Posted by: lrrp | February 28, 2024

Like lonely lions, who have mastered their fears.

“I invoke a paean of praise!
Where the earth-gods dwell,
there, in mountain caves,
resolute and composed,

dwell many like lonely lions,
who have mastered their fears.
Their minds are bright and pure,
clear and undisturbed” (The Buddha: DN 20)

15698095_1622085338093703_1088451507417453178_n

තුන් ලෝකයේම බුදුවරු පහල වන්නේ මගුල් සක්වලේ පමණි. එනම් මේ අප ජීවත්වන සක්වලේය. එහිද ජම්බුද්වීපය හෙයත් ඉන්දියාව, නේපාලය අයිති බිම් කොටසේ බුද්ධගයාවේ පමණි බුදුවරු බුදු වන්නේ. එහෙත් මහායාන දහමට අනුව වෙනත් සක්වලද බුදුවරු පහලවන ඔවුන් විශ්වාස කරන්නේ නිවන් දකින්නේ බුදු වීමෙන් පමණක් බවය. මෙම කථාව මහායාන උරුවක් ගන්නා බැවින් එහි පිටසක්වල බුදුවරු ගැන සදහන් වීම් දක්නට ලැබේ. කෙසේ උවද මෙම කථාව අප පලකරන්නේ පිටසක්වල බුදුවරු ගැන සදහන් කිරීමට නොව එහි ඇති අන්තර්ගතය ඔබ වෙත ගෙන ඒමටය. වෙනත් ලෝක ධාතුවක බුදුවරුන් ගැන සදහන්වන කථාව බැහැර කොට දානයේ ආනිසංස පමණක් සිහිකරත්වා …

සහා ලෝක ධාතුවට ආලෝක වර්ෂ ශත සහස්‍ර ගණනකට එපිටින් පිහිටි ලෝක ධාතුවක අප පෘථිවියට බොහෝ දුරට සමාන වූ ජිව්හා නම් ග්‍රහයකු විය. මධ්‍යකාලීන යුගයක් පැවති සමයෙක ශ්වේතකේතු නම් චක්‍රවර්ති රජවරයකු දසරාජ ධර්මයෙන් ජනයාට සංග්‍රහ කරන කාලයක එහි අභය නම් බුදුවරයකු පහළ විය.

උන් වහන්සේ හා ශ්‍රාවක සංඝයා වෙනුවෙන් රජු විසින් අගනුවරට එපිටින් ආරාම, සන්ථාගාර, ගිලන්හල්, ධර්මශාලා හා උපාසක උපාසිකාවන්ට විශ්‍රාමශාලා වලින් යුතු ආරාමයක් පූජා කර තිබුණි. මෙම ආරාමයේ පිවිසුම සම්බන්ධවූයේ නගරයේ ප්‍රධාන මාර්ගයටයි.

එක් දිනක උදෑසන බුදුන් වහන්සේ අග්‍ර උපස්ථායක වූ සාවිත්‍ර තෙරුන් සමඟ ආරාමයෙන් පිටතට පිඬු සිඟා යාම පිණිස නගරයට දෙසට වඩින්නට විය. මාර්ගය දෙපස තිබූ වාධූර්ය ගස් වලින් ගිනි රතු පැහැ පත්‍ර මාර්ගය පුරා වැටී තිබුණි. එම ගස් වල දැඩි සුලඟකට වුවත් නොවැටෙන වසන්තයට පමණක් පිපෙන තද කොළ පැහැ අති සුගන්ධවත් වාධූර්ය මල් වැනෙන්නට විය. දූවිලි හා පත්‍ර අවුස්සමින් විටින් විට මඳ සුලඟක් හමායන්නට විය. ගස් පෙළ අවසන් වූයේ නගරයේ එකිනෙකට යාබදව සාදා තිබූ නිවෙස් පේළිය සමඟය.

නගරය ඉසිළුවේ දැඩි පාළු සහගත ස්වභාවයකි. මාර්ගය ජනශූන්‍ය වූ අතර දක්නට ලැබුණේ අයාලේ ගිය සුනඛ රංචුවක් පමණි.

මේ අතර ඈතින් රුවක් ඇදෙන්නට විය. රුව ළංවත්ම සාවිත්‍ර තෙරුන් ඔහුව පහසුවෙන් හැඳුනා ගත්හ. දුර්වර්ණ වූ දිගු ඇඳුමකින් සිරුරම වසා ගත්, තවත් රෙද්දකින් ඇස් පමණක් නිරාවරණය වන සේ මුහුණ ආවරණය කරගත් පැමිණිමෙන් සිටියේ එම පෙදෙසේ නිවෙස් වල කසළ බැහැර කරන්නෙකු වූ ශෝධකයෙකි.

එක් කකුලක් අද්දමින් දූවිලි මඳක් අවුස්සමින් පැමිණි ඔහු තමන් කරා මුහුණට මුහුණ ලා එලැඹෙන බුදුන් වහන්සේ හා සාවිත්‍ර තෙරුන් දුටුවේ, හොඳටම ළං වූ පසු බිමට පාත් කළ හිස ඔසවා බැලීමේදීයි. ඔහුගේ දෑස් මහත්ව වික්ෂිපත් වී උන් වහන්සේලා මඟ හැරීමට නොහැකිවීම ගැන පසුතැවිල්ලෙන් මාර්ගයෙන් පසෙකට වී බිම බලාගෙන හුන්නේය.

බුදුන් වහන්සේ ඔහු පසුකරයාමට ගියා පමණි:ඒ පුද්ගලයා ඇසිල්ලකින් උන්වහන්සේ කරා එලැඹ සිය ඔලොගුවෙන් ගත් දෙයක් බුදුන් වහන්සේගේ පාත්‍රයට දමා හිස නවාගෙනම වැඳීමක් වත් නොකරම වේගයෙන් කකුල අද්දමින් එතැනින් නික්ම ගියේය.

බුදුන් වහන්සේ මඳකට නැවතුණු සේක. උන්වහන්සේගේ මුහුණේ ආශ්චර්යවත් මඳහසක් මතුවන්නට විය. සාමාන්‍ය මිනිසුන් මෙන් බුදුවරු අකාරණයේ සිනා පහළ නොකරන වග දත් සාවිත්‍ර තෙරුන් වහන්සේ ඊට හේතුව විමසා සිටිහය.

”සාවිත්‍රය තොප දන්න පරිදි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මහත්ඵල මහානිශංස ලැබෙන දානමය පුණ්‍යකර්මය කළේ කවරෙක්ද?”

සාවිත්‍ර තෙරුන් මෙසේ පිළිවදන් දුණි.

”භාග්‍යවතුන් වහන්ස. . ශ්වේතකේතු රජු දුන් අසදෘෂ දානය මහත්ඵල මහානිශංස ලෙස දකිමි. . ”

බුදුන් වහන්සේ පාත්‍රයට අතදමා ශෝධක විසින් පූජා කළ වියළි ශාක පත්‍රයකින් ඔතා පිටි හා පැණි මිශ්‍ර කර සෑදූ කැවිල්ල ශ්‍රී හස්තයට ගත්හ. ඉක්බිති සාවිත්‍ර තෙරුන් ඇමතූහ.

”සාවිත්‍රය තොප මේ දානය ගැන කුමක් කියන්නේද??”

සාවිත්‍ර තෙරුන් මඳක් විපිළසර වී බුදුවරු විසුළු නොකරන වග දන්නා බැවින් මෙසේ පිළිවදන් දුන්හ.

”එය අසදෘෂ දානය හා සංසන්දනය කළ නොහැක භාග්‍යවතුන් වහන්ස!. . ජල බිඳුවක් හා ගංගාවක් මම කෙසේ සංසන්දනය කරම්ද?”

ඉන්පසු බුදුන් වහන්සේ මේ පැනය විචාලහ. .

