Posted by: lrrp | July 13, 2011

මාර ප්‍රතිපදාව

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනවාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ මේ පිං බිමේ කුමක්‌ හෝ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි මම විශ්වාස කරමි. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ නෙපෙනී ගියහ. එහෙත් ඒ සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද?

“මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, “දක්‍ෂ”, ගිහි පැවිදි උතුමන්ට පමණක්‌ මේ අහිංසක ව්‍යයාමය උපකාරයක්‌ම වේවා! ශක්‌තියක්‌ම වේවා! මාර්ගයක්‌ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා!
අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට ඔබ නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක්‌ තුළින්ම ඔබ සැමට යහපතක්‌ වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා..” යෑයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
නිවන් මගට පිළිපන් ගිහි පැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කර්තෘ අඥත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතුවනු නිසැකය. එනිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම්පඬුර ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට පත් කිරීමට මට ඉඩ දුන මැනවි!

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිවන් මග වඩන්නා මධ්‍යම ප්‍රතිපදාව තුළ හික්‌මිය යුතු යෑයි අවධාරණය කළහ. තුන් සිව්රත් පාත්‍රයත් පමණක්‌ දරමින් රුක්‌ඛමූල, ශුන්‍යාගාර, ආරණ්‍යගතව සසර දුකින් එතෙරවීමට අතීතයේ භික්‍ෂුන් කැපවිය. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ලෙස, සසරින් එතෙරවීමට වෙරවඩන භික්‍ෂුවට දැක්‌වූයේ ඔය සීමාවය. කැමති කෙනෙකුට තම තමන්ගේ කෙලෙස්‌ වල දිග පළල අනුව මධ්‍යම ප්‍රතිපදාව අර්ථ දැක්‌විය හැකිය. ශාසනය තුළ ඊට අවශ්‍ය නිදහස ඕනෑ තරම් ඇත. විවේචනය කිරීමේ නිදහසද ඇත. එහි කිසිදු වරදක්‌ නොමැත. එහෙත් සසර දුකින් එතෙර වීමේ ප්‍රතිඵල අනපේක්‍ෂිතය. පාත්‍රය දරන පිණ්‌ඩපාතික භික්‍ෂුවට අවශ්‍ය රේසරය, සබන් කැටය පවා ගිහි දායකයාගෙන් විනයානුකූලව ලබාගත හැකි ක්‍රමය පැහැදිළිවම ප්‍රතිපදාවේ සඳහන්ව ඇත. බුදුරජාණන් වහන්සේ අර්ථ දක්‌වන ලද ප්‍රතිඵල ලැබිය හැකි මධ්‍යම ප්‍රතිපදාව ඇත්තේ එතැනය. භික්‍ෂුව පිණ්‌ඩපාතයෙන් ලද දෙයින් සතුටුවීම, යෑපීම මධ්‍යම ප්‍රතිපදාවයි.

කප්පිය කුටියේ වියළි ආහාර තබාගෙන තිබෙන ස්‌ථානයක දානයට මිරිසට, තෙලට, බැදුමට මොකුත් නැතිනම් හදාගැනීම මධ්‍යම ප්‍රතිපදාවට අදාළ නොවේ. නමුත් විනයෙන් ඊට පූර්ණ නිදහස ඇත. එම නිදහස උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන කටයුතු කිරීමේ වරදක්‌ද නොමැත.

මම නැවතත් කියමි.

විනය ඇත්තේ අදක්‍ෂයාටය. දක්‍ෂයා ලද දෙයින් සතුටුවෙයි. නිවන් මඟ වැඩීමට බලාපොරොත්තුවන භික්‍ෂුව ගොඩගසන්නෙක්‌ හෝ රැස්‌කරන්නෙක්‌ නොව කුසගිනි සෑහීමට පත්වූ කල ඉතිරිය අතහරින්නෙකි. හෙට දවසක්‌ ඔහුට නැත. ඔහු ජීවත්වන්නේ වර්තමානයේය.

වර්තමානයේ මෙම අර්ථය හාස්‍යයක්‌ වීමටද පුළුවන. විවේචනය කිරීමටද පුළුවන. වර්තමානයේ පමණක්‌ නොව, බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටියදීද මෙම අර්ථයට විවේචන එල්ල විය. ඉතින් අද ගැන කුමන කථාද?

එහෙත් මෙම මොහොතේදී ඉහත මඟ වඩන බුදු පුතුන්, මෙම මඟ වැඩීමට උත්සහ ගන්නා, වීරිය වඩන, සරණක්‌- මඟක්‌ සොයනා බුදු පුතුන් විශාල පිරිසක්‌ මේ දෙරණ මත වැඩසිටින බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. උන්වහන්සේලා තමන් වැඩ සිටින කැලයේ යෑපෙන්නේ පාංශකූල සිවුරෙන්, පිණ්‌ඩපාතයෙන් යෑයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් යන zමාධ්‍යකරුවන්Z නොවේ. උන්වහන්සේලා ඉහත අවමයද පරිහණය කරනුයේ බදාගැනීමට නොව අතහැරීමට නොහැකි නිසාය. තම නිවන් අරමුණ ජයගන්නාතුරු කය ආරක්‍ෂා කරගත යුතු නිසාය. භික්‍ෂුව ප්‍රත්‍යාවේක්‍ෂයෙන් වැළඳිය යුත්තේ දායකයා පූජාකරන ආහාරයයි. එම ආහාර රස ගුණ මදියෑයි සිතා, රස තෘෂ්ණාවෙන් තමන් හෝ කැපකරු ලවා, කටට රසට හදාගත් දෙය ප්‍රත්‍යවේක්‍ෂාකොට වැළඳීම මධ්‍යම ප්‍රතිපදාව නොවේ. එහෙත් එය විනයට එකඟව කළ හැකි බව මමද පිළිගනිමි. යමෙක්‌ එසේ කරනවානම් එය විවේචනයද නොකරමි. මේවා ලෝකයේ පවතින ස්‌වභාවයන්ය. එහෙයින් අප නොගැටිය යුතුය.

