා වස්ත්ර පූජා කෙළෙමි. ඒ පිනේ බලයෙන් උපනුපන් ආත්මභාවයන්හිදී ආනිශංස අටක් ඒ කුශල කර්මයට අනුරූපව මට ලැබුණේය.

සුවණ්ණ වණ්ණෝ විරජෝ
සප්පහාසෝ පතාපවා
සිනිද්ධං හෝති මේ ගත්තං
භවේ සංසරතෝ මම

උපනුපන් ආත්මභාවයන්හිදී රන්වන් පාටින් යුත් ශරීර ඇත්තෙක් වීමි. ප්රතාපවත් වූ ද සිත් පිනවන පි්තරයශීලී ස්වරූපයකින් යුක්ත වූ ද ශරීර ලැබීමි. එනිසාම හැම තැනකදී ම ජනාදරයට පත්වූ පුද්ගලයෙක් වීමි.

දුස්සසතසහස්සානි
සේතා පීතා ච ලෝභිතා
ධාරෙන්ති මත්ථකේ මය්හං
දුස්සදානස්සිංද ඵලං

භවයෙහි උපත ලද සෑම ආත්මභාවයකදී ම වර්ණවත් විවිධ පාටින් යුත් අගනා වස්ත්ර ලක්ෂ ගණනින් මට ලැබෙන්නට විය. එයින් ප්රමාණවත් පරිදි මම ද පරිහරණය කරමින් අඹුදරු ඥාති මිත්රාදීන්ට අගහිඟකම් ඇති අයට ද පරිත්යාග කෙළෙමි. එයින් මා ලද මානසික සහනය කියා නිම් හිම් කළ නොහැකි තරම් ය.

02. සැරයටි, කිහිලිකරු, රෝද පුටු පූජා කිරීමේ අනුසස් හය

පුත්තා මය්හං බහු හොන්තී – තාසෝ මය්හං න විජ්ජති
අප්පසය්හෝ සදා හෝමි – සබ්බාරක්ඛේහි රක්ඛිතෝ
ඛලිතම්පි න ජානාමි – අහන්තං මානසං මම

1. සෑම ආත්මභාවයකදීම යහපත් කීකරු දරුවන් ලැබීම.
2. කවර කරුණක් නිසාවත් තැතිගැනිමක් ඇති නොවීම.
3. සතුරන් විසින් සිදුකරනු ලබන විපත්තිවලින් වුවද තමන්ට හොඳක්ම වීම.
4. පින විසින් ම තමා ආරක්ෂා කිරීම.
5. තමන්ගෙන් තව කෙනෙකුට වරදක් නොවීම.
6. සිතේ පසුතැවිලි ගති ඇති නොවීම.

03. බෙහෙත් පිදීමේ ආනිශංස දහය

භේසජ්ජං සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දනානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

ආයුවා බලවා වීරෝ – වණ්ණවා යසවා සුඛී
අනුපද්දවෝ අනීතීච – හෝමි අපචිතෝ සදා
න මේ පියවියෝගත්ථි – තස්ස නිස්සන්දතෝ මම

බුදුරජාණන් ප්රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් භවයේදී ලැබූයෙමි.

1. දීර්ඝායු සම්පත් ලැබීම.
2. ශරීර ශක්තිය ලැබීම.
3. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.
4. පැහැපත් වර්ණයකින් යුක්ත වීම.
5. යහපත් කීර්ති රාවයක් ඇත්තෙකු වීම.
6. ශරීර සැපය ලැබීම.
7. කවර උපද්රවයකටවත් හසු නොවන්නෙකු වීම.
8. අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
9. කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10. තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීම – එවැනි පි්තරය විප්රයෝග දුකකට පත් නොවීම.