”සාවිත්‍රය . . අසදෘශ දානය අනෙක් සියළුම දාන ඉක්මවා මහත්ඵල මහානිශංස වන්නේ කෙසේද??”

සාවිත්‍ර තෙරුන් දීර්ඝ පිළිතුර ඇරඹූහ. .

”ස්වාමීනී. . ඔබ වහන්සේ වෙනුවෙන් පෙරමන් ආවේ චක්‍රවර්ති රජුය, ඔබ වහන්සේව ඔහු පාසෝදා පිළිගත්හ, ප්‍රධාන රහතන් වහන්සේලා අනික් රාජකීයයන් විසින්ද, අවශේෂ සංඝයා සෙනෙවිරත් වරුන්ගෙන් හා සෙබළුන් මඟින්ද එසේ පිළිගන්නා ලදී. . අප වෙනුවෙන්ම භෝජනාගාර හා මණ්ඩප ඉදිකර තිබුණි. ලොව හොඳම කැටයම් කරුවන් ඒවා අලන්කෘත කර තිබුණි. ඔබ වහන්සේ වෙනුවෙන් දියමන්තියෙන් සෑදූ අසුනක් පනවා තිබුණි, චිත්‍ර ශිල්පීන් භෝජනශාලා හ ධර්මශාලා තමන්ගේ විචිත්‍රභාවයෙන් නොඅඩුව පුරවා තිබුණි.

එක් එක් භික්ෂුව වෙනුවෙන් එක් එක් මෙහෙකරුවකු සේවයේ යොදවා තිබුණි, අරක්කැමියන් සෑම ආකරයකටම අහාර වට්ටෝරු සාදා තිබුණි. දානය අවසානයේ ධර්මශාලාවට අප වැඩියේ ඇතුන් අල්ලා සිටි මුතුකුඩ සෙවණක් යටිනි. ධර්ම දේශනාවෙන් පසු ඉස්තරම්ම පිරිකර ඔවුන් පිළිගන්වන ලදී. රජු අවසානයේ ඔබ වහන්සේට වැඳ දෑස් වසා තම දානයේ ආනිශංස ලෙස යමක් පැතුවේය. .

මේ කාරණා නිසා මම එය මහත්ඵල මහානිශංසයැයි කියමි.

බුදුන් වහන්සේ මඳක් තූෂ්ණිම්භූතව හිඳ මෙසේ කියූහ. .

”සාවිත්‍රය ඊයේ ඇරඹුණු වසන්ත සැණකෙලිය සඳහා නුවරුන් මෙහින් නික්ම අගනුවර කරා ගොස් ඇත. උත්සවය කෙළවර වන්නේ අද සවසයි.

මේ පුද්ගලයා දිනපතා ආහාර සොයාගන්නේ කසළ එකතු කර බැහැර කිරීමට භාර ගන්න නිවෙස් වලිනි. දිනකට පෙර සවස් යාමයේ මොහු නිවෙසකට ගිය විට එහි සිටි කාරුණික ස්වාමිදුව නුවරුන් සියල්ලම වසන්ත උළෙලට යන බව දැන මොහුට ආහාර නිසි පරිදි නොලැබේයයි අනුකම්පාවෙන් මෙම කැවිලි සතරක් ඔහුට පරිත්‍යාග කළාය. මොහු වැඩ නොමැති බැවින් ඊයේ ප්‍රමාණවත් ආහාරයක් නොලැබ මෙම කැවිලි අරපිරිමැස්මෙන් අනුභව කරන ලදී. අද උදෑසන ඔහුට ඉතුරු වූයේ එක් කැවිල්ලක් පමණි. අපට පින්ඩපාතයේ යාමේදී මේ ජනශුන්‍ය දිනවල ඇතිවන අපහසුව දත් රජු විසින් මේ දින දෙකට එවන ලද ආහාර හා අරක්කැමියන් ගැන ඔහු කිසිවක් නොදැන සිටියේය. මමද මොහු කෙරේ කරුණාවෙන් කිසිවෙක් නැති මේ නගරයේ පිඬු සිඟා වැඩියෙමි.

මොහුහට මා දක්නට බලාපොරොත්තුවක් නොතිබුණි. වෙනදා මෙන් මිනිසුන් නැති නිසා මොහු ප්‍රධාන මාර්ගයේ ගමන් කළේය. මා දුටු විගස මොහු මඟහැරීමට අතුරු පාරක් සෙවීය. නැවත් නොහැරුණේ වේගයෙන් ඇවිදීමට නොහැකි බැවිනි. . මොහු දැකීමට ලැබීම බොහෝ මිනිසුන් අශුභ ලකුණක් සේ සලකති.

පෙර භවයක මොහු එක් සෙනෙවියෙක්ව අල්ලාගන්නා ගත් සතුරන් කැකෑරුණු තෙල් කටාරම් වල දමා සෙමෙන් ගිනි අවුලා ඔවුන්ගේ දුක් විඳීම මහත් ප්‍රීතියෙන් බලා සිටීමට ලොල් විය. මරණයෙන් පසු බොහෝ දුක් විඳි ඔහු මේ භවයේ උපන්නේ සිරුර පුරා කුෂ්ඨ දැමූ අනාථයකු ලෙසය. මිනිසුන් මොහු දැක කම්පනයකටත් දැඩි පිළිකුලකටත් පත්වූහ. මොහු මෙසේ සිරුරම ආවරණය කරන්නේ එම කුෂ්ඨ නොපෙනීමටයි.

ඉදින් මොහුට මා මඟහැරීමට අවකාශයක් නොතිබුණි. අයිනකට වූ ඔහු කල්පනා කළේ මේ පාළු නගරයේ කුමක් නිසා බුදුන් පිඬු සිඟා වඩියිද යන්නයි. මිනිසුන් නැති බැවින් බුදුන්ට පිණ්ඩපාතය නොලැබී නිරාහාර වන්නට වේ යැයි ඔහු තුල චිත්ත වික්ෂේපයක් හට ගැනුණි.

තමන් කුසගින්නේ සිට හෝ බුදුන්ට පිණ්ඩපාතය දීමට ඔහුට අවශ්‍ය විය. නමුත් ප්‍රධාන සෙනෙවිගේ පවුලට උපන් කුඩා කල සිට සැප සම්පත් ලද , දැන් රාජකීයයන්ගෙන් පවා බුහුමනට පාත්‍ර වන භාග්‍යවතුන් වහන්සේ තම රළු ආහාර පිළිගනීදැයි විපිළිසර වෙමින් සිටියේය. . මම ඔහුට ළන්වත්ම පාත්‍රයෙන් සිවුර මඳක් මෑත් කළෙමි. මම ඔහුගේ චිත්තය හඳුනාගත් බව දුටු ඔහු මා කෙරේ මහත් ස්නේහයෙන් හා කරුණාවෙන් මෙය පුදා ආනිශංසයක් ගැන නොසිතා වැඳීමක් වත් නොකරම යන්නට ගියේය.

සාවිත්‍රය. . තොපෙන් මේ ප්‍රශ්න විචාරමි පිළිතුරු දෙනු.

ශ්වේත කේතු රජ මේ දානයට කොපමණ මුදලක් වැය කළේද??”

”ස්වාමීනී, අසූ කෙළකි”

”සාවිත්‍රය ඒ ඔහුගේ සියළු වත්කමද?”

” නැත ස්වාමීනී. . එමෙන් දස ගුණයකටත් වඩා ඔහුගේ භාන්ඩාගාරය පොහොසත්ය”

”රජු මේ ධනය රැස් කරගත්තේ කෙසේද??”

”ස්වාමීනි. . එය ප්‍රවේණිගත ධනයකි. තව අයබදුද අය කෙරේ. ”

”රජු දානය වෙනුවෙන් කුමක් කළේද?ආහාර පිසුවේදම්?කැටයම් කැපුවේද?සැරසීම් කළේද? මණ්ඩප සෑදීමට ගත් කණුවක් එසවීමට්වත් උදවු වූවේද??”