නිවන උදෙසාම කැපවන්නා කප්පිය කුටිය, ගෑස්‌ලිප, උණුවතුර බෝතලය වැනි සංඥාවලින් මිදිය යුතුය. මේවා ඔබේ රස තෘෂ්ණාව අවධි කරන මාරයෝය. මධ්‍යම ප්‍රතිපදාවත්, කාමසුඛල්ලිකානු මඟත් අතරමැදද අන්තයක්‌ ඇත. එය මධ්‍යම ප්‍රතිපදාව හෝ කාමසුඛල්ලිකානු මග නොවේ. මධ්‍යම සහ කාමසුඛල්ලිකානු දෙකේම එකතුවකි. දෙකේම මුසුවකි. එය හරියටම ඇලීමත් ගැටීමත් මැද තිබෙන උපේක්‍ෂාව මෙනි. උපේක්‍ෂාව තුළ ඇලීමත් ගැටීමත් දෙකම තිබේ. ඉහත අවස්‌ථාවේදී මධ්‍යම ප්‍රතිපදාව ඉක්‌මවා ගිය තත්ත්වයකුත්, කාමසුඛල්ලිකානු මඟ ස්‌පර්ශ කරන ස්‌වභාවයකුත් ඇත. අපි මෙයට මාර ප්‍රතිපදාව යෑයි කියමු. මධ්‍යම ප්‍රතිපදාව යෑයි දකිමින් මාර ප්‍රතිපදාවක හික්‌මෙමින් අපි නිවන් මඟ සොයන්නෙමු. එළදෙන පැටවා සමඟ සිටියත් ඔබ කිරි දොවන්නේ පැටවාගෙන් නම් ඔබට කිරි නොලැබෙනු ඇත. එය එළදෙන හෝ පැටවාගේ වරද නොවේ. ඔබගේ වරදය. එහෙත් ඔබ ඉදිරියේ එළදෙනත් තන බුරුල්ලත් දෙකම ඇත.

විනය නමැති කඹයෙන් ඔබ එළදෙන දිගේලි කරමින් සිටියාට ඵලක්‌ නොමැත. එළදෙනගේ ගොම, මුත්‍රා එකතු කරාටද වැඩක්‌ නොමැත. ඔබ එළදෙනගෙන් පස්‌ගෝ රස ලබාගැනීමට දක්‍ෂ විය යුතුය. ඔබ දක්‍ෂයෙක්‌ වන්නේ එය අවබෝධ කර ගැනීමෙන්ය. ඊට මඟ සැබෑ මධ්‍යම ප්‍රතිපදාවයි.

තුන් සිවුරත් පාත්‍රයත් දරමින් ආරණ්‍ය, ශුන්‍යාගාර, රුක්‌ඛමූලගතව තම ප්‍රතිපදාව වැඩීමට ඔබ කැපවුවහොත් අර්ථවත් මධ්‍යම ප්‍රතිපදාවක්‌ ඇත්තේ එතැනය. හොඳට හිතන්න. දිව බොරු කීවද, ඔබේ හදවත බොරු නොකියනු ඇත. එය ඔබට දැකිය හැක්‌කේ ප්‍රඥාවෙන් පමණකි.

ලෝකයේ බරින් නිදහස්‌වීමට ප්‍රථම, ඔබ ඔබේ බරින් නිදහස්‌වන්න. ඔබේ බරින් ඔබ නිදහස්‌ වූ විට, ඔබ මෙතෙක්‌ දරා සිටියේ ලෝකයේ බරම බව ඔබට තේරුම් යනවා ඇත. තමාට අයිති නොමැති ලෝකයේ බර, අවිද්‍යාව නිසා දරාගෙන සිටින පෘථග්ජන සත්වයගේ මෝහයේ දිග පළල ඔබට අවබෝධ වනුයේ ඔබ ලෝකයෙන් නිදහස්‌වූ විටදීය. ඔබ සැබෑ ලෙසම මධ්‍යම ප්‍රතිපදාවේ හික්‌මෙමින් නිවන් මඟ තරණය කළොත් මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතට ගත හැකිය. එවිට ඔබට මෙහෙම දැනේවී. මා ලෝකය ජයගත්තාය කියලා.

ලෝකය ජයගැනීමේ ශක්‌තිය ඔබ සැමගේ අධ්‍යාත්මය තුළ සැඟවී ඇත. ඔබ කළ යුත්තේ එය මතුකර ගැනීම පමණක්‌මය. මෙම ජීවිතයේදී ඔබ එය මතුකර ගැනීමට උකටලී වුවහොත් තව කල්ප ගණනාවක්‌ ඔබට දුක්‌ විඳීමට සිදුවනු ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: