Posted by: lrrp | August 24, 2012

සාස්තර අහන්න එද්දි ඒ අයත් එක්ක භූතයෙක් එනවා

 

වර්තමානයේ මිනිසාට ඕනෑ ම දෙයක් ලබා ගැනීමට පුළුවන්කම පවතී. එය හොඳින් ද නරකින් ද යනු වෙන ම ප්‍රශ්නයකි. බොහෝ නිවෙස්වල විසිත්ත කාමරයේ පවතින විලාසිතා භාණ්ඩ හා නව තාක්ෂණික උපකරණවලින් ස්වයංපෝෂිතව ඇත. එහෙත් ඔවුන්ට ලබාගත නොහැකිව තැවෙන එකම එක දෙයක් ඇත. ඒ සතුටයි. ඕනෑම කෙනෙකුගේ පපුවට තට්ටු කර “ඔබේ පවුලේ එක ම එක රෝගියෙක්වත් නැද්දැ”යි ඇහුවොත් “එක්කෙනෙක් නොවෙයි කීප දෙනෙක් ම ඉන්නවා” යැයි පිළිතුරු ලැබෙනු ඇත.

මේ පෘථිවිය පුරා ජීවත්වන මිනිසුන්ට වඩා පෘථිවියත් අවකාශයත් පුරා සැරිසරන අමනුෂ්‍යයෝ බොහෝය. දිනපතා මිනිසා කෙරෙහි වෛරයෙන් අමනාපයෙන් මරණයට පත් වන තිරිසන් සතුන් බොහෝය. ඔවුන්ගෙන් කොටසක් කර්මානුරූපව, මිනිසුන් වී උපදිති. ඒ මිනිසුන් තුළින් වඩාත් ක්‍රියාත්මක වන්නේ ද සමීප භවයෙන් තමන් තුළ පැවති තිරිසන් ගතිමය. මිනිස්සු වෙනත් කිසිවෙකුට නොදැනෙන්නට නොපෙනෙන්නට බොහෝ වැරදි වැඩ කරති. ඒවා ලෝකයට රහස් නොවේ. ඒ අර අපේ පියවි ඇසින් ඔබ්බට ජීවත්වන බොහෝ සත්ත්වයන්ට ඒවා පෙනෙන නිසාය. දැනෙන නිසාය. එවැනි දේවල් පිළිබඳ පණිවුඩය මිනිස් ලොව සිට භවාග්‍රය දක්වා ගමන් කරන්නට ගතවන්නේ ක්ෂණයකි. තත්පරයටත් වඩා අඩු කාලයකි.

මිනිස්සු මේ මිනිස් භවය ලබන්නේ ඉතාමත් කලාතුරකින් ලැබෙන අවස්ථාවකිනි. එය පොත පතෙහි සඳහන් වන්නේ කණ (එකැස්) කැස්බෑවෙකු මුහුදු රළ පතර අතරෙහි පාවෙන විය සිදුරකින් අහස දකින්නාක් වැනි ඉතා අපහසු දුර්ලභ සිතා ගන්නටත් බැරි තරම් විරල අවස්ථාවක් ලෙසය. මෙසේ උපදින මිනිසා උපන් දා සිටම සිදු කරනු ලබන්නේ ආත්මාර්ථයන් ඉටු කැර ගැනීමේ අවශ්‍යතාව සඳහා ක්‍රියාකාරකම්ය. තමන්ගේ වාසියට වැඩ කරන්නට යෑම නිසා තරහව, ඊර්ෂ්‍යාව, ලද දෙයින් සෑහීමට පත් නොවීම නිසා සතුරන් ඇති කැර ගනියි. අනුන්ට පාඩු කිරීමට, පළිගැනීමට කටයුතු කැර ගනියි. තමන් අමනාප පුද්ගලයාගෙන් පළි ගන්නට බැරි තැන ඔහුගේ දේපළ වස්තු සම්පත්වලට හානි කරයි. පැහැර ගනියි. ඔහුගේ දූ දරුවන්ගෙන් පළිගනියි. මෙවැනි තත්ත්වයන් මිනිස්සු අතර පමණක් අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ ද සිදු වෙති.

සුනීතා කෑගල්ල ප්‍රදේශයේ පදිංචි කාරියකි. වයස අවුරුදු හතළිස් පහක් පමණ වේ. ඇගේ ඇඟපත රුදාව සමඟ දරුණු හිසරදයක් වැලඳීම නිසා මහත් පීඩා වින්දාය. වෛද්‍ය ප්‍රතිකාරවලින් කිසිදු සුවයක් ලැබුණේ ද නැත. ඇගේ රැකියාව හෙවත් ආදායම් මාර්ගය වූයේ ද දේවාලයක් පවත්වාගෙන යෑමය. ඇය උදේ හවස පහන් දල්වමින් සුවඳ දුම් අල්වමින් යාතිකා කරමින් අනුන් සුවපත් කරන්නට කටයුතු කළ ද දෙවියන්ගෙන්වත් පිහිටක් ලැබුණේ නැත. සුනීතාගේ සැමියා ඇය ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා කැඳවාගෙන ආවේය. එහිදී ඇය ප්‍රලය වූවාය. භූතදෝෂවලින් පෙළෙන වෙනත් අය මෙන් දැඟළුවේ ද කෑගැසුවේ ද නැත. ඉතා ශාන්තව ගුප්තාත්මය ආවේශ විය. ගුප්තාත්මය ම කතාව ආරම්භ කළේ ය.

”නමස්කාරම්! නමස්කාරම්!”

”කව්ද මේ පින්වත් ආත්මය?” ගවේෂකවරයා ඇසීය.

”මම පියසේන”

”පියසේන කියන්නේ කව්ද?”

”මේ සුනීතාගේ පියා”

”ආ… මේ පියා ද දුවගේ ශරීරයට ඇතුළු වී සිටින්නේ?”

”ඔව්! ඒත් අද පමණයි. මේ කෙල්ල දේවාල පස්සෙන් ගිහින් දෙවියන්ට කන්නලව් කරලා ආරූඪයක් අරගෙන සාස්තර කියන්න පටන් ගත්තා. මෙයාට උදව් කරන්න වරම් අරගෙන ඇඟට ආවේ මේ කෙල්ලගෙ ආච්චි. මගේ නැන්දම්මා. උන්දෑ ජීවත්ව ඉන්දැද්දි මහ සටකපට ගෑනි. ඉතින් එයා මෙයාගෙ ඇඟේ ඉඳගෙන සාස්තර කීවා.”

”කොහොමද එයා සටකපට ගෑනියෙක් නම්, ඒ තරම් පින් දහම් නොකළා නම් සාස්තර කීමේ හැකියාව එයාට ආවේ?”

”මහත්තයා; මේ සාස්තර අහන්න එන අයත් එක්ක ඒ අයගෙ ගෙවල්වල ඉන්න භූතයොත් එනවා. සාස්තර කියන දේවාලයේ ඉන්න භූතයා ඒ පිටතින් එන භූතයන් සමඟ මිත්‍ර වෙනවා. උන්ගෙන් අහගෙන ගෙදර විස්තර කියනවා. ලෙඩාගෙ විස්තර කියනවා. ඉතින් මේවට මිනිස්සු රැවටෙනවා. අතීතයේ දේවල් වර්තමානයේ දේවල් හරියට ම කීවා ම මිනිස්සු රැවටෙනවා. ඊට පස්සේ මේ මිනිස්සු මෙතනින් කියන කියන දේවල් කරනවා. වියදම් කරනවා. සමහරු එන්නෙ අනුන්ගෙන් පළිගන්න. අනුන්ට අනවින කරන්න. එහෙම අනවින කළාම එයින් දුකට පත් අය වෙනත් තැන් වලින් වින කපනවා. ඒවා ආපසු එන වෙලාවලුත් තියෙනවා. මෙයාට සිද්ධ වුණෙත් ඒ වගේ දෙයක්.”

”සුනීතා වරම ගත්තේ කොහොමද?”

”මහත්තයා! මේ දැරිය පුංචි කාලෙ මම අසනීපයකින් මැරුණා. මෙයාගෙ අම්මා මිදුලේ හැන්දෑවට පහනක් දැල්ලුවා. මෙයත් ඒකට පුරුදු වුණා. සමහරදාට කෙල්ල ගැහෙන්ට පටන් ගත්තා. ඒකට අම්මා මෙයාව නවගමුවෙ ;ද්වාලයට එක්කර ගෙන ගියා. කැලණියෙ දේවාලයක් කරන ගෑනියෙකුත් එදා නවගමුවට ඇවිත් හිටියා. ඒ ගෑනි මේ දෙන්නට කිට්ටු කළා. මේ ළමයා හරි වාසනාවන්තයි, දෙවියන්ගේ වරමක් තියෙනවා. සාස්තර කියන්න රෝගීන් සුවපත් කරන්න පුළුවන්. හොඳට සල්ලි හම්බ කරලා දියුණු වෙන්න කියලා මේ දෙන්නාට කීවා. මගේ කැලණියේ දේවාලෙට එන්න මම ඒ කටයුතු ටික සකස් කැර දෙන්නම් කියලත් කීවා.”

”ඉතින්. ඉතින්!”