”නැත ස්වාමීනී. . ඔහු එය මෙහෙයවූවා පමණි. . ”

”රජු දානය දුන්නේ මා කෙරේ හුදු භක්තිය නිසාද??”

”ස්වාමීනී. . ඔහු භක්තිමත් බව දනිමි. . එහෙත් ඔහු ආනිශංස බලාපොරොත්තු විය. ”

”සාවිත්‍රය සිහි එළවා ගනු. මේ මනුෂ්‍යයා අපහසුවෙන් වැඩ කර, තමන් කුස ගින්නේ ඉන්නට වන බව දැන දැන සන්තකයේ වූ සෑම දේ වන එම කැවිල්ල භාග්‍යවතුන් වහන්සේ කෙරේ ආදරයෙන් උන්වහන්සේ නිරාහාර වේ යැයි බියෙන් කිසි ආනිශංසයක් නොසිතා පූජා කළේය. . තොප කුමක් සිතයිද?”

සාවිත්‍ර තෙරුන් කාරණය වටහා ගත්හ. ඉන්පසු බිම බලාගෙන මෙසේ විචාලහ.

”ස්වාමීනී වැටහේ. . මේ කසළ ශෝධකගේ දානයට අසදෘෂ දාන සියයක් වත් සම කළ නොහැක. එහි ආනිශංස ගැන දැනගැනීමට කැමැත්තෙමි. ”

බුදුන් වහන්සේ පිළිවදන් දුන්හ.

”සාවිත්‍රය, ආනිශංස පවා නොසලකා ආත්මාර්ථය හැර ඔහු කළ මේ දානයේ ඵල අධිකය.

හෙට දින මොහු පියගැට පෙළකින් වැටී හිස කැඩී ක්ෂණයකින් මිය යන්නේය. එය වේදනා රහිත ශාන්ත මරණයක් වන්නේය. ඔහුගේ අයහපත් කර්මඵල එයින් අවසාන වන්නේය.

මළ විගස තවුතිසාවේ ඉපිදෙන්නේය. ශක්‍ර දේවේන්ද්‍ර වන්නේය. ඉන්පසු කල්ප අටසියයක් ශක්‍ර දේවේන්ද්‍ර ලෙසම චුත වෙමුන් ඕපපාතිකව පහළවන්නේය.

කල්ප දහසක් මහේශාක්‍ය දෙවියකු වන්නේය.

සියදහස් වාරයක් සක්විති රජවන්නේය. ගණන් කළ නොහැකි තරම් වාරයක් ප්‍රදේශ රජ වන්නේය.

අවසානයේ රජ පවුලක ඉපිද නෛෂ්ක්‍රමණය කර සර්ව මිත්‍ර ලෙස ධර්මය නැති කාලයක පසේ බුදු වන්නේය.

සාවිත්‍රය මේ ඔහුගේ කැවිලි පූජාවේ ආනිශංස වේ”

මේ නියත විවරණය සමඟම මඳ සුලඟක් හැමුවේය. ගස් සෙමෙන් පැද්දෙන්නට විය. තුරු සෙවණේ ඇවිදිමින් සිටි ශෝධක වාධූර්ය මලින් නැහැවීගියේය.

(අන්තර් ජ ජා ලයෙන් උපුටා ගන්නා ලදී)

“යම්සේ නොගටන ලද බෙර ආදිය ශබ්ද පිට නොකරයිද එලෙසින්ම නොගටන ලද මෙබඳු උතුම් පුද්ගලයෝ සිංහනාද නොකරති” – සන්තුට්ඨ සූත්‍ර වර්ණනාව

කතරගමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය විවිධ සේවාවන් සපයමින් ජීවිකාව සරි කරගන්නා පිරිස් කතරගම අවට ගම්වල බොහෝය. ඇතැම්හු මල් විකුණති. තවත් පිරිසක් පූජා වට්ටි හා ඒවාට අවශ්‍ය කළමනා මෙන්ම පූජා භාණ්ඩ විකුණති.

කතරගම පුදබිම මුල් කර ගෙන කතරගම ඇතුළු අවට ගම් රැසක ජීවත් වන ජනයා විවිධ භාණ්ඩ විසිතුරු දේවල් නිර්මාණය කර කතරගම පුද බිම වෙත පැමිණෙන බැතිමතුන් හට අලෙවි කර සිය ජීවිකාව ගෙන යන පිරිස ද සුළුපටු නැත. අතීතයේ කතරගමට පැමිණි බැතිමතුන් දෙවියන් වැඳපුදා අවසන්ව යළි සිය ගම්බිම් බලා යද්දී සිය දුවා දරුවන් වෙත පුංචි සිහිවටනයක් හෝ තෑග්ගක් හෝ රස කෑමක් රැගෙන යෑමේ සිරිතක් ද විය. සමහරු රැගෙන ගියේ කතරගම මාල වර්ගයි. දෙව් රුවක් සහිත පැන්ඩනයක් එල්ලෙන මාලයක් දෙකක් හෝ පාට පාට නූල් කිහිපයක් සමහරු වරද්දන්නේම නැත. එසේ නැත්නම් කතරගම රස කළු දොදොල්ය. පුහුල් දෝසි, පැණි බූන්දිවලට ද ඇත්තේ ලොකු ඉල්ලූමකි…

මේවා නිපදවීම ඒ ප‍්‍ර‍්‍රදේශයේ ජනතාවට ලොකු ආදායම් මාර්ගයක් විය. ගෙවල්වල ගෘහ කර්මාන්ත ලෙසද මහා පරිමාණ කර්මාන්ත ලෙසද මේවා කරමින් දියුණු වූ අයද බොහෝය.

එහෙත් අද වන විට මේ සෑම දෙයක්ම කණපිට පෙරළී තිබේ. එදා කතරගම ප‍්‍රදේශයේ කාන්තාවන් අතින් නිම වූ මුතු පබලූ සහිත වූ කතරගම මාල පසෙකලා චීනයෙන් ඉන්දියාවෙන් හොංකොං රටින් රැගෙන එන ප්ලාස්ටික්වලින් නිම වූ මාල වළලූ කතරගම ගමේ නිර්මාණය වූ මාල වළලූ යටපත් කර අපේ රටේ මුදල් පිටරට යවන තැනට වර්තමානයේ පත් වී තිබේ.

එදා පිරිතට, යන්ත‍්‍රමන්ත‍්‍ර ජීවමක් සඳහා 108 ක් මැතිරවීමට ගණනයන් සඳහා භාවිතා කළේ කතරගම නවගුණවැලයි. අදත් බොහෝ දෙනා ඇට 108ක් සහිත නව ගුණ මාල භාවිතා කරනු ලබති. භාවනායෝගීිව සිටින ඇත්තන් සිය භාවනාව ගණනය කිරීමට ද කතරගම නව ගුණ මාල භාවිතා කරති.

මෙයට අමතරව තපස් රකින ඇත්තන්ද නව ගුණයෙන් පිරි මෙම මාල පැළඳීමට ක‍්‍රියා කරන අතර කතරගම වන්දනාවේ පැමිණ යන සැදැහැවතුන් කතරගමින් මෙම මාලයක් රැගෙන ගොස් සිය බුදු පිළිම අසල තැන්පත් කරන අතර ඇතැම් පිරිස් සිය රථයේ ඉදිරියේ එල්ලා ආශිර්වාදය ප‍්‍රාර්ථනා කරති.

දීර්ඝ ඉතිහාසයක් ඇති නව ගුණ මාල වැඩි හරියක්ම නිර්මාණය වූයේ කතරගම ප‍්‍රදේශයෙන්ම පමණක් වූ අතර අද වර්තමානයේ මෙම මාලයට සමානව චීනයෙන් ඉන්දියාවෙන් ප්ලාස්ටික්වලින් නිපැයූ මාල වෙළෙඳ පොළට පැමිණීමත් සමග අපේ රටේ කතරගම ප‍්‍රදේශයේ කාන්තාවන්ගේ සුරතින් නිමවුණ නවගුණ මාලයට අපල කාලයක් උදාවිය.

මෙයට හේතුව වන්නේ චීනයෙන් රැගෙන එන මාල අඩු මුදලකට අලෙවි වීම මත එය නොදන්නා ඇතැම් පිරිස් ප්ලාස්ටික් වලින් නිපැයූ මාල රැගෙන යෑමට හුරුවීමයි.

මේ නවගුණ මාල සඳහා යොදා ගන්නා ඇට ලබාගන්නේ ඒ ප‍්‍රදේශයේම පරිසරයෙනි. ස්වභාවිකව කතරගම ප‍්‍රදේශයේ හට ගන්නා ‘‘දෙබර ගසේ’’ ඇට බිම වැටෙන විට දී ඒවා අහුලා ගන්නා කාන්තාවන් එම ඇට අව්වේ වේලා ගනු ලබති. පසුව සෝදා පිරිසිදු කර දෙබර ඇට විද මෙම මාල නිර්මාණය කර පාට ගන්වා කතරගම මාල කඩ වෙත අලෙවි කිරීම කතරගම අවට කාන්තාවන්ට හොඳ ආදායම් මාර්ගයක් වූහ. මෙම මාල වැඩි වශයෙන් නිර්මාණය කරන කාන්තාවන් පිරිසක් ජීවත් වන්නේ කතරගම නාගහවීදිය හා ගෝතමීගම යන ගම්වලය.

මේ වන විට මෙම ඇටමාල නිර්මාණය කරනු ලබන කාන්තාවන් එක්ව සංවිධානයක් ද පිහිටුවා ගෙන ඇත. මුතුමාල ව්‍යාපෘති සංගමය ලෙස හඳුන්වන මෙහි සභාපතිනිය වන්නේ ගෝතමීගම එච්. ඩබ්ලිව්. සාලිකා මහත්මියයි. ඇය පැවසුවේ මෙම නවගුණ මාල කර්මාන්තය මම වයස අවුරුදු 15 ක සිට සිදු කරනවා කියාය.

‘‘දැන් අපේ පළාතේ කාන්තාවන් 200 ඉක්ම වූ පිරිසක් සිටිනවා. නමුත් අපේ මාල ඉස්සර හොඳට විකුණා ගත්තා. මේ වනවිට පිටරටින් ප්ලස්ටික් මාල ගෙන එන නිසා මේවා වැඩිය විකිණෙන්නේ නැහැ. මේවා ස්වාභාවිකව දෙබර ඇටවලින් තමයි හදන්නේ. දෙබර ඇට කොටලා හෝදලා ඩයි කරලා හදනවා. අපේ මේ ස්වයං රැකියාව සිදු කරගන්න රජයෙන් දැනුම මෙන්ම ඇට විදින යන්ත‍්‍රයක් මිලදීි ගන්න සලස්සනවා නම් ඉතාම හොඳයි. අපි හදන මාලවලට විදේශිකයින් හරිම කැමතියි.”

මේ කර්මාන්තය දියුණු කරගන්න පහසුකම් ලබා දෙනවා නම් එය ඉතා අගනා බව එච්. ඩබ්ලිව්. සාලිකා මහත්මිය පැවසුවාය.

ගෝතමීගම අයි. එස්. අයේෂා මහත්මිය වසර 20 කට වැඩි කාලයක් මෙම කර්මාන්තයේ නිරතවන්නීය. ඇය ඒ ගැන පැවසුවේ මෙසේය…

‘‘අපි මේ ඇට 108 ක් දමලා ලොකු මාලයකුත් ඇට 54 ක් දමලා පොඩි මාලයකුත් නිර්මාණය කරනවා. කොරෝනා වසංගතයත් සමග අපිට මාල හදන්න බැරි වුණා. දැන් ටික ටික ආයිත් හදනවා. මම තවමත් බුරුමයකින් තමයි ඇට විදගන්නේ ඇට විදින යන්ත‍්‍රයක් රුපියල් 16000 ක් වෙනවා. එකක් ගන්න උපකාර කරනවා නම් හොඳයි යනුවෙන් අයි.එස්. අයේෂා මහත්මිය සඳහන් කරන්නීය.

වසර 30 ක් පුරා නව ගුණ මාල හෙවත් දෙබර ඇට මාල කර්මාන්තයේ නිරත වන මාතාවක් වන එච්. ඒ. සිරියාවති මහත්මිය අප සමග තවත් කතාවක් කීවාය.

‘‘ඉස්සර මේ මාල ගෙතුවේ බුරුමයකින් දෙබර ඇට විදලා. දැන් නම් විදුලියෙන් විදින මැෂිමකින් තමයි ඇට විදින්නේ. අපි මේ මාල වර්ග ක‍්‍රම කීපයකින් ගොතනවා. තඹ කම්බිවලින් ගොතලා මුතු ඇටත් එක්ක ලස්සන කරන මාලයකුත් තියෙනවා. එකට වැඩි මුදලක් වැය වෙනවා. තව මාලයක් තියෙනවා කම්බිවලින් ගොතනවා. ඒ මාලයක් කඬේ විකුණන්නේ රුපියල් 150 ක් අපිට දෙන්නේ එක් මාලයකට රුපියල් 50 ක් තමයි. මේ මාල ඉස්සර නම් ගොඩක් අලෙවි වුණා. දැන් පිටරටින් එන විවිධ මාල වර්ග වැහි වැහැලා. ඒක නිසා මේ මාලවලට වැඩි වෙළඳපොළක් අද නැහැ.”

ගෝතමීගම සිටින දක්ෂතම මාල ගොතන්නිය වන එස්. අයේෂා මහත්මියට මේ වන විට වයස අවුරුදු 30 කි. ඇය වසර 15 සිට මෙම මාල ගොතන්නියකි. ඇය පැවසුවේ මෙසේය.

‘‘අපේ ප‍්‍රධාන ජීවිකාව තමයි මේ මාල ගෙතීම. කිරි වෙහෙර අවට දෙබර ගස් තියෙනවා. අපි ඒ ඇට ඇහිඳගෙන එනවා. වංගෙඩියේ දමලා කොටලා ඇට සෝදලා වේලලා අරන් තමයි ඇට සකස් කරන්නේ. ඉස්සර අපි ඇට විද්දේ බුරුමෙන්. දැන් විදින මැෂින් තියෙනවා. මැෂින් එකක් රුපියල් 16000 ක් වෙනවා. දැන් ඇට විදින්නත් ලේසියි. අපි දැන් මාල ගොතලා තියාගෙන ඇසළ පෙරහැර කාලේට විකුණනවා. කතරගම එන අය මේ මාලවලට හරිම ආසා නිසා අරන් යනවා. මේ මාලවලට දැන් ප‍්‍රශ්නයක් තියනවා. මේවාට සමානව ප්ලාස්ටික් මාලත් රටින් ගෙනත් තියෙනවා. සමහරක් අය දන්නේ නැතිව ඒවාත් මිල දී ගන්නවා. මෙම මාල ගොතන පවුල් 200 ක් විතර කතරගම ඉන්නවා. අපි ස්වයංරැකියාවක් විදිහට මේ නව ගුණ මාල ගෙතීම සිදු කරනවා. අපිට මේවා දියුණු කර ගෙන යන්න බැංකු ණයක් වගේ සහනයක් දෙනවා නම් මේ කර්මාන්තය තවත් දියුණු කරන්න පුළුවන්‘‘ අයේෂා මහත්මිය පවසන්නීය.

කතරගම ජීවත් වෙන පවුල් අතරින් සියයට හැත්තෑ පහක් පමණ කාන්තාවන් පිරිසක් මල් මාලා ගෙතීමත් ඇටමාල ගෙතීමත් සිදු කරති. අතීතයේ කතරගම මාලවලට මුල් තැන ලැබුණත් විවෘත ආර්ථිකය අපේ රටට පැමිණීමත් සමග අපේ රටේ නිපැයුම්වලට කුඩම්මාගේ සැලකිල්ලක් ලැබුණු අතර පන් පැදුර, වේවැල් පැදුර වෙනුවට ඉටි කොළ පැදුරු අලෙවි වන පරිදිම කතරගම සුකුමාල දෑතින් නිම වන කතරගම මාලවලට ද අපල කාලයක් උදාවී තිබේ. එහෙත් දන්නා අය අදත් මේ නව ගුණ මාල තෝරා ගැනීමේ දී කතරගම ප‍්‍රදේශයේ නිපැයුම්වලට මුල් තැන දෙමින් දේශීය දේවල් ඇගයීමට ලක් කරන අය ද සිටිති.

එපමණක් නොව… දේව ආශීර්වාදය සහිත මේ පුදබිමේ අහිංසකව වෘත්තියක් කර ගනිමින් සාධාරණව මුදලක් හරි හම්බ කරන ජනතාවට සේවාවක් වන පරිදි ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගන්නා අයට විශේෂ දේව ආශිර්වාදයක් ලැබෙතැයි කියාද විශ්වාස කරති.

කර්මය හා කර්ම ඵලය පිළිබඳ ඉගැන්වීමට දිගු ඉතිහාසයක් ඇතත් අදටත් සමහරු එය පිළිගැනීමට අකැමැත්තක් දක්වති. කර්ම විෂය අචින්ත්‍ය වුවත්, අපට දැනෙන හැඟෙන මට්ටමෙන් ඒ පිළිබඳව කතා බහ කිරීමේ වරදක් ඇතැයි නොසිතමි. බුදුරජාණන් වහන්සේ පහළවෙන අවදිය වන විට පැවැති බ්‍රාහ්මණ, හින්දු හා ජෛන වැනි ආගම් වලද කර්මය පිළිබඳ ඉගැන්වීම් තිබුණු බව පෙනෙයි. එහෙත් බුදු දහමේ ඇත්තේ ඊට වඩා වෙනස් ආකාරයේ ඉගැන්වීමකි. මෙය හරිහැටි අවබෝධ නොකර ගැනීම නිසා කර්මය පිළිබඳ බෞද්ධ නොවන මතවාදවල සමහරු එල්බගෙන සිටිති.

මිනිසා සිදු කරන සෑම ක්‍රියාවක්ම කර්මයක් බව , ජෛන ආගම පිළිගනියි. එහෙත් බුදු දහම උගන්වන්නේ, ක්‍රියාවට වඩා ක්‍රියාව සිදුවීමට බලපාන සිතිවිල්ල වැදගත් බවයි. එමෙන්ම, චේතනාවකින් තොරව කෙරෙන ක්‍රියාවන්, කර්ම ගණයට ඇතුළත් නොවීමද බෞද්ධ ඉගැන්වීමයි. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇතැයි යන්න පිළිගත් මතයකි. කර්මය පිළිබඳවද මේ නියමය සත්‍යයෙකැයි සමහරු සිතති. එහෙත් එය සත්‍ය නොවේ. ඇතැම් කර්මවලට විපාක දීමට කාලය නොමැති නිසා, විපාක නොදී ඉවත් වෙයි.

අහෝසි කම්ම යනුවෙන් හඳුන්වා ඇත්තේ එවැනි කර්මයන්ය. දුප්පත්ව උපත ලැබීම, ඉගෙනුමට නොහැකියාව, ලෙඩ රෝගවලට ලක්වීම, බලාපොරොත්තු නැතිවිටෙක ධන සම්පත් ලැබීම, තිබෙන සම්පත් විනාශ වීම, අඩු ආයුෂයකින් මරණයට පත්වීම, ආදි අපේ ජීවිතයේ මුහුණපාන හැම සිදුවීමකටම මුල් වන්නේ, අතීතයේ කරන ලද කර්මය බව සමහරුන්ගේ මතයයි. විශේෂයෙන් ජෛනයෝ මේ මතයේ සිටියහ. සියල්ල පෙර කරනලද කර්මය අනුව සිදුනොවන බව, දේශනා කළ බුදුරජාණන් වහන්සේ, එසේ සිතීමම මහ මුළාවක් බවයි වදාළේ.

මිනිසාගේ දියුණුව හෝ පිරිහීම කෙරෙහි බලපාන එකම හේතුව, කර්මය බව බුදු සමය පිළි නොගනී. වෙනත් කරුණු රාශියක් ද තිබේ. පංචනියාම ධර්ම එයින් එකකි. එබැවින් කර්මය යනු එක් හේතුවක් මිස, එකම හේතුව නොවේ. කර්මය, සියල්ලට එකම හේතුව ලෙස සිතන අය, හැමවිටකම තමන් කරුමක්කාරයෙකු ලෙස සිතයි. මිනිසත් බවක් ලැබීමම මහා කුසල කර්මයක ප්‍රතිඵලයක් ලෙස බුදු දහම සලකන බැවින්, මිනිසා පව්කාරයෙකු හෝ කරුමක්කාරයෙකු ලෙස නොසැලකේ.

බුදු සමයේ කර්මය පිළිබඳ කරන ලද ඉගැන්වීම් තුළින්, පුද්ගලයා අලසයෙකු කර ඇතැයි සමහරු විවේචනය කරති. ඒ දහම හරිහැටි නොදැන කරන ලද විවේචනයන්ය. ඔවුහු යහපත් උත්සාහය හෙවත් සම්මා වායාම, ආර්ය මාර්ගාංගයක් බව නොදනිති. උත්සාහය දියුණුවේ මාවත බව බුදු සමය පිළිගනී. උට්ඨාන සම්පදා, උට්ඨානෙනප්පමාදෙන, උට්ඨාන විරියාධිගතා, උට්ඨානවතො සතිමතො, උට්ඨාන ඵලූපජීවි ආදි වශයෙන් බුදු රජාණන් වහන්සේ , උත්සාහය දියුණුවේ මාවත බවත්, සැප ලබන මගට ඇවැසි අංගයක් බවත් අවස්ථා රාශියකදී පෙන්වා දීමෙන් පැහැදිලි වන්නේ, බුදු දහම තුළ පුද්ගලයා අලසයෙකු කොට නැති බවයි. ඔහු ක්‍රියාකාරිකයෙකු කොට ඇති බවයි.

පුද්ගල ජීවිතය මෙන්ම, පවතින සමාජ ක්‍රමයත්, වෙනස්කළ නොහැකි යැයි සිතන පිරිසක්ද සිටිති. එසේ සිතන්නේ කර්මය වෙනස් කළ නොහැකි යැයි සිතන බැවිනි. සමාජ සම්මතයට අනුව එදා කුල හීනයැයි පිළිගත්, බොහෝ දෙනාගේ ගැරහීමට ලක්වූ, සුනීත, සෝපාක වැනි අය, රහතන් වහන්සේලා බවට පත්කොට, හැම දෙනාගේම ගෞරවය ලබන බවට පත්කරලීමෙන්, බුදුරජාණන් වහන්සේ කර්මය වෙනස්කළ හැකි බව ඔප්පු කොට තිබේ. මෙකී වැරදි මත නිවැරදි කර ගන්න තුරු, කෙනෙකුට ආර්ය මාර්ගයට අවතීර්ණ වීමට නුපුළුවන. දැන් අප බෞද්ධ කර්ම සංකල්පය පිළිබඳ පූර්ණ වශයෙන් නොවුණත් කරුණු ස්වල්පයක් පමණක් විමසා බලමු. අංගුත්තර නිකායට ඇතුලත් නිබ්බේධික සූත්‍රයේ එන”” චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි, චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” යන බුදු වදන බොහෝ දෙනෙකුට පාඩම් ඇතැයි සිතමි. එයින් කරුණු දෙකක් පැහැදිලි කෙරෙයි. කර්මය යනු, ක්‍රියාව නොව චේතනාව බව පළමු වැන්නයි. දෙවැන්න නම්, කය වචන හා මනස තුළින් කර්ම රැස් කරන බවයි. මෙහිදී චේතනාව ප්‍රමුඛ වන බැවින්, චේතනාවකින් තොරව කෙරෙන කිසිදු ක්‍රියාවක් කර්ම ගණයට ඇතුළත් වන්නේ ද නැත.

අපගේ සිතේ පහළවෙන ප්‍රධාන චේතනා හයකි. ලෝභ, දෝස හා මෝහ යන සිතිවිලි අකුසල චේතනා වන අතර, අලෝභ,අදෝස හා අමෝහ යන සිතිවිලි කුසල චේතනා වේ. මෙකී මූලික චේතනාවන්, ශාඛා ප්‍රශාඛා වලට බෙදී චේතනා රාශියක් බවට පත්වෙයි. නිදසුනක් වශයෙන් ලෝභය නමැති චේතනාව, කාම තණ්හා , භව තණ්හා හා විභව තණ්හා වශයෙන්ද , කාම රාග, රූප රාග හා අරූප රාග වශයෙන්ද බෙදෙයි. රාගය නැවත රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ හා ධම්ම වශයෙන්ද වර්ග වෙයි. අනෙකුත් කුසලාකුසල චේතනා සියල්ලද , මෙලෙස කොටස් වශයෙන් බෙදෙයි. සිතේ පහළවෙන සිතිවිලි ක්‍රියාත්මක වන්නේ ආයතන තුනකිනි. එනම් කයින් , වචනයෙන් හා මනසිනි.

මිනිසා ජීවිත කාලය තුළ සිදු කරනු ලබන ක්‍රියාකාරකම්, වර්ග කළ හැක්කේ, හොඳ හා නරක ක්‍රියාකාරකම් වශයෙනි.

කටින් කතා කරන දේ හා අත පය මෙහෙයවා කරන දේ පමණක් නොව, සිතින් හිතන දේ ද මීට ඇතුළත් වෙයි. තමන්ගේත් අනුන්ගේත් යහපත, අභිවෘද්ධිය, සතුට හා සැපත සඳහා හේතුවෙන සියලු ක්‍රියාකාරකම්, යහපත් කටයුතු ලෙසත්, එසේ නොවන හැම ක්‍රියාකාරකම් අයහපත් , නරක ඒවා බවත්, බුදු දහමේ පිළිගැනීමයි. හොඳ හෝ නරක කවර ක්‍රියා කාරකමකට හෝ මුල්වෙන්නේ සිතිවිල්ලයි. හොඳ හෙවත් කුසල සිතිවිල්ලක් මුල්වීමෙන්, නරක ක්‍රියාවක් සිදු නොවේ’. එමෙන්ම නරක සිතිවිල්ලක් මුල්වී, හොඳ ක්‍රියාවක්ද සිදුවිය නොහැක. අප අපේ ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිළිමත් විය යුත්තේ , ඒවාට ප්‍රති විපාක ඇති බැවිනි. යහපත් කර්මවලට යහපත් ඵල විපාකත්,අයහපත් කර්මවලට අයහපත් ඵල විපාකත් ලැබේ. ඒ බව පහත දැක්වෙන ධම්ම පද ගාථාවෙන් පැහැදිලි කර තිබේ.

යාදිසං වපතෙ බීජං
තාදිසං හරතෙ ඵලං
කල්‍යාණ කාරි කල්‍යාණං
පාපකාරී ච පාපකං

ගොවියා වපුරන්නේ යම් බීජයක් ද ? අස්වනු ලෙස නෙළාගන්නේද එම වර්ගයේ බීජයන්මයි. එමෙන්ම හොඳ කර්මවල යෙදෙන්නා හොඳ ඵලවිපාකත් නරක කර්මවල යෙදෙන්නා නරක ඵලවිපලාකත් ලබයි. අප අතීත කර්මවල ඵලවිපාක භුක්ති විඳින අතර, නව කර්ම රැස් කිරීමද කරනු ලැබේ’.

මෙලෙස කර්ම රැස් කිරිම නතර කරනතුරු සසරින් ගැලවීමක්ද නැත. කර්ම රැස් කිරීම නවතින්නේ රහත් බවට පත්වීමෙනි. එතෙක් කර්ම රැස්වේ. මෙලෙස රැස්වෙන කර්ම ගෙවා දමන්නේ කෙසේද? බුදු දහම ඒ සදහා ඉතා ප්‍රබුද්ධ මාර්ගයක් පෙන්වා දෙයි. විශාල ජල බඳුනකට ලුනු ස්වල්පයක් එකතුකළ විට, ජලය ලුනු රස නොවේ.

ඒ ලවණ සාන්ද්‍රණය අඩු නිසයි. එහෙත් ස්වල්ප ජල ප්‍රමාණයකට තරමක් වැඩියෙන් ලුණු මිශ්‍ර කළ විට, ජලයෙහි ලුණුරස දැනේ. එමෙන් කරනලද පව්කම්වල ඵලවිපාක, පසුව කරනු ලබන ප්‍රබල කුසල කර්මයන්ගේ ඵල විපාකයන්ගෙන් යටපත් කළ හැකි බව, ලෝනඵල සූත්‍රයෙන් පැහැදිලි කරදී තබේ. මේ කරුණු හිතට ගෙන, ඔබ ඔබේ සිතට නපුරු අකුසල සිතිවිලිවලට ඇතුල්වීමට ඉඩ නොතබන්න. යම් විදියකින් ඇතුල් වු බව දැනුනොත්, වහාම සිතින් ඉවත් කරන්න. හැකිතාක් යහපත් සිතිවිලි වගා කරගෙන, කටයුතු කිරීමෙන්, ඔබේ ජීවිත ගමන ඔබටම යහපත් කරගත හැකියි.

කාමයෙන් ශෝකය ඇතිවෙනවා.
කාමයෙන් මයි බිය ඇතිවෙන්නෙ.
කාමයෙන් නිදහස් වුණ කෙනෙකුට ශෝකයක් නෑ.
භයක් කොයින්ද?

(ජේතවනාරාමයේ දී අනිත්ථිගන්ධ කුමරු අරභයා වදාළ ගාථාවකි.)
…සිංහල පරිවර්ථනය පූජණීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ.

සිංහල බෞද්ධයන් ලෙස උපන් අපට බුද්ධෝත්පාද කාලය ලැබීමත් ක්ෂණ සම්පත්තිය ඇතිව ඉපදීමත් කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රයත් මේ භව ගමන කෙටිකර ගැනීමටත්, මාර්ගඵල ලබා ගැනීමටත් උදව්වක් බව බුද්ධ දේශනාවල සඳහන් වේ. නමුත් ඒ සඳහා උපදෙස් අවශ්‍යය. බුදුරජාණන්වහන්සේ ජීවමාන කාලයේ එක ධර්ම දේශනාවකට සවන් දීමෙන් මාර්ගඵල ලැබූ අය සිටි බව අප අසා තිබේ. බෞද්ධයන් වශයෙන් උපන් අප පින් කුසල් අධිකුසල් ලැබිය යුතුය. ඒ සඳහා අපිට කළ යුතු බොහෝ කටයුතු ඇත. දාන ශීල භාවනා ප‍්‍රධාන වේ. දන් දීමෙන් කෙලෙස් දුරු වේ. රාග ද්වේශ මෝහ ප‍්‍රහීන වේ. සිල් රැකීමෙන් බොහෝ කුසල් අත්පත් වේ. නමුත් ධ්‍යාන ලැබීමට, මාර්ගඵල ලැබීමට භාවනාව අත්‍යවශ්‍ය වේ. භාවනාවෙන් අධි කුසල් හිමි වේ.