04. පාවහන් පූජාවේ ආනිශංස පහ

1. උපනුපන් ආත්මභාවයන්හිදී අශ්වවාහන, ඇත්වාහන සහ දෝලා, සිවිකාදිය ද ගමන් බිමන් සඳහා ඒ ඒ කාලවලදී පැවති විවිධ යාන වාහන ලැබීම.
2. පයට පහසුව ගෙනදෙන අගනා පාවහන් ලැබීම.
3. කිසිදු ආත්මභාවයකදී දෙපයේ සහ පතුල්වල රෝගාබාධයක් ඇති නොවීම.
4. අහසින් යාම බඳු සෘද්ධි බල ලැබීම.
5. උපනුපන් ආත්මභාවයන්හිදී දර්ශනීය පාද යුග්මයක් ලැබීම.

05. ඡත්ර කුඩ පූජාවේ ආනිශංස

ඡත්තේ සුගතෙ දත්වා
සංඝේ ගණවරුත්තමේ
අට්ඨානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

බුදුරජාණන් වහන්සේ ප්රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට සියක් දිනක් පුරා දහස දහස බැගින් දන්දීමේ අලංකාර ඡත්ර – කුඩ එක නමට එක බැගින් සවි කෙළෙමි. එයින් මම සසර පුරා ආනිශංස අටක් සෑම ආත්මභාවයකදී ම මේ ඡත්ර පූජාවෙන් ලැබූවෙමි.

සීතං උණහං න ජානාමි – රජෝජල්ලං න ලිම්පති
අනුපද්දවෝ අනීතී ච – හෝමි අපචිතෝ සදා

කිසිම ආත්මයක දී සීතෙන් හෝ උෂ්ණත්වයෙන් පීඩා නො ලැබූවෙමි. කවදාවත් අධික සීත ඇති රටක, කවදාවත් දැඩි ඌෂ්ණය ඇති රටක උපතක් සිදු නොවිනි.

මාගේ ශරීරයෙහි කුණු ඇලෙන ගතියක් නැත. ඒ නිසා දහදිය වැගිරීමක් ද නැත. උවදුරකට මුහුණ දීමට සිදු නොවිනි. සැමදා ගිය ගිය තැන සැමගේ ගෞරව ලබන කෙනෙක්වම සිටියෙමි.

සුඛුමච්ඡවිකෝ හෝමි – විසදං හෝති මානසං
සත්ත සතසහස්සානි – භවේ සංසරතෝ මම

ඉකුත් කල්ප ලක්ෂය පුරාම පින්කම නිසා උපනුපන් ආත්මභාවයන්හිදී සිනිදු එසේම පිරිසිදු වර්ණවත් ශරීරයක්ම ලැබීමි.

උපනුපන් තන්හිදී අලංකාර ඡත්ර, අලංකාර නිවාස ලැබීමට මේ පුණ්යකර්මය මට හේතු විය. ප්රධානත්වය – මූලිකත්වය සැමතැනදී ම ලදිමි.

06. ආහාර පාත්ර – භාජන පිදීමේ අනුසස් දහය

පත්තේ සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දසානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

බුදුරජාණන් වහන්සේට ද මහා සංඝයා වහන්සේට ද පාත්ර සහ ආහාර ගැනීමේදී උවමනා කරන අනෙකුත් භාජන උපකරණ පූජා කිරීම නිසා ඊට අනුකූල වූ ආනිශංස දහයක් සසර උපදින උපදින ආත්මභාවයක් පාසා ම ලැබුවෙමි.

1. රන් රිදී භාජන සහ අගනා පිඟන් කෝප්පාදී භාජන ලැබීම
2. ආහාර පාන ගැනීමේදී කැස්ස – හිරවීම, දිව තොල හැපීම් බඳු උපද්රව ඇති නොවීම.
3. ඉතා පහසුවෙන් ආහාර පානාදිය ලැබීම.
4. සැමදා කාගේත් ගෞරවයට පාත්රවීම.
5. දේපළ ගින්නෙන්, ජලයෙන්, කෘමීන් ආදී සතුන්ගෙන් විනාශ නොවීම.
6. චංචල බවින් තොර ස්ථිර අදහස් ඇත්තකු වීම.
7. සැමදා ධර්මයට කැමැත්තකු වීම.
8. කෙළෙස් අඩු ගතිය.
9. කාගේත් හිත් දිනාගත හැකි වීම.
10. දෙව් මිනිස් දෙගතියෙහි විවිධ සම්පත් ලැබීම.

තම ශ්රමය යොදා දානාදිය පිළියෙළ කිරීම නිසා ආනිශංස පහක් ලැබූවෙමි

1. කීකරු යහපත් සේවක කාරකාදීන් ලැබීම.
2. ගව මහීසාදී සම්පත් ලැබීම.
3. තමනට ලැදි ආරක්ෂක – මෙහෙකරුවන් ලැබීම.
4. ප්රණීත ලෙස ආහාර පාන පිසිය හැකි සේවක සේවිකාවන් ලැබීම, තමන්ටද ප්රනීත ලෙස ආහාර පිසීමට හැකිවීම.
5. පිරිසිදු දර්ශනීය ආහාර පිසින මුළුතැන්ගෙවල් ලැබීම. අන් අය යොදා නම නියම නො කොට ඔවුනුත් සමඟ තමාත් වෙහෙසීමෙන් දන් පිළියෙළ කිරීම නිසා ලැබූ ආනිශංස පස මෙයින් කියැවේ.

07. අභය දානයේ – මරණ භය නැති කිරීමේ අනුසස්

අභයදානං දත්වාන – ජත්තුනෝ භයතජ්ජිතේ
දසානිසංසේ අනුහොමි – කම්මානුච්ඡවිකෙ මම

භාග්යවත් බුදුරජාණන් වහන්ස, බොහෝ ආත්ම භාවයන්හිදී මම මරණයට කැප වූ, භයින් තැතිගත් සතුන් කරුණාවෙන් යුතුව මරණ භයින් මුදවාලීමි. එහි කුසල විපාක වශයෙන් සසර වසනාතුරා මේ නිවන් ලබන ආත්මය දක්වාම ආනිශංස දහයක් ලැබූවෙමි.

1. උපනුපන් ආත්ම භාවයන්හි දී කිසිදු මාරක බන්ධනයකට අසු නොවීම.
2. නිරෝගී සම්පත්තිය ලැබීම.
3. දීර්ඝායු සම්පත්තිය ලැබීම.
4. රාජ රාජ මහාමාත්ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතුව උපත ලැබීම.
5. දිව්යලෝක, බ්රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම.
6. කීකරු පුණ්යවන්ත පි්කරයශීලී අඹු දරුවන් ලැබීම.
7. තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවක කාරකාදීන් ලැබීම.
8. සෑම තැනකදීම උසස් පුද්ගලයකු සේ කැපී පෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම.
9. උගත් නූගත්, දුප්පත් පොහොසත්, බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම.
10. ඒ අභය දානමය පිනේම ශේෂ වූ ආනිශංස වශයෙන් පංච අභිඥා, අෂ්ඨ සමාපත්ති ලාභීව මහරහතන් බවට පත්වීමට හැකිවීම.

මෙම ලිපිය අන්තර්ජාලය තුළින් උපුටාගත් ධර්මකරුණු ඇතුලත් කර සකස්කරන ලද ලිපියකි .

මනෝමය කාය නිර්මාණය කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබූ චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

රජගහනුවර ධනවත් හා කීර්තිමත් සිටුපවුලක්‌ විය. මෙම සිටුපවුලට සිටියේ රූමත් දියණියක්‌ පමණක්‌ම නිසා ඇයට ආදරයෙන් නම් අඩුවක්‌ වූයේ නැත. දියණිය යොවුන් වියට එළඹි පසු ඇය රැකගනුවස්‌ මා පියවරු කෙතෙක්‌ උත්සහ කළද ඇගේ ප්‍රේමය දිනාගත්තේ සිටුමැදුරේ කඩවසම් මෙහෙකරුවෙකි. නොබෝකලකින් ඇය ඔහු හා පැන ගියාය. සිටු මා පියන් ඇය මියගියා යෑයි සලකා ඇයව සිටුපවුලෙන් ඉවත් කළෝය. සිටුදියණිය දැන් තම දුප්පත් සැමියා සමග ආදරයෙන් දුක සැප සමව බෙදා ගනිමින් ජීවන තරගයේ යෙදෙන්නේ තම කුලුඳුල් දරුවා ලැබීමේ කාලයට ළඟා වූවාය. දැන ඇයට තම මව් සෙනෙහස අවැසිය. ඇය සැමියා සමග තම මව වෙත යන්නේ අතරමගදී දරුවා බිහිවිය. ඔවුන් මහ මග උපන් දරුවාට “පන්ථක” යෑයි නම් තැබූහ. කාලය වේගයෙන් ගලා යයි. දැන් ඇය තම දෙවෙනි දරු උපතටද සූදානම්ය.