”ඒ වෙනකොට සුනීතා විවාහ වෙලා හිටියේ. ඉතින් දවසක් මගේ දුවයි බෑනයි අම්මත් එක්ක අර ගෑනිගෙ කැලණියෙ දේවාලයට ගියා. එතැනදි ඒ දේවාල කපු ගෑනි මේ කෙල්ලට මොනවද ඇට වගයක් දිය කරලා මේස හැඳි දෙකක් බොන්න දුන්නා. අනිත් දෙන්නාට තේ දෙකක් දුන්නා. ඒවා බීවම සුනීතා මත් වුණා වගේ වුණා. බඩ පුරවා දැවිල්ලකුත් වුණා.”

”ඊට පස්සෙ?”

”ඊට පස්සෙන සුනීතගෙ ඇඟට දිෂ්ටි වැටිලා සාස්තර කියන්න පුළුවන් වුණා. සතියට දවස් තුනක් කැලණියෙ දේවාලයට ගිහින් සාස්තර කියනවා. අර ගෑනි හම්බකර ගන්නවා. නොගිහින් ඉන්න බෑ. අන්තිමේ බලන කොට සුනීතගෙ සාස්තරය හරි. කිසිම දියුණුවක් නෑ.

එදා ඇඟට බොන්න දීපු දෙයින් මේක සිද්ධ වුණ බව වැටහුණා. ඊට පස්සෙ කැලණියෙ ගෑනිට කිව්වා සාස්තරය හරි වුණාට ඔයා එදා නවගමුවෙදි කීවා වගේ දියුණුවක් නැහැ. අනේ මාව නිදහස් කරන්න කියලා. ඒ පාර ඒ ගෑනිට කේන්ති ගියා. උඹ හිතුවක්කාර වෙන්න එපා.

දිෂ්ටිය අයින් කළොත් උඹට රෑට නිදාගන්න ලැබෙන්නෙ නෑ. හීනෙන් ඇවිත් බය කරාවි කියලා කිව්වා. මම උඹලගෙන් පළිගන්නවා කියලත් කීවා.”

”ඉතින් මොකද කළේ?”

”මේ තුන් දෙනා සද්දේ නැතුව ගෙදර ආවා. ගලේවෙල පැත්තෙ තියෙනවා භූත දෝෂවලට විරේක බෙහෙත් දීලා දිෂ්ටි ඉවත් කරන තැනක්. එතැනට ගියා. මේ කැලණියෙ ගෑනි අර වගේ දේවල් බොන්න දීපු තවත් පස් දෙනෙක් එතැනට ඇවිත් හිටියා එදා. එතැනින් විරේක බෙහෙත බීලා ආවා. ඒත් දැන් මෙයාට හිසරදය හැදෙනවා. කෑ ගහනවා.

ඒ නිසා මම මේ දෙන්නව මෙතැනට එන්න පෙලඹෙව්වා. මේ ගොල්ලො “සිළුමිණ” පත්තරය බලලා මෙතැනට ආවා” යි කීවේය.

ගවේෂකවරයා පියසේන (පියා) ගේ දිෂ්ටිය ඉවත් කොට ඇයට හිරිහැර කරන ගුප්තාත්මය දිෂ්ටි ගැන්වීය. සුනීතා නැවත ප්‍රලය වූවාය. අඬන්නට වූවාය.

”කව්ද ඒ පාර මේ අඬන්න ගත්තේ?”

”අනේ! මාව පන්නන්න නම් එපා.”

”ඒ මොකද?”

”මම ජීවත් වෙන්නෙ සුනීතගෙ ශරීරයෙන්. මාව ඉවත් කළොත් මට යන්න තැනක් නෑ. ජීවත් වෙන්න ක්‍රමයක් නෑ.”

”තමන් ගෙ නම මොකක්ද?”

”සිරිල්”

”සිරිල් මෙච්චර දවස් කළේ මොකක්ද?”

”මගේ අම්මගෙ නියෝගය ඉෂ්ට කළා.”

”කව්ද සිරිල්ගෙ අම්මා?”

”කැලණියෙ දේවාලය කරන්නෙ මගෙ අම්මා. අම්මා මාව සුනීතගෙ ඇඟට දැම්මා. එදා ඉඳලා සුමානෙකට දවස් තුනක් සුනීතව කැලණියට යන්න පොලඹලා එක්ක ගෙන යනවා. සුනීතා ලවා සාස්තර කියලා අම්මාට හම්බ කර දෙනවා. ඒකයි මෙච්චර දවස් කළේ. අම්මා සුනීතට කීයක්වත් දෙන්නෙ නෑ. බස් ගාස්තුව විතරයි දුන්නේ. දියුණුවක් නැති නිසා සුනීතා ගලේවෙල ගිහින් විරේක බෙහෙත් බීලා වරම නැති කැර ගත්තා. මම අම්මගෙ කීමට සුනීතව ලෙඩ කළා.”