භාවනාවේදී බොහෝවිට සතිය සතිමත් බව දියුණු වේ. බුදුරජාණන්වහන්සේ භාවනාවට උපදෙස් දී ඇති සූත‍්‍ර රාශියකි. ගිරිමානන්ද සූත‍්‍රය ආනාපානසති සූත‍්‍රය මහා සතිපට්ඨාන සූත‍්‍රවල සතිමත් වීමට අවශ්‍ය පසුබිම පෙන්වාදී ඇත. භාවනාවට සුදුසු ස්ථානයක් තෝරාගැනීමේදී අරඤ්ඤ ගතෝවා, රුක්ඛමූල ගතෝවා, ශූඤ්ඤාගර ගතෝවා යනුවෙන් දේශනා කර ඇත. භාවනාවට සුදුසු ස්ථානයක් සොයමින් සිටි ගාල්ලේ ඉපිද අධ්‍යාපනය ලබා කොළඹ ව්‍යාපාරික කටයුතු කළ අශෝක වීරරත්න මහතා භාවනාව ඉගෙනීමට සුදුසු යතිවරයාණන් කෙනෙක් සහ ස්ථානයක් සොයමින් සිටියේය. ඒ අනුව එතුමන්ට මුණගැසුණු මීතිරිගල නිස්සරණ වනය භාවනාවට සුදුසුම ස්ථානයක් ලෙස තෝරාගෙන ඇත. ඒ සඳහා භාවනාවට සුදුසු මෙම ස්ථානය සොයා ගැනීමට මාස හයක් පමණ ගත විය. ස්ථානය ලැබුණ එතුමන් භාවනා ආචාර්යවරයකු සොයමින් සිටි අතර ඒ සඳහා මාතර ශ‍්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ හමුවිය.

ගිහියකු වශයෙන් මාතර ශී‍්‍ර ඥානාරාම ස්වාමීන් සමග භාවනාවට සුදුසු ස්ථාන සොයමින් ගිය අශෝක වීරරත්න මහතා කලූගල ආරණ්‍ය, පැලවත්තෙන් හෙවැසට ගොස් පයින්ම කැලේ ගමන සිදුවිය. ඉන්පසු අරන්කැලේ ආරණ්‍ය සොයා ගොස් ඇත. අනතුරුව නිකවැරටියට මඳක් ඈතින් පිහිටි නාගම් සෝලේ නම් ස්ථානය බැලීමටද ගොස් ඇත. ගමන් දුෂ්කරතාව නිසා මෙය අතහැර දමා ඇත. වසර හැටක් ද ඉක්ම වූ උන්වහන්සේ තම අධිෂ්ඨානය අත්හැරියේ නැත. ඒ අනුව හඳුනාගත් සුදුසුම ස්ථානය මීතිරිගල රක්ෂිත වනයයි.

කොළඹ සිට සැතපුම් 30ක් පමණ දුරින් ගම්පහ දිස්ති‍්‍රක්කයට අයත් කිරිඳිවැල ආසන්නයේ පිහිටි එම කැලය එකල හැඳින්වූයේ මීතිරිගල මූකලාන යනුවෙනි. මෙම විශාල වනාන්තරයෙන් හුදෙකලා බව නිසසල බව සහ ශාන්ත බව නිසා ශී‍්‍ර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ මෙය යෝගී ජීවිතයට ඉතා සුදුසු බව අනුමත කළහ. ඒ අනුව 1964 දී අශෝක වීරරත්න මහතා අනූනව අවුරුදු බදු ක‍්‍රමය යටතේ මේ රක්ෂිත වනයෙන් අක්කර සීයක් ද නැවත තවත් අක්කර තුන්සිය අසූ හතරක් ද තමාගේ පෞද්ගලික නමට පවරා ගත්තේය. ඉන්පසු සිය පෞද්ගලික ධනය ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයගේ ආධාර ද ඇතිව සේනාසනය සඳහා ගොඩනැඟිලි තැනීම ආරම්භ කළේය. වර්ෂ තුනක් පමණ කෙටි කාලයකදී භාවනා කුටි ආදී මූලික නිමැවුම් අවසාන විය. ප‍්‍රථම භාවනා වැඩසටහන 1967 ජූලි 22 වන දින ආරම්භ විය.

මාතර ශී‍්‍ර ඥානාරාම මාහිමියන් සමඟ මේ කටයුතු කළ අශෝක වීරරත්න මහතා 1972 අගෝස්තු මස 22 වැනි දින පූජ්‍ය මීතිරිගල ධම්මනිසන්ති ලෙස පැවිදි විය. උන්වහන්සේ 1999 ජූලි දෙවන දින වසර අසූවක් ජීවත් වී අපවත් වූහ. මෙසේ ආරම්භ වූ නිස්සරණ වනය ගැන පූජ්‍ය නා උයනේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ ‘‘අමා බින්දු’’ ග‍්‍රන්ථයේ මෙසේ ප‍්‍රකාශ කර ඇත.

‘‘නිස්සරණ වනය ආරම්භ වූයේම නිවන් දැකීමට යෝග්‍ය භූමියක් ලෙසිනි. නිස්සරණ වනය යන නම ම යෙදුණේ ද ඒ නිසාය. හැමදෙනාටම සසුනෙහි ඇතුළත පිටත හැඳින්වීමට ඉඩ සලසමින් මාහිමිපාණන් නිස්සරණ වනය ගොඩනැඟූහ. සියලූ දුසිරිත්වලට රජ දහනක්ව තිබූ මීතිරිගල මූකලාන අද යෝගී රජදහනක්ය. යක්ෂ පේ‍්‍රත පිසාචරයන් අරක්ගෙන සිටි මීතිරිගල කැලය අද සම්‍යක්දෘෂ්ටික දෙවියන්ට වාසස්ථානයකි.’’

නිස්සරණ වන සෙනසුනේ ඓතිහාසික තොරතුරු බිඳක් ඉහත දක්වන ලදී. මෙසේ බිහි වී දියුණු වූ මීතිරිගල නිස්සරණ සේනාසනයේ වර්තමාන තත්ත්වය පිළිබඳ එළි කොට බෞද්ධ ජනතාව තුළ බෞද්ධාගමික ප‍්‍රබෝධයක් ඇති කිරීම මෙම ලිපියේ අරමුණයි. දැන් ඒ පිළිබඳව විමසා බලමු. මීතිරිගල නිස්සරණ වනය අද ඇති තත්ත්වයට ගෙන ඒමට අතිපූජ්‍ය මාතර ශී‍්‍ර ඥානාරාම ස්වාමීන් වහන්සේගේ උපදෙස් හේතු වී ඇති බැව් පෙනේ. සෑමවිටම සතිමත්ව යෝනිසෝමනසිකාරයෙන් සිතන ලෙස අවධාරණය කළහ. ‘‘බුදුහාමුදුරුවෝ වැඩම කළත් භාවනාව නොකඩා දිගටම ගෙනියන්න ඕනෑ’’ යයි උන්වහන්සේ අවවාද කළ බවත් අපවත්වීමට මාසයකට පෙර ද සේනාසනයේ සියලූ සංඝයා වහන්සේලාට මෙම අවවාදය දුන් බවත් බුදුවරයකු ලොව පහළ වීම පූර්ණ මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම, බුද්ධ ශාසනයේ පිහිට ලැබීම, ශ‍්‍රමණ ජීවිතය, කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය යන දුර්ලභ කාරණා සම්පූර්ණ වී ඇති මෙම භවයේදීම නිවන් සාක්ෂාත් කළ යුතුම බවත් සිය භික්ෂු සහ ගිහි ශිෂ්‍යයන්ට නිරතුරුව උපදෙස් දුන් බවත් පොතපතෙහි දැක්වේ. උන්වහන්සේ විසින් රචනා කරන ලද ලිඛිත චරිතාපදානයේ ‘‘අමා බිංඳු’’ පොතෙහි බොහෝ කරුණු දක්වා ඇත.