ඇය තම සැමියා සමග මව වෙත යන්නේ අතර මගදී දෙවන දරුවාද බිහිවිය. ඔවුන් තම පුංචි සුරතලාටද නම තැබුවේ “පන්ථක” කියාය. දැන් වැඩිමලා මහා පන්ථකය. පුංචි පුතා චුල්ල පන්ථකය. නොබෝ කලකින් මේ සුරතල් දරුවන් දෙදෙනාට තම මුතුන්මිත්තන් දැකීමට සිත්විය. අසල්වැසි ගම්දරුවන් සමඟ සෙල්ලම් කරන මහාපන්ථක කුමරා ඔවුන් බාප්පා, මුත්තා, අත්තම්මා කියනු අසා ”අපට නෑයෝ නැද්දැ” යි මවගෙන් ඇසීය. ”රජගහනුවර මහධන සිටාණෝ නුඹගේ මුත්තණුවෝය. එහි බොහෝ නෑයෝ වෙතී” යි මව කීවාය. එහි නොයාමට හේතු පහදා දුන් නමුත් දරුවන්ගේ ඇවිටිලි බොහෝ වූ හෙයින් රජගහ නුවරට යාමට තීරණය කළහ .

එසේ ගිය පසු නුවර දොරටුවෙහි නවාතැන් ගත් ඔවුහු තමන් ආ බව දන්වා යැවූහ. මවුපියෝ ඒ අසා ”මුන් දෙදෙනා අපගේ වංශයට හානි කළහ. මහත් අපරාධයක් කළහ. අපේ ඇසට පෙනෙමින් ළඟ නොසිටිය යුතුය” කියා කැමති තැනෙක ගොස් ජීවත් වීමට වස්තු සම්පත් දෙවා සිටු යුවල චුල්ල පන්ථක හා මහා පන්ථක තම සිටුමැදුරේ නවතා ගැනීමට කැමති වූහ. දැන් ඔවුන් දෙදෙනා ජීවත්වන්නේ තම ආච්චි හා සීයා භාරයේය. තම සීයා සමග නිතර බණ ඇසීමට වෙහෙරට යන මහාපන්ථක තම සීයාගෙන් අවසර ගෙන පැවිදි විය. උන්වහන්සේ නොබෝ කලකින් විදසුන් වඩා රහත් වූහ.

ටික දවසක් යනකොට පොඩි පන්ථක (චුල්ලපන්ථක) ටත් ගිහි ජීවිතය එපා විය . මහණ වෙලා ඉන්න අයියා ගත කරන ශාන්ත පැවිදි දිවිය දකින කොට චුල්ල පන්ථකට මහණ වීමට සිතක් ඇතිවිය . මේ අනුව චුල්ලපන්ථක, මහා පන්ථක හාමුදුරුවන්ගේ පන්සලට ගිහින් මහණ වූහ . මල්ලියි කියල මහා පන්ථක හාමුදුරුවන්ගෙන් චුල්ල පන්ථක හාමුදුරුවන්ට වෙනසක් ලැබුණේ නැත . මහණ වෙච්ච දවසෙ ඉඳලා කාල සටහනක් අනුව වැඩ කරන්නත් ගාථා කට පාඩම් කරන්නත් පන්ථක පොඩි හාමුදුරුවන්ට සිදු වූහ.

මහා පන්ථක හාමුදුරුවෝ

“පදුමං යථා කොකනදං සුගන්ධං
පාතො සියා ඵුල්ල මවීත ගන්ධං
අංගීරසං පස්ස විරෝචමානං
තපන්ත මාදිච්ච මිවන්ත ලික්ඛෙ”

යන ගාථාව කට පාඩම් කරන්න යැයි චුල්ලපන්ථක හාමුදුරුවන්ට උගැන්වූහ. ගාථාවේ පදයෙන් පදය අර්ථය සමග වටහා දුන්හ. එහෙත් පොඩි පන්ථක හාමුදුරුවන්ටට කට පාඩම් කරන එක සිතට වද දෙන වැඩක් විය. දස දහස් වාරයක් පාඩම් කළත් එක පදයක් හෝ මතක තබා ගැනීමට නොහැකි විය.

මාස හතරක් තිස්සේ උත්සාහ කළත් එක අකුරක් හෝ මතක තබා ගත නොහැකි විය.

මහා පන්ථක හිමියෝ පොඩි පන්ථක කැඳවූහ.

“පන්ථක ඔයාට මහණකම් හරියන්නේ නැහැ. එක බණ පදයක් මතක තියා ගන්න බැරිව මොන මහණකමද? මටත් ලැජ්ජයි. මහණකම් කෙසේ වෙතත් ගිහිකම් නම් හරියාවි. ඒ නිසා ඔයා ගෙදර යන්න.”

මේ අතර ජීවක වෙද මහතා පන්සලට පැමිණ, බුදුන් ප්‍රධාන මහ සඟනට පසුවදා දහවල් දනට ආරාධනා කළේය. මහා පන්ථක හිමියෝ චුල්ල පන්ථක හිමියන් හැර ජීවක ආරාධනාව පිළිගත්හ. ඒ බව දැනගත් චුල්ල පන්ථක හාමුදුරුවන්ගේ කනගාටුව, ශෝකය, කලකිරීම තව තවත් වැඩිවිය.

එක මොහොතක් හෝ මේ පන්සලේ නොරැඳෙමි යැයි සිතූ චුල්ල පන්ථක හිමියෝ පහුවෙන්දා උදෙන්ම පන්සලෙන් පිටත් වූහ. මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝකය දෙස බලන බුදු පියාණෝ කලකිරී ගෙදර යන චුල්ල පන්ථක පොඩි හිමියන් දුටු සේක. පා සිවුරු ගත් බුදු පියාණෝ පන්ථක පොඩි හාමුදුරුවන් යන මගට සෘද්ධියෙන් වැඩියෝය.

“පන්ථක කොහෙද මේ යන්නෙ?”

බුදුපියාණෝ විමසූහ.

“අයියා කිව්වා මට මහණකම් කරන්න බැරි බව. ඒ නිසා මං ගෙදර යනවා බුදුහාමුදුරුවනේ”

මහා කරුණාවෙන් ළතෙත් සිතැති මහා ශාන්ති නායකයාණෝ චුල්ල පන්ථක පොඩි හාමුදුරුවන්ගේ හිස පිරිමදිමින් මෙසේ වදාළහ.

“පන්ථක අයියට බෑ නුඹ ගෙදර යවන්න. ගාථා පාඩම් කර ගන්න මහන්සි වෙන්න ඕනෙ නැහැ. නුඹට එක දෙයක් කරන්න පුළුවන්ද?”

“ඒ මොකක්ද, බුදුහාමුදුරුවනේ?,,”

“පන්ථක ඔබට සිත හදා ගන්න පුළුවන්ද?”

“පුළුවන් බුදුහාමුදුරුවනේ”

ඉන්පසු බුදුහාමුදුරුවෝ සුදුරෙදි කැබැල්ලක් දී එය කිලිටි හරිමි, කිලිටි හරිමි යි කියමින් අත්ලේ පිරිමදින්නැයි පන්ථක හිමියන්ට කීහ. පන්ථක පොඩි හාමුදුරුවෝ බුදුපියාණන් වදාළ පරිදි කමටහන ක්‍රියාත්මක කළහ. ක්‍රමයෙන් අත්ලේ පිරිමැදි රෙදි කෑල්ල කිලිටි වන්නට විය.