”සිරිල් මැරුණෙ මොනව වෙලාද?”

”ඒත් අපේ අම්මගෙ වැරදි වැඩක ප්‍රතිඵලයක් තමයි.”

”මොකද වුණේ?”

”අපේ අම්මා කෙනෙකුගෙන් ලොකු මුදලක් අරගෙන විනයක් කළා. ඒ අය දේපළ තණ්හාවට ඒ දේපළ අයිති කැර ගන්න දේපළ අයිතිකාරියව නැති කරන්න විනයක් කළා. ඒ උදවිය මාතරින් ඇදුරෝ වගයක් ගෙනැත් හොර රහසේම විනය කැපුවා. එදා රෑ මම යාලුවෙකුගෙ මළ ගෙදරක ගිහින් මෝටර් සයිකලයෙන් ආපසු එමින් හිටියා. පාන්දර දෙකට විතර ඇති. හරියට ම පාළු තැනකදි කවුදෝ කළු උස මිනිහෙක් එක පාරට ම පාරට පැන්නා. මගේ බයිසිකලය පෙරළිලා එතැන තිබුණු බෝක්කු කණුවක මගේ ඔළුව වැදුණා. කවුදෝ අමුතු අමනුස්ස පිරිසක් මගේ ඔළුවෙන් ගලා ගිය ලේ උරා බිව්වා. පොර කකා ලේ උරා බිව්වා. මට එච්චරයි මතක. මගේ ආත්මය ඉහළට ඇදී ගියා. එතකොට ම මට ගෙදර මතක් වෙලා මම ගෙදර ගියා. ඒ වෙලාවෙත් අපේ ගෙදර දේවාලෙ පහන් දැල්වෙමින් තිබුණා. මම දේවාලයට වෙලා හිටියා. මම හිටියේ අම්මත් එක්ක තරහෙන්. අම්මා කරන නරක වැඩ නිසා මගේ ජීවිතෙත් නැති වුණා කියලා මම අම්මගේ දේවාලෙ වැඩ අවුල් කළා.

ඒ අතරෙ අම්මා මේක දැනගෙන මාව නවගමුවෙ දේවාලෙට බාර දෙන්න ගියා. ඒ වෙලාවෙ මේ සුනීතලාව මුණ ගැහිලා කතා බස් කරලා හඳුනා ගත්තා. ඒ අයව අපේ ගෙදර දේවාලෙට ගෙන්නලා සුනීතගේ ඇඟේ හිටපු ආච්චි අම්මව පන්නලා මාව සුනීතගෙ ඇඟට බන්ධනය කළා. මම සුනීතගෙ ඇඟට වෙලා සාස්තර කිව්වා. සමහර වෙලාවට අම්මගෙ දේවාලෙටත් ගිහින් එතැන වැඩත් අවුල් කළා.” යි සිරිල්ගේ භූතාත්මය පැවසීය.

ගවේෂකවරයා සුනීතාට ගමේ පන්සලේ බෝධි පූජා විසි එකක් තබා නැවත එන ලෙස නියම කළේය. ඒ බෝධි පූජාවලින් පසු ඇය නැවත ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ආවාය.

එදිනද සුනීතා ප්‍රලය වූවාය.

”කව්ද මේ?”

”මම සිරිල්”

”සිරිල් මේ ශරීරයෙන් ඉවත්ව යන්න කැමතිද?”

”ඔව් මහත්මයා: අම්මා කරපු පව් මදිවාට මේ අහිංසක සුනීතාගෙ ජීවිතෙත් නැති කරලා පව් කරගන්න මට බැහැ.”

”සිරිල් බෝධියකට යනවද?”

”බැහැ මහත්තයා මම ගෙදර දේවාලයට යනවා. එතන කරන වැරදි වැඩවලට බාධා කරනවා. හොඳ වැඩවලට උදව් කරලා මමත් පිනක් සිද්ධ කැරගන්නවා.” යි කියමින් සිරිල්ගේ භූතාත්මය ඉවත්ව ගියේය.

මේ වැනි දේවලින් දේවාල වලින් සිදු කරන සටකපට අපරාධ පැහැදිලි වේ. මෙහිදී අම්මාගේ වැරදි නිසා මිය ගිය පුතාගේ භූතාත්මයෙන් නිදහස් වෙන්නට එය සුනීතාට බන්ධනය කළා පමණක් නොව එයින් ද මුදල් උපයා ගන්නට කටයුතු කළාය. ඒ නිසා දේවාල පස්සේ යන අය නුවණින් ම කටයුතු කළ යුතුය.

 


Leave a comment

Categories