මින් පසුව සංඝ පීතෘ පරම්පරාවේ ස්වාමීන් වහන්සේලා කීප නමක් ම වැඩ සිට ඇත.

  • ගෞරවාර්හ පානදුරේ ඛේමානන්ද ස්වාමීන් වහන්සේ
  • ගෞරවාර්හ මීතිරිගල ධම්මවාස ස්වාමීන් වහන්සේ
  • ගෞරවාර්හ කටුකුරුන්දේ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

දැනට වැඩ සිටින උඩඊරියගම ධම්මජීව නායක ස්වාමීන් වහන්සේ 1988 නොවැම්බර් 16 දින පැවිදි වී, 1993 බුරුමයට වැඩම කොට පණ්ඩිත් ආරාමයේ පූජ්‍ය සයාඩෝ ඌ පණ්ඩිතාභිවංස හිමියන් යටතේ 1993 සිට 1996 ඉතා දැඩි භාවනා පුහුණුවක යෙදී ඇත. උන්වහන්සේ බුරුම බස පිළිබඳව පරිණත වූ අතර 2005 දී පා ඔක් සයාඩෝ ස්වාමීන් වහන්සේ ශී‍්‍ර ලංකාවට වැඩම කළ අවස්ථාවේදී නිල පරිවර්තක ලෙස කටයුතු කර ඇත. සතිමත් බව පුහුණු කිරීම කාලයක පටන් ලෝකයේ රටවල් ගණනාවකම ප‍්‍රධාන තැනක් ගත් කි‍්‍රයාවලියකි. එයින් ලැබී ඇති ප‍්‍රතිලාභ ගණනාවක් වාර්තා වී ඇත. ශී‍්‍ර ලංකාවට පළමු වරට හඳුන්වා දුන්නේ පූජ්‍ය ධම්මජීව නායක ස්වාමීන් වහන්සේය. සතිපට්ඨාන භාවනාවේ පදනම වන සතිය ඉතා වැදගත් කොට සලකන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් සියල්ල කේන්ද්‍රගත කොට තිබෙන්නේ සතිමත් බව දියුණු කිරීම කෙරෙහිය. මෙයට හේතු වන්නේ උන්වහන්සේ වර්ෂ 35ක පමණ කාලයක් තුළ ජීවිත පර්යේෂණයක් ලෙස සතිය පුහුණු කරමින් පෞද්ගලික අත්දැකීමෙන් ඇති කරගත් ප‍්‍රබල විශ්වාසයයි. අති පූජනීය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ මුළු මානව වර්ගයාටම සතිමත් බව හා එහි ප‍්‍රයෝජන ලෝකයටම හඳුන්වා දෙමින් සිටී. මේ සඳහා වර්ෂ 2016 මාර්තු මාසයේ සති පාසල වැඩසටහන ආරම්භ කර දැනට කඩුවෙල ප‍්‍රධාන මධ්‍යස්ථානය වන අතර බොහෝ මාලාවත්වල ද ආරම්භ කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය අමාත්‍යාංශය පිරිවෙන් අංශය සම්බන්ධ කරගෙන පාසල් කරා ද ව්‍යාප්ත කිරීමට කටයුතු යොදමින් පවතී.

ශී‍්‍ර ලංකාවේ පාසල් කීපයක ජාති ආගම් භේදයකින් තොරව බෞද්ධ හැර අන්‍යාගමික දරුවන් සතිමත් බව පුහුණුවීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටී. දැනට මීතිරිගල නිස්සරණ වනයේ එකවිට දෙසීයකට පමණ පුහුණුව ලැබීමට පහසුකම් පවතී. විශේෂයෙන් පිරිවෙන්වල භික්ෂූන් වහන්සේලාට කණ්ඩායම් වශයෙන් පුහුණු වැඩසටහන් පැවැත්වෙන අතර දින 5, දින 10 වශයෙන් සැලසුම් කළ නේවාසික භාවනා පුහුණු වැඩසටහන් සැලසුම් කර කි‍්‍රයාත්මක කෙරේ. මෙහි පුහුණු කරන ප‍්‍රධාන භාවනා කර්මස්ථාන දෙක සක්මන් භාවනාව සහ ආනාපානසති භාවනාවයි.

දුරස්ථ භාවනා

වර්ෂ 2020 මැයි මාසයේ පමණ සිට කොවිඞ් වෛරස් රෝගය හේතුවෙන් නේවාසිකව භාවනා වැඩසටහන් පැවැත්වීමට නොහැකි විය. මේ නිසා ’දදප තාක්ෂණය යටතේ දුරස්ථ භාවනා වැඩසටහන් ආරම්භ විය. මේවා ද දිනක වැඩසටහන් ලෙස සංවිධානය වී ඇත. මේ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ඔස්ටේ‍්‍රලියාවේ පදිංචි කමල් තුඩුවගේ ඇතුුළු කීප දෙනෙක් විසින් දරන බව දැන ගැනීමට ලැබුණි. මේ නිසාම ඔස්ටේ‍්‍රලියාව, එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, ඩුබායි වැනි රටවලින් ද අඛණ්ඩව සහභාගි වන පිරිස් ඇත. මේ නිසා එම රටවල සති පාසල් වැඩසටහන් කි‍්‍රයාත්මක වේ.

මීතිරිගල නිස්සරණ ආරණ්‍යයේ සියලූ සංවිධාන කටයුතු පූජනීය නායක ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව මීතිරිගල නිස්සරණ වනය සංරක්ෂණ මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක වේ. නේවාසික භාවනා වැඩසටහන් ඇති විට නිතිපතා ඉන්න නේවාසික භික්ෂූන් වහන්සේලා ගිහි භාවනා යෝගීන්ට පස් දින හෝ දස දින භාවනාවලට සහභාගි වන 150ක් පමණ පිරිසට උදේ ආහාර සහ දිවා ආහාර දානපති පිරිසගෙන් ලැබේ. බොහෝ දෙනෙක් උපෝසථ අෂ්ඨාංග ශීලය සමාදන්ව සිටින නිසා රාතී‍්‍ර ආහාරය නැත. ගිලන්පස පමණයි.

මේ සියලූ කටයුතු සඳහා නායක හිමියන්ට උදව් කරන භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩ සිටිති. විශේෂයෙන් පූජ්‍ය පානදුරේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ, අතුරුගිරියේ ධම්මවිහාරි ස්වාමීන් වහන්සේ, හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේ වැනි හිමිවරු නාහිමිගේ පිටුපසින් වැඩ සිටිති.

මීතිරිගල නිස්සරණ සේනාසනය වෙනුවෙන්ම කැපවී කටයුතු කරන අතිපූජනීය උඩඊරියගම ධම්මජීව නාහිමියන්ගේ හැත්තෑ වන උපන් දිනය යෙදුණේ පෙබරවාරි පස්වන දිනයට ය. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රාශියක් කි‍්‍රයාත්මක විය. ජනවාරි 30 සිට පෙබරවාරි 05 දක්වා පැළ 70ක් සිටුවීමට සංවිධානය කර තිබුණි. එමෙන්ම 2022.02.25 දින දවස පුරා (Felicitation Conference) පැවැත්විණි. විශේෂ සාකච්ඡා, දේශන වැනි අංගවලින් සමන්විත විය.

වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් http://www.nissarana.lk වෙත පිවිසෙන්න.

ඩබ්. පී. ටී. විජේතුංග
මහනුවර

Older Posts »

Categories