ඒ කෙරේ සිහිය ඇති කරගත් පන්ථක හිමියෝ, පෙර වැඩූ කුසල් ඇත්තේ සිතේ කිළිටි ස්වභාවයත්, සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවයත් මැනවින් තේරුම් ගෙන සියලු කෙලෙසුන් නසා රහත් බව ලබා සියලු දුකින් මිදුණෝය.

චුල්ලපන්ථක තෙර පෙර භවයෙක රජෙක්ව ඉපද නුවර පැදකුණු කරන වේලෙහි නළලින් ඩාදිය පිරිසිදු සළුවෙන් පිසදැමීය. සළුව කිලිටි විය. මේ අපවිත‍්‍ර ශරීරය නිසා පවිත‍්‍ර සළුව කිලිටි විය. ඒ හේතුවෙන් උපන් සියල්ල මෙසේ අනිත්‍යතාවයෙන් යුක්තය කියා ඇති වූ අනිත්‍ය සංඥාවට මෙකල රජෝහරණය ම උන්වහන්සේට රහත්වීම සඳහා හේතු වූයේය.

ජීවක භාග්‍යවතුන් වහන්සේට පැන් පිළිගැන්වීය. උන්වහන්සේ ආරාමයේ තව භික්ෂූහු සිටිති” යි යි අතින් පාත‍්‍රය වැසූ සේක. මහාපන්ථක තෙර ”ස්වාමීනි, විහාරයෙහි භික්ෂූහු නැතැ” යි කීය. භාග්‍යවතුන් වහන්සේ ‘ඇති නැති බව දැන එව’ යි මිනිසකු යැවූහ. චුල්ලපන්ථක තෙරණුවෝ ”මාගේ සොහොයුරාණන්ට භික්ෂූන් ඇති බව පෙන්වමි” සිතා සිවුරු මහන, සිවුරු හෝදන, සිවුරු පඬු පොවන, පාඩම් කරන දහස් ගණන් භික්ෂූන් අඹවනය පුරා මැවූහ. ඒ පුරුෂයා දිවගොස් ‘අපමණ භික්ෂූහු සිටිතැ’ යි සැල කලේය. ”චුල්ලපන්ථක කැඳවා ගෙන එව” බුදුන් වදාළ කල්හි එහි ගිය පුරුෂයා ‘චුල්ලපන්ථකයන් කැඳවති’ කීය. සියල්ලෝම ”මම චුල්ලපන්ථක වෙමි. මම චුල්ලපන්ථක වෙමි” නැගී සිටියහ. ඔහු ගොස් ඒ බව සැල කලේය. ”එසේ නම් පළමු කීවහු අතින් අල්වා ගන්න. එවිට සෙස්සන් අතුරුදහන් වෙති” වදාළහ. එපරිද්දෙන් චුල්ලපන්ථක තෙරුන් කැඳවාගෙන ආපසු දන් වළඳා අනුමෙවෙනි බණ දෙසීම පන්ථක තෙරුන්ට පවරා විහාරයට වැඩි සේක.

සවස් වේලෙහි දම් සභාවට රැුස් වූ භික්ෂූන් වහන්සේ මේ පුවත මුල්කොට බුදුරජාණන් වහන්සේගේ ගුණ කථා කියමින් හුන්හ. එහි වැඩි භාග්‍යවතුන් වහන්සේ ”චුල්ලපන්ථක දැන් මා නිසා ධර්ම මහත්වයට පැමිණියේය. පෙර මා නිසා භෝග මහත්වයට පැමිණියේය” යි වදාළ සේක. මෙසේ මහ රහත් බවට පත් වූ චුල්ල පන්ථක හිමියන්ට ගාථා පදයක්වත් කටපාඩම් කරගත නොහැකි වූයේ ඇයි දැයි භික්ෂූන් වහන්සේලා බුදුපියාණන්ගෙන් ප්‍රශ්න කළහ.

එවිට මහා ශාන්ති නායකයාණෝ මෙසේ චුල්ල පන්ථක මහ රහතන් වහන්සේගේ අතීත කථාව පැහැදිළි කළහ.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලයේදී පැවිදි ජීවිතයක් ගතකළ චුල්ල පන්ථක හිමියෝ එකල වියත් තෙරණු කෙනෙක් වූහ. ඉගෙනීමෙහි දක්ෂ වූහ. එහෙත් උන්වහන්සේ වැඩසිටි පන්සලේ නුවණ මද, උගනීමෙහි අදක්ෂ, පාඩම් නොසිටින ස්වාමීන් වහන්සේ නමක් වූහ. එකල පණ්ඩිතමානි වැනි වූ චුල්ල පන්ථක හිමියෝ නුවණ මඳ හිමියන්ට නොයෙක් අපහාස උපහාස කරමින් සිනාසුනහ. එහි ප්‍රථිඵලයක් වශයෙන් රහ්තවීමට පින තිබූ උන්වහන්සේට ;මකල සිව් මසක් ගත වුවත් එක ගාථා පදයක්වත් පාඩම් කරගත නොහැකි විය.

චුල්ල පන්ථක හිමියන්ගේ කතාව පණ්ඩිතමානි නුවණ මඳ, නිසි උගත්කමක් නොමැති පුද්ගලයන්ට ගරහන, ඔවුන් හිනාවට උපහාසයට, අපහාසයට ලක් කරන අයට කදිම පාඩමකි.

යමක් පිළිබඳ ස්වල්ප දැනුමෙන් පවා බොහෝ දෙනා උඬගු වෙති. මානයට පත්වෙති එකී ස්වල්ප දැනුම අවියක් කරගෙන සතර වටේ වණති, වැඩියෙන් ඉදිමෙති. එහතේ නිසි දැනුමක් ලැබූ පුද්ගලයෝ කවර විටෙකත් මානයට පත් නොවෙති. උඩගු නොවෙති. අඩු දැනුමක් හා නිසි දැනුමක් ඇත්තෝම මානයට පත්වෙති.

මාගේ ශාස්තෘන් වන ශාක්‍ය පුත්‍ර වූ බුදුරජාණන් වහන්සේ එහි පැමිණියහ. මාගේ හිස පිරිමැද්දේය. මාගේ අතින් අල්ලාගෙන සංඝාරාමයට ඇතුළු කරවීය. පිරිසුදු මෙය ගෙන පිරිමදිමින් එක්ත්පසෙක හිඳ මනාකොට ඉටුවවයි (සිහි කරවයි) කියා මට අනුකම්පාවෙන් ශාස්තෘන් වහන්සේ මට රෙදි කඩක් දුන්නේ ය.
මම එම රෙදිකඩ දෝතින් ගෙන පියුම සිහි කෙළෙමි. එහි (පියුමෙහි) මාගේ සිත නැවතී කෙලෙස් වලින් මිදුණේ ය. රහත්බවට පැමිණියේ ය. සියලු තන්හි මනෝමය ශරීරයෙන් නිර්මිත කිරීමෙහි පරතෙරට පැමිණියේ, සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥ වශයෙන් දැන දුරුකළේ, ආශ්‍රව රහිතව (රහත්ව) වෙසෙමි. මේ සිවි පිළිසිඹියාවෝ ද, අෂ්ට විමොක්‍ෂයෝ ද, ෂඩ්අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ සසුන ද කරන ලදිමි. මේ මගේ අන්තිම ඉපදීමයි. මෙයින් මතු ඉපදීමක් නැත.

එදා චුල්ලපන්ථක පොඩි හාමුදුරුවන්ට පිහිට වීමට ලොව්තුරු බුදු පියාණන් වහන්සේ වැඩමවා වදාළහ. නමුත් අද සසුන අතහැර නික්‌මීයන අපේ පොඩි හාමුදුරුවරු රැකගැනීමට ලොව්තුරු බුදු පියාණන් වහන්සේ වැඩවාසය කරන්නේ නැත. මා මේ ලිපිය ලියන්නේ එසේ සසුන අතහැර යන අසරණ පොඩි හාමුදුරුවරු වෙනුවෙන් ගිහි පැවිදි ඔබගේ අවධානය වඩාත් යොමුවනු ඇතැයි යන බලවත් විශ්වාසයෙනි.

« Newer Posts - Older Posts »

Categories

Follow

Get every new post delivered to your Inbox.

Join 117 other followers